ඕන ක්‍රීඩකයෙක් අයින් කරලා ඔහුව දාන්න පුළුවන් – ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්

245

හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක වන ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත එංගලන්ත සංචිතයෙහි යම් වෙනසක් සිදු කළ යුතු යැයි ඊයේ (7) දිනයේ දී පැවති උත්සවයක් අතරතුර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

රිචඩ්සන් වෙනුවට රිචඩ්සන් ඕස්ට්‍රේලියා සංචිතයට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ………..

ඒ අනුව සිදු විය යුතු සුළු වෙනස්කම් කිහිපය අතරින් ඔහු වඩාත් අවධාරණයෙන් යුතුව පවසා සිටින කාරණාවක් ලෙස ජොෆ්රා ආර්චර් එංගලන්ත ලෝක කුසලාන සංචිතය වෙත එකතු කරගැනීම මෙහි දී සඳහන් කළ හැක.

බාර්බඩෝස්හී උපත ලද කොදෙව් සම්භවයක් සහිත ජොෆ්රා ආර්චර් ඉතා දක්ෂ වේගපන්දු යවන්නෙක් මෙන්ම ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ද නම් දැරූ අයෙකි. බිග් බෑෂ්, කැරිබියන් ප්‍රිමියර් ලීග් වැනි ඉතාමත් තරගකාරී විස්සයි විස්ස ලීග කිහිපයක් සඳහාම සිය දායකත්වය ලබා දෙමින් පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් පුරාවටම ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය දිනා ගැනීමට ආර්චර් සමත් විය.

තම පියා බ්‍රිතාන්‍යය ජාතිකයෙකු වූ පමණින් බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ස්ථිර වශයෙන්ම ලබා ගත නොහැකි වන්නේ ඒ සඳහා සැපිරිය යුතු නෛතික කරුණු කාරණා කිහිපයක් බලපවත්නා බැවිනි, ඒ අතරින් මූලිකවම ඔහු ද්විතීය අධ්‍යාපනය හදාරා තිබෙනුයේ වෙනත් රටක නිසාවෙන් වයස අවුරුදු 18 සම්පූර්ණ වන තෙක් බලා සිටීමට ඔහුට සිදු විය. කෙසේ නමුත් අවස්ථා තුනක දී බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කර ඇති ආර්චර් හට පසුගිය වසරේ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ICC සමඟ එක්වෙමින් හඳුන්වා දුන් ක්‍රීඩක නීති මාලවේ සංශෝධනයන්ගෙන් අනතුරුව නිත්‍ය වශයෙන් බ්‍රිතාන්‍යය පුරවැසිභාවය හිමිකර ගැනීමේ අවස්ථාව ඔහුට උදා විය.

ප්‍රබල ක්‍රීඩකයෙක් සංචිතයෙන් ඉවතට

දකුණු අප්‍රිකාවට තවත් හිසරදයක් වෙමින් ලෝක කුසලානය………..

ගෙවුණු වසර කිහිපය පුරාවටම මැවූ එංගලන්ත වර්ණයන් හිමිකර ගැනීමේ සිහිනය යථාර්ථයක් කරගැනීමට වැඩි කාලයක් බලාසිටීමට ආර්චර් හට අවශ්‍ය නොවූයේ තම මංගල එක්දින තරගය අයර්ලන්තයට එරෙහිව සහ කුළුදුල් විස්සයි විස්ස තරගය පාකිස්තානයට එරෙහිව තරග වැදීමේ භාග්‍ය පසුගිය දා හිමි වූ නිසාවෙනි.

