කෙස් ගසින් රන් පදක්කමක් අහිමි කරගත් ශ්‍රී ලංකා හොකී කණ්ඩායම

270

ශ්‍රී ලංකා හොකී පිල ලෝක ශූරතා ලීග් හොකී තරගාවලියේ පළමු වටයේ තරගාවලිය සඳහා සහභාගිවීමට පසුගියදා සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

එහිදී ශ්‍රී ලංකා කාන්තා පිල හා පිරිමි හොකී කණ්ඩායම් මෙවර තරගාවලිය සඳහා සහභාගි කරවීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබිණි. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාත්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාත් විසින් ලබාගන්නා ලද සෘජු තීන්දු තීරණ හේතුවෙන් මෙවර හොකී තරගාවලිය සඳහා ඉතිහාසයේ ඉතාමත් දුලබ අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිව තිබූ බව පැවසිය යුතුය. ඒ තමන්ගේ වෙහෙසින් මුදල් නොසොයා තරගාවලිය සඳහා සහභාගීවීමට ලැබෙන අනභිබවනීය අවස්ථාව දිනාගැනීමය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක අතරින් පිරිමි කණ්ඩායම මෙවර තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත්වීම කැපී පෙනෙයි. ඉතා දැඩි පුහුණුවීම් මැද කෙටි කාල සීමාවකදී හෝ ඔවුන් ලබාගත් ජයග‍්‍රහණය සැබැවින්ම මෙරට හොකී ක්‍රීඩාවේ විශිෂ්ට අනාගතය සම්බන්ධයෙන් පූර්ණ අපේක්ෂා ගොඩනංවන්නකැයි මෙහිදී කිව යුතුව ඇත.

අප එසේ කියන්නේ මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ තරග අතරින් මූලික තරග සියල්ල ජය ලබමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්වීමත් සමඟය. එහිදී ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම පළමුවෙන්ම සහභාගිවූයේ මියන්මාරය සමඟ පැවැති තරගයටය. එහිදී මියන්මාර කණ්ඩායමට එරෙහිව ගෝල 7-0 ක් ලෙස පහසුවෙන් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්විය.  ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වූයේ සත්කාරක සිංගප්පූරුව සමඟ තරගයටයි. නූතන තාක්ෂණික ප‍්‍රයෝග උපරිම ආකාරයෙන් උපයෝගී කරගන්නා කණ්ඩායම් අතර ඉදිරියෙන් සිටින පිලක් ලෙස සැලකිය හැකි සිංගප්පූරුව ගෝල 2-1ක් වශයෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම මෙහිදී කැපී පෙණුනේය. B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට සිය මූලික වටයේ අවසන් තරගය වශයෙන් ලැබුණේ කසකස්ථාන කණ්ඩායම සමඟ තරග වැදීමටය. එහිදී ද ශ්‍රී ලංකා පිල ගෝල 7-0ක් ලෙස ජයගැනීමට සමත් වූයේය.

එයින් අනතුරුව ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව තරග වටය සඳහා සුදුුසුකම් ලැබූ අතර එහිදී ඔවුන් තරග වැදුණේ තායිලන්තය සමඟයි. එය ගෝල 5-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. ඉන් අනතුරුව ප්‍රබල චීන කණ්ඩායම සමඟ අවසන් මහා තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා පිල නියමිත තරග කාලය තුළ ගෝල 3-3ක් ලෙස සමතත්වයෙන් තරගය අවසන් කරගැනීමට සමත් වූ බව පැවසිය යුතුය. ඉතාමත් විශිෂ්ට හැකියාවෙන් යුතුව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රබල චීනය හමුවේ ලැබුණු නිදහස් ගෝල විදීමේ අවස්ථාවෙන් අනතුරුව ගෝල දෙකක් සාර්ථක කරගත්තද චීනය ගෝල හතරක් එම කාලය තුළ සාර්ථක කරගැනීමට සමත් වූයෙන් දෙවැනි ස්ථානයෙන් සෑහීමට සිදුවීම ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් අවසනාවක් ලෙස දැක්විය හැකිය. අනුරුද්ධ හේරත් බණ්ඩාර නම් කලක් ශ්‍රී ලංකා ජාතික දැල්  රකින්නා යටතේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යංශය සහයෝගය යටතේ ලබාගත් මෙම ජයග‍්‍රහණය සැබැවින්ම විශිෂ්ට එකකැයි පැවසිය යුතුය.

 ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික පුහුණුකරු සමඟ තරගාවලියට ප්‍රථමව අප පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක සංක්ෂිප්තයට මෙයින් පිවිසෙන්න.