ප්‍රතිවාදීන්ව පීඩනයට පත්කරන වේගයක් සහ මොහොමඩ් ඉසදීන්ව සිහි කැඳවන ගෝල ලබා ගැනීමේ හැකියාවක් සහිත තරුණ ප්‍රහාරකයෙක් කළුතර නගරයට හමු වී ඇත. ඔහු නමින් නිර්මාල් උදාර පෙරේරා නම් වේ.

මේ වන විට කළුතර සිරි කුරුස විද්‍යාලයේ ඉගෙනුම ලබන 2016 වසරේ අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ නිර්මාල් පෙරේරා, ඔහු මෙතෙක් පැවති ගමන්මග පිළිබඳව අප සමඟ එක්වෙමින් අදහස් දැක්වීය.

>>සධීර සමරවික්‍රම – ප්‍රධාන චරිතයකට සූදානමින්

ප්‍රමාද වූ ආරම්භයක්

තරමක් මෑතක දී පාපන්දු ක්‍රීඩාවට අත්පොත් තැබූ නිර්මාල්, කළුතර ක්‍රීඩාංගණ වලින් ක්‍රීඩාව ආරම්භ කළ ආකාරය පිළිබඳව අදහස් පල කළේය.

15591184_667902603393979_4942802876895910971_o“මම පාපන්දු ක්‍රීඩාව ආරම්භ කළේ මෑතක දී. සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව. ඒත් මං හරියටම පාපන්දු ආරම්භ කළේ වයස අවුරුදු තුනේ දී. ඒක ඒත් සමඟම වගේ නැවතුණා. අවුරුද්දක් වත් හරියට ක්‍රීඩා කළේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ඩිලාන් සර් (ඩිලාන් ජයසූරිය) මගේ දෙමාපියන්ට කතා කරලා මාව පාපන්දු ක්‍රීඩාවට යොමු කරන්න කියලා තිබුණා.”

ඒ අනුව නිර්මාල් නැවතත් පාසල් වයසේ දී ම පාපන්දු ක්‍රීඩාව ආරම්භ කර ඇති අතර ඒත් සමඟම තවත් ක්‍රීඩා කිහිපයකම නිරත වී ඇත.

“මම මලල ක්‍රීඩා, පැසිපන්දු සහ පාසලේ තිබුණ සෑම ක්‍රීඩාවකම වගේ නිරත වුනා. දෙමාපියන් මම පාපන්දු ක්‍රීඩා කරනවාට අකමැති වුවත් මම පොඩි කාලේ සිටම පාපන්දු ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූවා.  ඒත් මම නිතරම වගේ අහල පහළ යාළුවෝ එක්ක පාපන්දු ක්‍රීඩා කළා. ඉන් අනතුරුව සාමාන්‍ය පෙළ අවසන් වුණාට පස්සේ මම පාසලේ කණ්ඩායමත් එක්ක එකතු වුණා.”

සිය දෙමාපියන්ගේ සහායෝගය ද සමඟ ඔහු අවසානයේදී ජෝසප් විද්‍යාලීය ‘Futsal’ උළෙලේ දී පාපන්දු දිවිය ආරම්භ කරන්නට සමත් විය.

තමන් වෙනුවෙන් නමක් සාදා ගැනීම

Nirmla Udaraනිර්මාල් වැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වූයේ පළමු කාණ්ඩයේ තරගාවලියේ දී වුවත් අවුරුදු 19න් පහළ කොත්මලේ ශූරතා තරගාවලියේ දී ද ඔහුගේ දක්ෂතා කැපී පෙනෙන්නට විය. නිර්මාල් තම කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය දක්වා මෙහෙය වූ එම තරගාවලිය පිළිබඳව විමසූ විට ඔහු පවසා සිටියේ;

“අවුරුදු 19න් පහළ කොත්මලේ ශූරතා තරගාවලියේ දී මම ගෝල 9ක් වාර්තා කළා. එක තරගයක දී වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාව වූ ගෝල වාර්තා කළේ මම. ඒ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව ගෝල 4ක් වාර්තා කරමින්.”

