ජාතින් හයක් උරෙනුර ගැටෙන සුප්‍රකට “Six Nations” රග්බි ශූරතාවලිය

399

ලාංකීය රග්බි පිටියේ උණුසුම් තතුවිත්ති නිරන්තරයෙන් ඔබ වෙත ගෙන එන ThePapare.com, මෙවර ඔබව ජාත්‍යන්තර රග්බි පිටියට කැඳවා ගෙන යාමට සිතුවා. මේ ලොව ප්‍රකට සික්ස් නේෂන්ස් (Six Nations) රග්බි තරගාවලිය පිළිබඳව ඔබ නොදත් කරුණු කිහිපයක්.

මොකද්ද මේ සික්ස් නේෂන්ස් ?

සුප්‍රකට සික්ස් නේෂන්ස් රග්බි තරගාවලිය යනු එංගලන්තය, ප්‍රංශය, අයර්ලන්තය, ඉතාලිය. ස්කොට්ලන්තය හා වේල්ස් යන රටවල් හය එකිනෙකා ගැටෙන සයකොන් රග්බි තරගාවලියක්. මෙම තරගාවලියේ වත්මන් ආකෘතිය 2000 වසරේ සිට ක්‍රියාත්මක වන අතර තරගාවලි හයක් ජය ගත් එංගලන්තය තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙස ඉදිරියෙන් පසුවෙනවා.

ආරම්භය

සික්ස් නේෂන්ස් රග්බි තරගාවලිය ලොව පැරණිතම රග්බි තරගාවලියක්. එහි ආරම්භය 1883 වසර දක්වා දිව යනවා. එය ආරම්භයේ දී හැඳින්වුණේ ’Home Nations’ ශූරතාවලිය ලෙසයි. ඒ එවකට මහා බ්‍රිතාන්‍යයට අයත් වූ එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය තරග වැදීම නිසයි.

“රෝනාන් ඕ’ගාරා තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 557ක් රැස් කරගෙන සිටියි”

එම තරගාවලි ආකෘතිය 1910 වසර දක්වා ක්‍රියාත්මක වූ අතර සියලු කණ්ඩායම් එක් වතාවකට වඩා තරගාවලිය ජය ගැනීම විශේෂත්වයක්. 1910 වසරේ දී ප්‍රංශය මෙම තරගාවලියට ඇතුළු වූ අතර ඉන්පසුව එය ජාතින් පහේ තරගාවලිය හෙවත් ෆයිව් නේෂන්ස් තරගාවලිය ලෙස හැඳින්විය.

රටවල් පහේ තරගාවලිය 1932 දක්වා දිග හැරුණි. අනෙක් සියලු රටවල් එක් වරක් හෝ තරගාවලිය ජය ගනිද්දී ප්‍රංශය එක්වරක් හෝ තරගාවලිය ජය ගැනීමට අසමත් වීම විශේෂත්වයක් වුනා. ඔවුන් තරගාවලිය ජය නොගත්තා පමණක් නොව නිසි තරගකාරිත්වයක් පවත්වා නොගැනීම නිසා හා ක්‍රීඩාවේ තත්වය වෘත්තීමය නොවීම නිසා නිසා 1932 වසරේ දී ඔවුන් තරගාවලියෙන් නෙරපා දැමීමට සංවිධායක මඩුල්ල තීරණය කළා.

එම නිසා තරගාවලිය යළිත් මහා බ්‍රිතාන්‍ය තරගාවලිය හෙවත් “Home Nations Championship” ලෙස හැඳින්වීමට තීරණය කරන ලදි. අයර්ලන්තය කොටස් දෙකකට කැඩී ගියත් හා අයර්ලන්ත ජනරජය එක්සත් රාජධානියෙන් වෙන් වුනත් තරගාවලිය දිගින් දිගටම Home Nations Championship ලෙස හැඳින්වීම තරගාවලි ඉතිහාසයේ ඇති විශේෂම සිදුවීමක්.