සිය පළමු ජාත්‍යන්තර එක්දින තරග අත්දැකීම සඳහා ඉතාමත් සාර්ථකව මුහුණ දුන් ආර්චර් තමන් ක්‍රියාත්මක කළ පන්දුවාර 8 තුල දී අයර්ලන්ත කණ්ඩායමේ එක් කඩුල්ලක් ද දවා ගනිමින් ඔවුන් හට ලබා දුන්නේ ලකුණු 40ක් පමණක් වැනි සංඛ්‍යාවකි. තවද ආර්චර් තමාට හුරුපුරුදු විස්සයි විස්ස තරග පිටිය සුපුරුදු පරිදි ආක්‍රමණය කිරීමට සමත් වූ අතර පාකිස්තාන පිතිකරුවන් හට හිසරදයක් වෙමින් ලකුණු 29ට කඩුලු 2ක් බිඳ දැමුවේ ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වීමේ ගෞරවය ද හිමිකර ගනිමිනි.

මෑත කාලයේ දී ඔහු පෙන්වා ඇති දක්ෂතාවන් සියල්ල ගොනුකොට සලකා බැමේ දී ලෝක කුසලාන සංචිතයේ නිත්‍ය ස්ථානයක් ඔහුට හිමි විය යුතු බව බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ මෙන්ම ක්‍රීඩාලෝලීන්ගේ ද අදහසයි. කලින් පැවසූ ආකාරයට මෙම මතය දැඩිව විශ්වාස කරමින් ආර්චර් කණ්ඩායම තුල සිටිය යූත්තෙකු ලෙස හිටපු ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් කිහිප විටක දී ම පවසා තිබූ අතර ඊයේ දිනයේ දී මෙවර ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කොට තිබෙන නිල ගීතය එළිදැක්වීමේ උළෙලට සහභාගී වූ ෆ්ලින්ටොෆ් එහි දී ද සඳහන් කර සිටියේ කණ්ඩායමේ සමබරතාව රැක ගැනීමේ දී ආර්චර්ගේ දායකත්වය ඉතාමත් වැදගත් වනු ඇති බවය.

“ඔහු නිසැකවම කණ්ඩායමේ ඉන්න ඕන ක්‍රීඩකයෙක්. එතකොට සමහර අය අහන්න පුළුවන් ඔහුව කණ්ඩායමට ඇතුළත් කරගත්තොත් ඔහු වෙනුවට ඉවත් කරන්නේ කාවද කියලා. පිළිතුර සරලයි දැන් සංචිතයේ ඉන්න ඕනෑම කෙනෙක් වෙනුවට ඔහුව ගෙන එන්න පුළුවන්.”

“ඔහුගේ පන්දු යැවීමේ හැකියාව විශ්මිතයි. මම ඔහු ක්‍රීඩා කරපු පහුගිය තරග දෙකේ දී ම ඔහු පන්දු යැවූ ආකාරය හොඳින් අධ්‍යයනය කරා. කිසිම අමතර වෙහෙසක් හරි ආයාසයක් හරි නැතුව ඉතා හොඳ වේගයකින් පන්දු යවන ක්‍රීඩකයෙක්ව නොතේරීම ගැන මට තියෙන්නෙ කනගාටුවක්. ඔහු හොඳ පාලනයකින් පන්දු යවනවා වගේම ඔහුගේ පන්දු සම්මිශ්‍රණයත් ඉතා ඉහළ තලයක තියෙනවා. මේ ඔක්කොමත් එක්ක ඔහුගේ පිතිකරණයත් සෑහෙන ප්‍රශංසනීය මට්ටමක තියෙනවා.”

එංගලන්තය විසින් ලෝක කුසලාන තරගාවලිය අරමුණු කරගනිමින් පසුගිය දා ක්‍රීඩකයින් පහළොස් දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් නිකුත් කළ අතර එහි ආචර්ගේ නම ඇතුළු නොවීම බොහෝ දෙනා විමතියට පත් කළ නමුත් මේ දිනවල පැවැත්වෙන පාකිස්තානය සමඟ තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ දී ඔහු පෙන්වන හැකියා දක්ෂතාවන් අනුව ඔහුගේ ඉරණම විසඳෙණු ඇති බව ඇතැම් විචාරකයින්ගේ අදහසයි.