එහි දී සිරි කුරුස ක්‍රීඩකයින් ජයග්‍රහණ 5ක් සහ එක් පරාජයක් සමඟින් ‘C’ කාණ්ඩයේ පෙරමුණේ රැඳී සිටීමට සමත් විය. ඔවුන් එහි දී සාන්ත ජෝසප්, සාන්ත මේරීස්, සාන්ත බෙනඩික්ට් සහ කිංස්වුඩ් කණ්ඩායම් පරාජයට පත්කරන්නට සමත් විය. ඔවුන් පරාජයට පත්වූයේ එම කාණ්ඩයේ අවසන් තරගය වූ ද මැසිනොද් විද්‍යාලයීය කණ්ඩායම සමඟ තරගය පමණි. එහි දී තම කණ්ඩායම වාර්තා කළ ගෝල 13න් ගෝල 9කටම හිමිකම් කීවේ නිර්මාල් ය.

ඉන් අනතුරුව පැවති අර්ධ අවසන් තරගයේ දී ඔහු ගෝලයක් වාර්තා කළ ද ඔවුන් එම තරගය පරාජයට පත්විය. ඉන් අනතුරුව ඔවුන් ඊළඟ තරගාවලිය වෙත අවධානය යොමු කළ අතර එම පරාජයෙන් අනතුරුව තම කණ්ඩායම ඊළඟ තරගාවලියට මානසිකව සූදානම් වූ ආකාරය පිළිබඳව ඔහු මෙසේ අදහස් දැක්වීය.

“හැම කණ්ඩායමක්ම පරාජයකින් අනතුරුව මානසිකව දුර්වල වෙනවා. ඒක පුදුමයක් නෙමෙයි. නමුත් ඩිලාන් සර් හැමවෙලේම කිව්වේ අපිට ඕනෑම කණ්ඩායමක් පරාජයට පත්කරන්න පුළුවන් බවත් අපිට ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන් බවත්.”

ගෝල රැසක් වාර්තා කරමින්

නිර්මාල්ගේ දක්ෂතා වඩාත් කැපී පෙනෙන්නට වූයේ 2016 වසරේ අග භාගයේ දී ය. පළමු කාණ්ඩයේ ශූරතා තරගාවලිය ආරම්භ වීමත් සමඟ ඔහු විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් වූ අතර ඒත් සමඟම බොහෝ දෙනාගේ අවධානය තමා වෙත යොමු කර ගැනීමට සමත් විය. එහි දී ඔවුන්ට රාජකීය, හමීඩ් අල් හුසේනි සහ සහිරා වැනි ප්‍රබල කණ්ඩායම් සමඟ තරග වැදීමට සිදු විය.

“ආරම්භයේ සිටම ප්‍රබල කණ්ඩායම් සමඟ තරග වදිද්දී කණ්ඩායම හැර ගිය ක්‍රීඩකයින්ගේ අඩුව අපිට ගොඩක් දැනුණා. නමුත් අපි තරගාවලියට පැමිණියේ පළමු කාණ්ඩයේ ස්ථානය තහවුරු කර ගැනීමට.”

ඔවුන් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම ගෝල 6-0ක් ලෙස පරාජය කරද්දී ඔහු ගෝල 5ක් රැස්කර ගන්නට සමත් වූ අතර ඉන් අනතුරුව සාන්ත පීතර විද්‍යාලය සමඟ තරගයේ දී ද එක් ගෝලයක් වාර්තා කර ගන්නට සමත් විය.

“අපි සාන්ත පීතර විද්‍යාලය සමඟ තරගය ජයග්‍රහණය කළාට පස්සේ පුහුණුකරුවන් අපි පැමිණ තිබෙන තත්වය පිළිබඳව සතුටට පත්වුණා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය වුනා අපි ඒ දක්වා ක්‍රීඩා කළ ආකාරයටම ඉදිරියටත් ක්‍රීඩා කරන්න.”

රාජකීය විද්‍යාලය සමඟ තරගය ජය පරාජයකින් තොරව නිමා වීමත් සමඟ ඉදිරියට යාමට නම් ඔවුන්ට ප්‍රබල සහිරා විද්‍යාලය සමඟ පැවති තරගය ජය පරාජයකින් තොරව හෝ අවසන් කර ගැනීම අනිවාර්ය විය. ඒ අනුව ඔහු එම තරගයේ දී ගෝලයක් වාර්තා කර ගන්නට අපොහොසත් වුවත් ඔහුගේ දක්ෂතා හේතුවෙන් ගෝල 1-0ක් ලෙස පිටුපසින් සිටි ඔවුන් අවසානයේ දී ගෝල 1-1ක් ලෙස තරගය ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට සමත් විය.

