ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අවසන් පූර්ව වටයේ සිය ආසන වෙන්කර ගනියි

133

2018 ඔඩිශා ලෝක කුසලාන හොකී තරගාවලියේ අතිශයින් තීරණාත්මක සුපිරි අට දෙනාගේ වටයේ තරග යුගලකින් ජය ලබා අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ඊයේ (12) දින සමත් වුනා.

බෙල්ජියම සහ නෙදර්ලන්තය හොකී ලෝක කුසලානයේ සුපිරි 8 දෙනා අතරට

ඉන්දියාවේ බුවනේස්වර්හී මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන හොකී….

  • එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර තරගය

ලෝක හොකී ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන ස්ථානයේ පසුවන ආර්ජන්ටිනාව මෙම තරගය පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළ නමුත් සියල්ල උඩුයටිකුරු කරමින් එංගලන්ත ක්‍රීඩකයින් විසින් දියත් කළ මෙහෙයුමට මෙවර ආර්ජන්ටිනාවේ ලෝක කුසලාන ගමන් මඟ වෙත නැවතීමේ තිත තැබීමට හැකි විය.

තරගයේ මුල් කාර්තුවේ දී දෙපිළම තම ගෝල අන්ත රැක ගැනීමට විවිධ ආරක්ෂක උපක්‍රමයන්  අනුගමන‍ය කරමින් ඉතා සුපරික්ෂාකාරීව තරගයට අවතීර්ණ වීමට උත්සුක වූ අතර දෙවන කාර්තුව ආරම්භ වී මුල් විනාඩි කිහිපය තුළ දී කණ්ඩායම් දෙකම තම උපාය මාර්ගයන් තරමක් වෙනස් කරමින් වේගවත් ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවකට හැඩ ගැහෙන්නට උනන්දු විය. ආර්ජන්ටිනාවට ලැබුණු short corner අවස්ථාවකින් උපරිම ඵල නෙලාගත් ඔවුන් තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කිරීමට සමත් වූයේ ගොන්සාලෝ පෙයිලත්ගේ එම සාර්ථක උත්සහයත් සමඟිනි.

ආර්ජන්ටිනාව 1 – 0 එංගලන්තය

සිය ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ අභියෝගයට නිසි පිළිතුරක් ලබා දීමට වැඩි වේලාවක් ගත නොකළ එංගලන්ත ක්‍රීඩකයෝ අපූරු කණ්ඩායම් ගෝලයක් වාර්තා කළේ තරගයේ ප්‍රථම අර්ධය නිමාවීමට මිනිත්තු 3ක පමණ කාලයක් ඉතිරිව තිබියදීය. ගෝලය ලබා ගැනීමේ ගෞරවය බැරී මිඩ්ල්ටන්ගේ ගිණුමට බැර වුනි.

පළමු අර්ධය: ආර්ජන්ටිනාව 1 – 1 එංගලන්තය

සවින්දී ඇගේ හොඳම පෞද්ගලික කාලය වාර්තා කරයි

චීනයේ Hangzhou හිදී ආරම්භ වූ 14 වැනි FINA ලෝක පිහිනුම් ශූරතාවලියේ …

දෙවන අර්ධයේ පළමු කාර්තුව එංගලන්තය තම පාලනයට නතු කරගත්තේ පන්දුව වැඩි වේලාවක් ඔවුන්ගේ ග්‍රහණයේ තබා ගනිමින් ආර්ජන්ටිනා ආරක්ෂක පෙළ වෙත දැඩි පීඩනයක් එල්ල කරමිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් තරගයේ තෙවන කාර්තුව අවසන් වීමට විනාඩියකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී බැරී මිඩ්ල්ටන් විසින් එංගලන්ත ගෝල සීමාවට ගුවනින් යොමු කළ පන්දුව විල් කැල්නොන් විසින් මැනවින් පිළිගැනීමෙන් අනතුරුව දක්ෂ ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයින් මුලා කරමින් දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විශිෂ්ඨ ගෝලයක් රැස් කිරීමට සමත් විය.

ආර්ජන්ටිනාව 1 – 2 එංගලන්තය

තවදුරටත් කාලය ගතවත්ම තරගයේ උණුසුම කෙමෙන් වර්ධනය කරමින් ආර්ජන්ටිනා කණ්ඩායම අවසන් අර්ධයේ දී දැඩි අධිෂ්ඨානශීලි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ අතර එය සනාථ කරමින් යළි ක්‍රියාත්මක වූ ගොන්සාලෝගේ පිත්ත ආර්ජන්ටිනාව තවත් පියවරක් ඉදිරියට ගෙන යාමට සමත් වුයේ කණ්ඩායම් දෙකහිම ගෝල මට්ටම් සම කරමිනි. එම ගෝලය වාර්තා කිරීමත් සමඟම තරගාවලියේ වැඩිම ගෝල ලාභීන්ගේ නාම ලේඛනයේ ඉහළටම පැමිණීමට ගොන්සාලට හැකි වුවේය.