ක්‍රීඩාවේ මෙන්ම සමාජීය වශයෙන් ද පෙරළි රැසක් සිදුවී තරගාවලිය නැවත වෙනස් මානයකට ඇදී යන්නේ ඉන් පසුවයි.1939 වසරේදී ප්‍රංශය නැවත තරගාවලියට ඇතුළු කර ගන්නා ලද අතර ඉන්පසු වහාම තරගාවලිය අතහැර දැමුණේ දෙවන ලෝක යුද්ධය නිසාවෙනි. 1947 වසරේ දී ලෝක යුද්ධය නිමාවී තරගාවලිය යළි ආරම්භ වූ අතර 2000 වසරේ දී ඉතාලියත් ඇතුළු කරගෙන නවීන ආකෘතියක් යටතේ වත්මන් සික්ස් නේෂන්ස් තරගාවලිය බිහි විය.

තරගාවලි ආකෘතිය

වත්මන් තරගාවලි ආකෘතිය ඉතා සරලය. සෑම කණ්ඩායමක්ම සෑම වසරකම සෑම කණ්ඩායමක්ම හා තරග කරන අතර වසරින් වසර මාරුවෙන් මාරුවට සිය රටේ දී හා පිටතේ දී තරග පැවැත්වේ. ඒ අනුව එක් කණ්ඩායමක් එක් වසරක සිය රටේ දී තරග තුනක් ක්‍රීඩා කරන අතර රටින් පිට එක් තරගයක් ක්‍රීඩා කරයි. ඊට පසු වසරේ දී රටින් පිට තරග තුනක් හා සිය රටේ තරග දෙකක් බැගින් ක්‍රීඩා කරයි.

(2018 ශූරයින් වූ අයර්ලන්ත කණ්ඩායම)

තරගයක් ජයග්‍රහණය කරන කණ්ඩායමකට ප්‍රසාද ලකුණු දෙකක් හිමි වේ. ජය පරාජයෙන් තොර තරගයකට එක් ලකුණක් ද හිමි වේ. පරාජය වන කණ්ඩායමට කිසිදු ලකුණක් නැත.

2017 වසරේ දී පළමු වතාවට අමතර ලකුණු ලබා දීමේ ක්‍රමවේදය (Bonus) ක්‍රියාත්මක කළ අතර ඒ අනුව මෙම තරගාවලිය ද අනෙක් තරගාවලිවල ආකෘතියටම සකස් විය.

“එක් තරගයක දී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරගෙන ඇත්තේ 2001 වසරේ දී එංගලන්ත සුපිරි ක්‍රීඩක ජොනී විල්කින්සන් විසින්. එම ලකුණු ගණන 35ක්.”

අමතර ලකුණු ක්‍රමවේදයට අනුව ජයග්‍රාහකයාට ලකුණු 4ක්, ජය පරාජයෙන් තොර තරගයට ලකුණු දෙකක් හා පරාජයකට එක් ලකුණක් බැගින් හිමි වේ. එක් තරගයක දී උත්සාහක දිනුම් හතරක් හෝ ඊට වඩා රැස්කර ගන්නා කණ්ඩායමට අමතර ලකුණක් හිමි වේ. පරාජිත කණ්ඩායම් ද ලකුණු 7කින් හෝ ඊට අඩුවෙන් පරාජය වුණුහොත් අමතර ලකුණක් හිමි වේ.

මෙම තරගවලියටම විශේෂ ලෙස අනෙක් සියලු කණ්ඩායම් පරාජය කර ‘Grand Slam’ අවස්ථාවක් වාර්තා කළහොත් අමතර ලකුණු තුනක් හිමි වේ.

“තරගාවලි ඉතිහාසයේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා අයර්ලන්තයේ බ්‍රයන් ඕ’ඩ්රිස්කොල්. ඔහු උත්සාහක දිනුම් 26ක් වාර්තා කළා.“

තරගාවලියේ ලබා දෙන එකම සම්මානය Grand Slam සම්මානය පමණක් නොවේ. යම් කිසි කණ්ඩායමක් එක් වසරක දී තමන්ට තම රටෙන් පිට හිමි තරග තුනම ජය ගැනීමට සමත් වුවහොත් ත්‍රිත්ව කිරුළ (Triple Crown) ජයග්‍රහණය කළා යැයි සැලකේ. 2006 වසරේ සිට ඒ සඳහා ද කුසලානයක් නිර්මාණය කෙරිණි.

සික්ස් නේෂන්ස් තරගාවලියටම විශේෂම සලකුණක් නම් ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වන කණ්ඩායමට ‘Wooden Spoon’ නම් වටිනාකමින් අඩු සම්මානයක් ද ලබා දීමයි.

මූලාශ්‍රය – www.therugbypaper.co.uk

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<