හෝල්ඩර්ගෙන් බ්‍රැත්වෙට්ට අභියෝගයක්

1372
The Indian Express

ඊයේ (22) පැවති 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් – නවසීලන්ත තරගය සුපිරි අවසානයක් කරා රැගෙන යන්නට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වෙට් සමත් වූයේ අගනා ශතකයක් වාර්තා කරමින්. කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය අසලටම ගිය නමුත් ඔවුන්ට සාර්ථක ලෙස තරගය අවසන් කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් කාර්ලොස් බ්‍රෙැත්වෙට්ගෙන් ඉල්ලා සිටින්නේ “නිතරම මෙලෙස ක්‍රීඩා කරන ලෙසයි”.

ශ්‍රී ලංකාව ආදර්ශයට අරන් ලෝක කුසලානය දිනන්න යන කණ්ඩායමක් ගැන දන්නවා ද?

2019 ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම කතාබහට ලක්වූ තරගය ලෙස ශ්‍රී ලංකා එංගලන්තය තරගය…

ලකුණු 292ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් ලකුණු 164කට කඩුලු හතක් දැවී ඉතා අසීරු තත්වයක පසුවෙද්දී බ්‍රැත්වෙට් පන්දු 82ක දී ලකුණු 101ක් වාර්තා කරමින් තරගය ආපසු කොදෙව්වන්ගේ දෙසට හරවන්නට සමත් වුනා. එම ශතකය ඔහුගේ මංගල එක්දින ශතකය බවට පත් වූ අතර කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා මදි වුණේ ලකුණු හයක් පමණයි.

පන්දු හතකින් ලකුණු 6ක් අවශ්‍යව තිබිය දී බ්‍රැත්වෙට් හයේ පහරක් සඳහා උත්සහ කළ නමුත් ජීමී නිෂාම්ගේ පන්දුවකට ට්‍රෙන්ට් බෝල්ට් හතරේ සීමාව අසල දී උඩ පන්දුවක් රැක ගත්තේ අවාසනාවන්ත ලෙස බටහිර ඉන්දීය ඉනිම කෙළවර කරමින්.

නවසීලන්තය හමුවේ පරාජය වීමත් සමඟ බටහිර ඉන්දීය කොදෙව්වන්ට අවසන් පූර්ව වටයට පිවිසීම ඉතාමත්ම අපහසු වී තිබෙනවා. කාලෝස් බ්‍රැත්වෙට්ව ලොව හඳුනා ගත්තේ 2016 විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී ඔහු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා බෙන් ස්ටොක්ස්ට අවසන් පන්දුවාරයේ දී හයේ පහර හතරක් එල්ල කළ නිසයි.

කෙසේ වෙතත් ඔහුගේ එක්දින ක්‍රිකට් දිවිය තුළ ලකුණු 50 සීමාව ඉක්මවා ගිය දෙවන අවස්ථාව මෙයයි.

“ඔහු ක්‍රීඩා කරන ආකාරය ඉතා අගනෙයි.” හෝල්ඩර් පවසා සිටියා. “ඔහු වගකීම්වලින් පලා යන්නෙකු නොවෙයි. ඔහු තරගයකට සූදානම් වෙන්න ඉතාමත්ම මහන්සි වෙනවා. ඔහු ක්‍රීඩා කළ අගනා ඉනිම මට නම් පුදුමයක් නොවෙයි.”

“මම දන්නවා බොහෝ දෙනා මාත් සමඟ එකඟ වෙනවා කියලා. හැමෝම කැමතියි ඔහු හැමදාම මේ විදියට ක්‍රීඩා කරනවා බලන්න. එය තමයි මුළු කණ්ඩායමටම අවශ්‍ය.”

“කණ්ඩායමක් විදියට අපි එක දිගටම හොඳ දක්ෂතා දක්වන්න ඕන.”