“සහිරා විද්‍යාලය සමඟ තරගයේ දී අපිට කුමක් බලාපොරොත්තු වෙන්න ද කියලා හිතා ගන්න බැරි වුනා. ඔවුන් ලංකාවේ සිටින දක්‍ෂම කණ්ඩායම් වලින් එකක්. නමුත් අපි තරගය ජය පරාජයකින් තොරව අවසන් කරගන්නට සමත් වුනා. අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබන්න නම් අපිට ඊළඟ තරගය ජය ගැනීම අනිවාර්ය වුනා. නමුත් අපි අල හුසේනි විද්‍යාලයීය කණ්ඩායම වරක් පරාජය කරලා තිබුණේ. ඉතින් අපි බලාපොරොත්තු වුනා ඊළඟ තරගයත් ජයග්‍රහණය කරන්න හැකි වෙයි කියලා.”

සිරි කුරුස විද්‍යාලයීය කණ්ඩායමට අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පෙර අල් හුසේනි විද්‍යාලය සමඟ තරග වැදීමට සිදු වූ අතර එම තරගය ජයග්‍රහණය කරන්නට ඔවුන් සමත් විය.

“එම තරගය අපි ක්‍රීඩා කළේ ආඩම්බරයකින්. ඒ අපි අපේ ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කළ නිසා. අපේ මුළු කණ්ඩායම ම එහි දී හොඳින් ක්‍රීඩා කළා. අපි ගෝලයක් පසුපසින් සිටියත් අවසානයේ දී එම තරගයත් ජයග්‍රහණය කළා.”

Nirmla Udara 2අල් හුසේනි විද්‍යාලය සමඟ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වූ එම තරගයේ දී ද ඔවුන් ගෝලයක් පිටුපසින් සිටි අතර අනතුරුව නිර්මාල් මිනිත්තු තුනක් ඇතුළත දී ගෝල 2ක් වාර්තා කරගනිමින් තරගයේ කණ්ඩායම තම කණ්ඩායමට හිමි කර දෙන්නට සමත් විය.

ඉන් අනතුරුව මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායම සමඟ පැවති අර්ධ අවසන් තරගයේ දී ද විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කළ ඔහු ගෝලයක් රැස්කරගත් අතර තරගය අවසන් වූයේ ගෝල 2-1ක් ලෙස සිරි කුරුස කණ්ඩායම තරගයේ ජයග්‍රහණය හිමි කර ගනිමිනි.

උණුසුම් අර්ධ අවසන් තරගයකින් අනතුරුව අවසන් මහා තරගයේ දී ඔවුන්ට ප්‍රබල ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමට මුහුණ දීමට සිදුවිය. මොරගස්මුල්ල ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගය ඔවුන් පරාජයට පත්වූයේ ඉතා හොඳ තරගයකින් අනතුරුව ය. එහි දී තරගය ආරම්භ වීමට මිනිත්තු කිහිපයකට පෙර ඔවුන්ට තරගය ක්‍රීඩා කිරීම සඳහා වෙනත් නිල ඇඳුමකට මාරු වීමට ද සිදු විය.

“පළමු කාණ්ඩයේ ශූරතා තරගාවලියේ අවසන් තරගය ජයග්‍රහණය කරන්න හැකිවෙයි කියලා. අපි ඔවුන්ව අවුරුදු 19න් පහළ කොත්මලේ ශූරතා තරගාවලියේ දී වරක් පරාජයට පත් කරලා තිබුණේ. ඒ නිසා මානසික වශයෙන් අපි ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටියේ.

Nirmla Udara 1අපිට එදා අපේ නිළ ඇඳුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වුනා. අපිට තරගය ක්‍රීඩා කරන්න වුණේ වෙනත් ඇඳුමකින්. එය අපේ ක්‍රීඩකයින්ට මානසික වශයෙන් බලපෑවා. නමුත් ඒ ගැන නොසිතා අපි තරගය ක්‍රීඩා කළා. Offside නීතිය උල්ලංඝනය වූවා යැයි සංඥා කළ ගෝලය අපි අතින් ගිලිහීම ලොකු පාඩුවක් වුනා.”

සිරි කුරුස විද්‍යාලය තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට අසමත් වුනත් තරගාවලියේ තරග 8ක දී ගෝල 10ක් වාර්තා කර ගත් නිර්මාල් ‘Golden Boot’ සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු සාන්ත ජෝසප් විද්‍යාලයේ සචින්ත මදුරංගට වඩා එක් ගෝලයක් ඉදිරියෙන් සිටියේය.

