පොඩි කුසල් ගැන ටෙස්ට් නායක චන්දිමාල් කියන කතාව

1558

කුසල් මෙන්ඩිස්ගේ වයස තවමත් අවුරුදු 23ක්. ඔහු පසුගිය දා නිමා වූ තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසානයේ තෙවැනි වැඩිම ලකුණු ලාභී පිතිකරුවා ලෙස තරගාවලිය අවසන් කළේ තරග දෙකක් තුල ඉනිම් 4ක දී ලකුණු 225ක් ලබාගෙනයි.

>>නව වසරේ පළමු කුරුමානම සාර්ථක කරගැනීමට පෙර

2015 වසරේ ඔක්තොම්බර් මාසේ 22 වැනිදා ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයක දී පළමු වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් කුසල් මෙන්ඩිස්, ඔහු මුහුණ දුන් පළමු ටෙස්ට් තරගයේ සිටම ඉතාමත් විශ්වාසවන්ත ලෙස ශ්‍රී ලංකා පිතිකරණ බල ඇණිය සවිමත් කිරීමට සමත් වූ ක්‍රීඩකයෙක්.

ඔහුගේ පිතිකරණ දස්කම් නිසාවෙන් 2018 වසර තුල දෙවන වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරුවා ලෙස පෙරමුණ ගැනීමට මෙන්ඩිස් සමත් වුනේ ඉන්දීය නායක විරාත් කෝලිට පමණක් දෙවන වෙමිනි. 2018 වර්ෂයේ දී මෙන්ඩිස් ටෙස්ට් තරග 12කට සභභාගී වී ලකුණු 1023ක් රැස්කර ගත්තේ 46.50ක පමණ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

මෙන්ඩිස් නවසීලන්තය සමඟ වෙලින්ගටන් හිදී පැවැත්වුණු තරගයේ පළමු ඉනිමේ දී ලකුණු දෙකකට දැවී ගියත් දෙවන ඉනිමේ දී ඇන්ජලෝ මැතිව්ස් සමඟ එක්ව පළමු ටෙස්ට් තරගයේ අවසන් දින දෙක පුරාවටම නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටියේ පරාජයක් අභියස සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් මුදවා ගනිමිනි.

එම තරගයේ දෙවන ඉනිමේ දී මෙන්ඩිස් පන්දු 335කට මුහුණ දෙමින් 4 පහර 16ක් සමඟ නොදැවී ලකුණු 141*ක් රැස්කර ගත්තා. පළමු තරගයට පසුව මෙන්ඩිස් හා මැතිව්ස් ගොඩනැංවූ එම ඉනිම පිළිබඳව නවසීලන්ත නායක කේන් විලියම්සන් පවා ඉතාමත් ප්‍රශංසාත්මක ලෙස කතා කළා.

“ඔහු ඔහුගේ තරගය ගැන ගොඩක් හිතනවා, පන්දු රැකීමේ දී පන්දුවට පහර දීමේ දී අප කණ්ඩායමක් ලෙස ඔහුගෙන් ඒ දේ දකිනවා. ඔහුට  ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉතාමත් හොඳ අනාගතයක් තියෙනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් දෙවන ටෙස්ට් තරගය අවසන් වීමට පසුව පැවසුවා.

>>“ඔවුන් අපට කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ” – කේන් විලියම්සන්

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිමාල්,

“2018 වසර තුල දී ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකර යාමට හැකි වීම පිළිබඳව මම ඔහුට සුබ පතනවා. ඔහු මේ වගේ අඩු වයසක් තුල ඉතාමත් හොඳින් ඒ ඉලක්කය වෙත ළඟා වුනා. මම හිතනවා ඉදිරියේ දී ඔහු තවදුරටත් හොඳින් ක්‍රීඩා කරයි කියලා.”

ශ්‍රී ලංකා කණ්ඩායම නිමා වූ 2018 වසරේ සහභාගී වූ ටෙස්ට් තරග 12 අතරින් ජයග්‍රහණය කර තිබෙන්නේ ටෙස්ට් තරග 4ක් පමණි. එසේම තවත් ටෙස්ට් තරග 3ක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී ටෙස්ට් තරග 5කින් පරාජය වෙන්න ශ්‍රී ලංකාවට සිදු වුනා. ඒ අතරට ටෙස්ට් තරගාවලි ජයග්‍රහණ දෙකක් ද (දකුණු අප්‍රිකාවට හා බංග්ලාදේශයට) ඇතුළත්.

“මම හිතන්නේ ගොඩක් කණ්ඩායම් මේ වසරේ දී ඔවුන්ට ලැබුණු ටෙස්ට් තරග හොඳින් කළා. අපිත් වර්ෂයේ මුලදී හොඳට ක්‍රීඩා කළත් ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියේ දී අපි 3-0ක් ලෙස පරාජය වීමත් එක්ක, ඒ ලබා ගත්ත රිද්මය ගිලිහුණා. කොහොම නමුත් මම නායකයෙක් ලෙස අපේ කණ්ඩායම ක්‍රීඩා කළ රිද්මය පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම කියන්න ඕන අපේ සමහර පැතිවල ලොකු සංවර්ධනයක් වෙන්න ඕන. අපි ඒවා වෙනස් කරගෙන අපේ අඩුපාඩු හදාගෙන නව වසරේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි චන්දිමාල් පැවසුවා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<