මේ අතර බ්‍රැත්වෙට් පවසා සිටියේ ඔහුගේ ඉනිම පිළිබඳ දුක හා සතුට මිශ්‍ර හැඟීම් ද්විත්වයම පවතින බවයි.

ලොවක් පුදුම කිරීමට ලැබුණු අවස්ථාව බ්‍රැත්වයිට් අතින් ගිලිහෙයි!

තවත් ලෝක කුසලාන තරග අත්දැකීමක් විඳ ගැනීමේ අටියෙන් ඊයේ (22) මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆඩ්…

“මගේ මහන්සියේ ප්‍රතිඵල දකින්නට ලැබීම සතුටුයි.” බ්‍රැත්වෙට් හඬ අවදි කර තිබුණා. “තරගය ජයගන්න බැරි වුණු එක ගැන මගේ බලාපොරොත්තු කඩ වෙලා තිබෙන්නේ. නමුත් මම සතුටුයි මම දැවී යන්න කලින් මගේ කණ්ඩායම තරගය ජය ගත හැකි ස්ථානයකට ගෙන ඒමට හැකි වීම ගැන.”

බ්‍රැත්වෙට් අවසන් කඩුල්ල සඳහා ඔශෙන් තෝමස් සමඟ එක්ව ලකුණු 41ක් ලකුණු පුවරුවට එකතු කළා. ක්‍රිස් ගේල් සුපිරි ලකුණු 87ක් රැස් කර දැවී ගියාට පසුව බ්‍රැත්වෙට් නවසිලන්ත ක්‍රීඩකයින්ට මෙන්ම ප්‍රේක්ෂකයින්ව ද සෑහෙන ලෙස බිය වැද්දුවේ අවසන් පන්දුවාරය තෙක් තරගය රැගෙන එමින්.

“හැමෝම හිතුවා අපිට දිනන්න පුළුවන් වෙයි කියලා, පසුපෙළ පිතිකරුවන් ලබා දුන් සටන අති විශිෂ්ටයි.”

බ්‍රැත්වෙට් නොසිතූ ලෙස දැවී යාමෙන් පසු ඔහු පිටිය තුළ දනින් වැටුණේ බලාපොරොත්තු කඩ වූ බව පෙන්වමින්. නවසිලන්ත නායක කේන් විලියම්සන් මෙන්ම නවසිලන්ත ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පැමිණ ඔහුව සැනසුවේ ක්‍රීඩාවේ ජීව ගුණය මනාව විදහා දක්වමින්. නවසිලන්ත නායක ඊයේ ලකුණු 148ක් රැස් කරමින් සිය හොඳම එක්දින ඉනිම ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

අපේ කණ්ඩායම දවසෙන් දවස ඉදිරියට යනවා – ඇෆ්ගන් නායක

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – ඇෆ්ගනිස්තාන තරගය ඊයේ (22) සදම්ටන් හිදී…

“නවසීලන්ත ක්‍රීඩකයින් ලොව සිටින හොඳම මිනිසුන්.” බ්‍රැත්වෙට් පවසා තිබුණා. “මම වාසනාවන්තයි ඒ වගේ හොඳ මිනිසුන් එක්ක එක ක්‍රීඩාගාරයක් බෙදාගන්න. මේ වාගේ ලෝක කුසලාන තරගාවලියක ක්‍රීඩා කරන්න.”

“ඔවුන් හොඳ ක්‍රීඩාශීලී බවක් පෙන්වූවා. මම අගය කරනවා ඔවුන්ගේ අන්‍යෝන්‍ය ගෞරවය දැක්වීම.” බ්‍රැත්වෙට් සිනහවක් සමඟින් ප්‍රකාශ කළා. පළමු ලෝක කුසලාන දෙකම ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් දූපත් මේ වන වට සහභාගී වූ තරග හයෙන් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. ඔවුන්ගේ මීළඟ තරගය එළඹෙන බ්‍රහස්පතින්දා ඉන්දියාවට එරෙහිවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<