අනාගතය

බාසිලෝනා සහ බ්‍රසීල කණ්ඩායම්වල රසිකයෙක් වන නිර්මාල් එක් ක්‍රීඩකයෙකු අනුගමනය නොකරයි. කෙසේ වුවත් ඔහු සහිරා විද්‍යාලයේ ෆරූඩ් ෆායිස්, සචින්ත මදුරංග, රාජකීය විද්‍යාලයේ නවීන් ජූඩ් සහ ද මැසිනොද් විද්‍යාලයේ රන්ජු සිල්වා වැනි ක්‍රීඩකයින්ගේ දක්‍ෂතාවන් පිළිබඳව අගය කරයි.

ඔහුගේ දක්‍ෂතාවල රහස පිළිබඳව විමසා සිටි විට ඔහු පවසා සිටියේ;

“මාව එතරම් නොදන්නා ක්‍රීඩකයෙක් වීම මට වාසියක් වුනා. මට කායික වශයෙන් එතරම් වාසියක් හිමිවුණේ නැතත් මට තිබෙන ලොකුම ආයුධය තමයි මගේ වේගය.”

පාසල් දිවියේ අවසාන කාලය ගත කරන නිර්මාල් හට ඔහුගේ පාපන්දු දිවියේ අනාගතය මෙන්ම අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ද ඉලක්කයක් ඇත.

“මම හිතන විදිහට සිරි කුරුස විද්‍යාලයීය කණ්ඩායම මේ වන විට ලංකාවේ තිබෙන ප්‍රබලම පාසල් කණ්ඩායම් වලින් එකක්. ඒ නිසා අපි කලින් අවුරුද්දේ ක්‍රීඩා කළ ආකාරයටම මේ වසරේත් ක්‍රීඩා කිරීම අවශ්‍යයි. අවුරුදු 17න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම අපේ කණ්ඩායමට එක්වෙලා තිබෙනවා. ඒක අපිට ශක්තියක්. ඒ වගේම උසස් පෙළ විභාගය පිළිබඳවත් මම අවධානය යොමු කළ යුතුයි. පසුගිය වසරේ ක්‍රීඩා කළාට වඩා හොඳින් මෙම වසරේ දී ක්‍රීඩා කරන්නත් බලාපොරොත්තු වෙනවා.”

“අපේ පාසලේ ආදි ශිෂ්‍යයෝ එකතු වෙලා ඩිලාන් සර්ගේ මාර්ගෝපදේශකත්වය යටතේ කෘසේඩර්ස් කියලා ක්‍රීඩා සමාජයක් ආරම්භ කරලා තිබෙනවා. පාසල් කටයුතු අවසන් කිරීමෙන් පසු මම එම ක්‍රීඩා සමාජය හා එක්වීමට බලාපොරොත්තු වෙනවා.”

දක්‍ෂතාවන් සහිත ක්‍රීඩකයින් තම පාසල් වෙත ඈදා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති යුගයක ඔහුට වෙනත් ප්‍රමුඛ පෙළේ පාසල් වලින් ඇරයුම් ලැබී ඇත්දැයි ඇසීමෙන් වැළකී සිටීමට අපට හැකි වූයේ නැත.

“කවුරුත් මට තාම එහෙම ඇරයුමක් කරලා නැහැ. එහෙම ඇරයුමක් ලැබුණත් මම හිතන් නැහැ මම ඒ ගැන සලකා බලයි කියලා.” මඳ සිනාවක් සමඟින් නිර්මාල් එසේ පැවසීය.

තමාටම ආවේණික ක්‍රීඩා ශෛලිය සහ වේගය සමඟින් පාසල් පාපන්දු පිටිය ආක්‍රමණය කරන්නට නිර්මාල් සමත් වී ඇති අතර ඔහු අනාගතයේ දී තවත් ඉදිරියට එන බව නොඅනුමානය. ඉදිරිපෙළ ක්‍රීඩා කරමින් විශිෂ්ට දස්කම් දක්වන නිර්මාල් හට එතරම් අත්දැකීම් නොතිබුණත් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අනාගතයේ දී මොහු ඉතා වැදගත් ක්‍රීඩකයෙක් වනු ඇත.

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න