ආර්ජන්ටිනාව 2 – 2 එංගලන්තය

ඉහළ නැංවුණු දහස් සංඛ්‍යාත ආර්ජන්ටිනා රසික බලාපොරොත්තු සුනු විසුනු කර දැමූ එංගලන්ත ක්‍රීඩක හැරී මාටින් ඉතා සූක්ෂමව ආර්ජන්ටිනා ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් දෙදෙනෙකුව  මගහරිමින් තරගයේ 49වන විනාඩියේ දී වාර්තා කළ ගෝලය නිසා පසුගිය වර ලෝක කුසලාන තරගාවලියේ දී තෙවන ස්ථානය හිමි කරගත් ආර්ජන්ටිනාවට මෙවර ලෝක කුසලානයේ ගමන එසේ කලින්ම අවසන් කිරීමට සිදුවුනි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන අවසන් පූර්ව වටය සඳහා අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්ත්වය – ආර්ජන්ටිනාව 2 – 3 එංගලන්තය

ගෝල ලබා ගැනීම
ආර්ජන්ටිනාව – ගොන්සාලෝ පෙයිලත් 2
එංගලන්තය – බැරී මිඩ්ල්ටන්ගේ 1, විල් කැල්නොන් 1, හැරී මාටින් 1


  • ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය අතර තරගය

වත්මන් හොකී පිටියේ ප්‍රභලතම කණ්ඩායම ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාව මෙම තරගයේ ආරම්භයේ සිට අවසානය දක්වා සිය අණසක පතුරුවමින් සිය යුරෝපීය සඟයින් හට තරගයට අවතීර්ණ වීමට කිසිඳු අවකාශයක්  ලබා නොදුන්නේ ය.

කාල ගණක යන්ත්‍රයේ මිනිත්තු හතරක් සටහන් වත්ම ලකුණු පුවරුවට ජීවය ලබාදුන් කැන්ගරු දේශය පන්දුව දැල වෙත යොමු කරමින් සුපිරි ආරම්භයක් ලබා ගත් අතර ජෙරමි හේවර්ඩ්ගේ පිත්තෙන් එම ගෝලය වාර්තා විය.

ඕස්ට්‍රේලියාව 1 – 0  ප්‍රංශය

දෙවන කාර්තුවේ දී සිය සුපුරුදු රිද්මයට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බ්ලේක් ගවර්ස් short corner අවස්ථාවක් තම වාසියට හරවා ගනිමින් පන්දුව විදුලි වේගයෙන් ගෝලය වෙත එල්ල කළේ ප්‍රංශ දැල්රකින්නාව අන්දමන්ද කරමිනි. එම ගෝලයත් සමඟම තරගාවලියේ තම පෞද්ගලික ගෝල සංඛ්‍යාව 6 දක්වා වැඩි කරගත් ඔහු මෙම ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ලාභින්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින ගොන්සාලෝ පෙයිලත් සමඟ සම තැන හිමිකරගෙන සිටියි.

ඕස්ට්‍රේලියාව 2 – 0 ප්‍රංශය

ඕස්ට්‍රේලියාව වාර්තා කළ අවසාන සහ තෙවන ගෝලය ඔවුන්ට හිමිවූයේ තරගයේ 37වන මිනිත්තුවේ දී සාර්ථක කරගත් නායක ඒරාන් ස්ලැව්ස්කිගේ උත්සහය නිසාවෙනි. නැවතත් short corner අවස්ථාවක් උපයෝගී කරගනිමින් යොමු කළ පන්දුව යොමු කිරීම් වාර දෙකක් සම්පූර්ණ කිරීමෙන් පසුව නායක ඒරන්ගෙ අතට පත් වූ අතර ඔහු ඉතා පහසුවෙන් එම ගෝලය ලබා ගැනීමට සමත් වූයේ ඒ වන විට ප්‍රතිවාදී ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් ගෝල කණු අතරින් ඉවත්ව සිටි නිසාවෙනි. තරගාවලියේ සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැකගනිමින් ලෝක ශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම තම ලෝක කුසලාන ගමන් මගෙහි තවත් එක් පියවරක් ඉදිරියට තබමින් අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලැබීය.

අවසන් ලකුණු තත්වය – ඕස්ට්‍රේලියාව  3 – 0 ප්‍රංශය

ගෝල ලබා ගැනීම
ඕස්ට්‍රේලියානු කණ්ඩායම – ජෙරමි හේවර්ඩ් 1, බ්ලේක් ගවර්ස් 1, ඒරාන් ස්ලැව්ස්කි 1

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<