බෝම්බ ප්‍රහාරයන් හේතුවෙන් තවත් පාඩුවක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග ………

ඩේවිඩ් විලි, මාර්ක් වුඩ්, ක්‍රිස් වෝක්ස් වැනි එංගලන්ත කණ්ඩායමේ සිටින තරග අත්දැකීම් බහුල පරිණත ක්‍රීඩකයින් නොසලකා හරිමින් යොවුන් ක්‍රීඩකයෙකුට මෙවැනි තීරණාත්මක තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරීමට එක්වරම අවකාශ සලසා දීම එතරම් සාධාරණ නොවන බව තවත් විචාරකයින් පිරිසක් ඉස්මතු කරන කාරණාවකි.

එම කරුණ පදනම් කරගනිමින් ආචර් සංචිතය වෙත තෝරාපත් කරනොගන්නේ නම් එයට ද පිළිතුරුක් ලබා දෙමින් ෆ්ලින්ටොෆ් පෙන්වා දී සිටියේ 2005 වසරේ පැවති අළුබඳුන කුසලාන තරගාවලියේ දී ටෙස්ට් තරග 100කට ආසන්න ප්‍රමාණයක් ඒ වන විටත් ක්‍රීඩා කර තිබූ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ග්‍රැහැම් තෝර්ප් වෙනුවට කෙවින් පීටර්සන් එංගලන්ත සංචිතය වෙත හඳුන්වා දුන්නේ තරගාවලියේ තීරණ බොහොමයක් උඩුයටිකුරු කළ ඉනිම කිහිපයක් දියත් කිරීමට කෙවින්ට වේදිකාව තනාදෙමින් බවය.

“එදා තොර්පි වෙනුවට කෙව් ක්‍රීඩා කරපු එක අදටත් එච්චර ප්‍රසිද්ධ කාරණයක් නෙමෙයි. මොකද ඊට පස්සෙ පැවතිච්ව දකුණු අප්‍රිකානු තරගාවලියට තොර්පි ආයෙත් කණ්ඩායමත් එක්ක එකතු වුනේ පළවෙනි තරගයේ දී ම ශතකයක් වාර්තා කරලා. නමුත් කෙවින් අළුබඳුන තරගාවලිය පුරාවට ක්‍රීඩා කරපු ආකාරය නිසා තමයි ඒ අවුරුද්දේ තරගාවලිය දිනා ගන්න අපිට පුළුවන් වුනේ. මෙන්න මේ වගේම හැකියාවක් තමයි ආචර්ටත් තියෙන්නේ, අනෙක් කණ්ඩායම් පුදුම කරවන්න පුළුවන් හැකියාවන් කිහිපයක්ම ඔහු සතුව තියෙනවා.”

“කණ්ඩායම් හැඟීම කියන එක වඩාත්ම ඉස්මතු වෙන්නේ ඒකත් එක්ක ජයග්‍රහණය එකතු වුණු තැන. මම කණ්ඩායම් ගොඩක් එක්ක මගේ ජීවිත කාලය තුල සෙල්ලම් කරලා තියෙනවා. එතැන දී පෙනුණු දෙයක් තමයි කණ්ඩායම් හැඟීම ගොඩනැගෙන්න නම් ජයග්‍රහණය අත්‍යාවශම සාධකය කියන එක. කණ්ඩායමේ ජයග්‍රහණයට උදව්වෙන දක්ෂ ක්‍රීඩකයෙක් එක්වරම සංචිතයට ගෙනවා කියලා එකේ වරදක් නම් මට පෙනෙන්නේ නැහැ.” යනුවෙන් පවසමින් ෆ්ලින්ටොෆ් සිය මතය මාධ්‍ය ඉදිරියේ දිගහරිමින් අදහස් දැක්වීම අවසන් කළේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<