10 වන වරටත් මයිලෝ දැල්පන්දු ශූරතාවය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට

987

ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු පිටියේ රැජිණියන් තමන් බව නැවත වරක් තහවුරු කරමින් 26 වන වරට පැවති මයිලෝ සමස්ත ලංකා පාසල් දැල්පන්දු තරගාවලියේ ශූරතාවය අඛණ්ඩව 10 වන වරටත් ජයග්‍රහණය කරන්නට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමත් විය. තරගාවලිය පැවැත්වුණේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී ය.

දැල්පන්දු ශූරතා දෙකක් කුරුණෑගලට

ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමයත් අඛණ්ඩව 25වැනි වරට නෙස්ලේ ආයතනයේ සවිබල ගැන්වීමෙනුත් පැවති සමස්ත ලංකා…

කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වයස අවුරුදු 13න් පහළ හා 19න් පහළ වයස් කාණ්ඩවල ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර ඊට අමතරව වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයේ 3 වන ස්ථානය ද දිනා ගැනීමට ද සමත් විය. වයස අවුරුදු 15න් පහළ හා 17න් පහළ වයස් කාණ්ඩවල ශූරතා ජයග්‍රහණය කරනු ලැබුවේ කළුතර බාලිකා විද්‍යාලය සහ කොළඹ විසාකා විද්‍යාලය යි.  

A කාණ්ඩය

වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය

මෙහි දී අවසන් මහා තරගයේ දී කොළඹ විසාකා විද්‍යාලය ලකුණු 35-25ක් ලෙස පරාජයට පත්කළ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය. බොස්ට්වානා හිදී 8 වන වරට පැවති ලෝක යොවුන් දැල්පන්දු ශූරතාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 21න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ තරුෂි ඉලංගරත්න මෙහි දී විශාඛා විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර සුසීමා කුමාරි සහ සෙත්මි දනෝෂි කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම නියෝජනය කළාය.

විශාඛා විද්‍යාලය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ගාල්ලේ ශ්‍රී හෘදය කන්‍යාරාම කණ්ඩායම ලකුණු 22-06ක් ලෙසත්, අවසන් පූර්ව තරගයේ දී ගෝතමී බාලිකා විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 33-15ක් ලෙසත් පරාජයට පත්කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය. අනෙක් පසින් කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අර්ධ අවසන් පූර්ව වටයේ දී මියුසියස් විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 28-04ක් ලෙසත්, අවසන් පූර්ව වටයේ දී කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ලකුණු 30-19ක් ලෙසත් පරාජයට පත්කරමිනි.

මෙහි දී 3 වන ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගයේ දී ගෝතමී බාලිකා විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 41-19ක් ලෙස පරාජයට පත්කරන්නට කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමත් විය.

වයස් කාණ්ඩයේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ සුසීමා කුමාරි ය.

වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩය

මෙහි අවසන් මහා තරගයේ දී කළුතර බාලිකා විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 29-22ක් ලෙස පරාජයට පත්කරමින් ශූරතාවය දිනා ගනු ලැබුවේ කොළඹ විශාඛා විද්‍යාලයීය කණ්ඩායමයි. වයස අවුරුදු 21න් පහළ ජාතික කණ්ඩායමේ ‘Goal Shooter’ ක්‍රීඩිකාව වන අඩි 6’11”ක් උසැති 15 වන වියේ පසුවන මෙලනි විජේසිංහ විශාඛා විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කිරීම නිසා පැහැදිලිවම තරගයේ වාසිය ඔවුන් සතුවිය.

දැල්පන්දු කුසලානයට බලාපොරොත්තු තබා ගත හැකි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම “ලෝක යොවුන් දැල්පන්දු කුසලාන තරගාවලියට” සහභාගී වීමට නියමිත අතර …

විශාඛා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේ දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ලකුණු 31-12ක් ලෙසත්, අවසන් පූර්ව වටයේ දී මහනුවර හිල්වුඩ් විද්‍යාලය ලකුණු 35-18ක් ලෙසත් පරාජයට පත්කළ අතර කළුතර බාලිකා විද්‍යාලය, අර්ධ අවසන් පූර්ව වටයේ දී මියුසියස් විද්‍යාලය ලකුණු 28-23ක් ලෙසත්, අවසන් පූර්ව වටයේ දී කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ඉතා තියුණු තරගයකින් අනතුරුව ලකුණු 23-22ක් ලෙසත් පරාජයට පත්කරන ලදි.

මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 28-18ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කළ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය මෙහි දී 3 වන ස්ථානය දිනා ගත් අතර වයස් කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ විශාඛා විද්‍යාලයේ සනුඳි තුඩුවගේ ය.

වයස අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩය

අවසන් මහා තරගයේ දී මියුසියස් විද්‍යාලයීය කණ්ඩායම උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 26-23ක් ලෙස පරාජයට පත්කළ කළුතර බාලිකා විද්‍යාලයීය කණ්ඩායම ශූරතාවය ජයග්‍රහණය කළ අතර එම විද්‍යාලයේම දිලක්ෂි රවිහාරි වයස් කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.

කළුතර බාලිකා විද්‍යාලයීය කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී ගෝතමී බාලිකා විද්‍යාලය ලකුණු 20-13ක් ලෙසත්, අවසන් පූර්ව වටයේ දී මලියදේව බාලිකා විද්‍යාලය ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 16-15ක් ලෙසත් පරාජයට පත්කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය. අනෙක් පසින් මියුසියස් විද්‍යාලයීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අර්ධ අවසන් පූර්ව වටයේ දී කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ලකුණු 23-10ක් ලෙසත්, අවසන් පූර්ව වටයේ දී සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ලකුණු 18-15ක් ලෙසත් පරාජයට පත්කරමිනි.

මෙහි දී 3 වන ස්ථාන දිනා ගනු ලැබුවේ මලියදේව බාලිකා විද්‍යාලය විසිනි.

වයස අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩය

මෙහි අවසන් මහා තරගයේ දී මහනුවර උසස් බාලිකා විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 10-04ක් ලෙස පරාජයට පත්කළ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ශූරතාවය ජයග්‍රහණය කළ අතර වයස් කාණ්ඩයේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ එම විද්‍යාලයේම දුලාංජලී නිරූපමා ප්‍රනාන්දු ය.

කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය අර්ධ අවසන් පූර්ව වටයේ දී කළුතර බාලිකා විද්‍යාලය ලකුණු 11-05ක් ලෙසත්, අවසන් පූර්ව වටයේ දී සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ලකුණු 12-09ක් ලෙසත් පරාජයට පත්කළ අතර මහනුවර උසස් බාලිකා විද්‍යාලයීය කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ දී මලියදේව බාලිකා විද්‍යාලය ලකුණු 09-08ක් ලෙසත්, අවසන් පූර්ව වටයේ දී ගම්පහ සිරිකුරුස විද්‍යාලය ලකුණු 06-04ක් ලෙසත් පරාජයට පත්කරන ලදි.

තරගයේ 3 වන ස්ථානය සඳහා පැවති තරගයේ දී සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ලකුණු 6-4ක් ලෙස පරාජයට පත්කරන්නට ගම්පහ සිරිකුරුස විද්‍යාලය සමත් විය.


B කාණ්ඩය

මාතර කොකාවල මහා විද්‍යාලය ලකුණු 22-08ක් ලෙස පරාජයට පත්කළ කැලණිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය B කාණ්ඩයේ වයස අවුරුදු 13න් පහළ ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබීය. වයස අවුරුදු 17න් පහළ ශූරතාවය ජයග්‍රහණය කිරීමට අවසන් තරගයේ දී ගුණේපන සිරිමල්වත්ත මහා විද්‍යාලය ලකුණු 30-25ක් ලෙස පරාජයට පත්කළ මාතලේ බණ්ඩාරපොළ මහා විද්‍යාලය සමත් විය.

B කාණ්ඩයේ වයස අවුරුදු 19න් පහළ ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබුවේ අවසන් තරගයේ දී බලංගොඩ රත්මලවින්න මහා විද්‍යාලය ලකුණු 21-19ක් ලෙස පරාජයට කළ බුත්තල රංජන් විජේරත්න විද්‍යාලය යි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට