හෙන්රි සේනාරත්න ශූරතාවය ද මැසනොඩ් විද්‍යාලයට

471

කඳාන ද මැසනොඩ් විද්‍යාලයීය වොලිබෝල් සංගමය මගින් 14 වැනි වරට සංවිධානය කරනු ලැබූ හෙන්රි සේනාරත්න අනුස්මරණ ශූරතා වොලිබෝල් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කඳාන ද මැසනොඩ් විද්‍යාලය  සමත්විය. ඒ අවසන් මහා තරගයෙන් වට 3-0ක් ලෙස මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පරාජය කරමිනි. අවසන් මහා තරගය ඊයේ (30) කඳාන ද මැසනොඩ් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

23න් පහළ පිරිමි වොලිබෝල් කණ්ඩායම සූදානම්!

ඉරානයේ ආඩබිල් නුවර දී ඇරඹීමට නියමිත ‘දෙවන ආසියානු 23න් පහළ වොලිබෝල් තරගාවලිය’ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පුහුණුවීම් වල නිරත වෙයි.

පළමු වටය 25–16ක් ලෙස ජය ගනිමින් මැසනොඩ් විද්‍යාලය ජයග්‍රහණයේ පළමු පියවර තැබීය. ඉන් අනතුරුව තරගයේ දෙවන වටයේ දී ද පෙර වටයට වඩා වැඩි දෙයක් කිරීමට මීගමුව මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමට හැකියාවක් නොවීය. දෙවන වටය ද පෙර පරිදිම 25-16ක් ලෙස ජය ගැනීමට මැසනොඩ් විද්‍යාලය සමත් විය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ජයග්‍රහණය කිරීමට නම් තෙවන වටය අනිවාර්යෙන්ම ජය ගත යුතු විය. එහෙත් ද මැසනොඩ් විද්‍යාලයට ශූරතාවය දිනා ගැනීමට නම් මේ වටයේ ජය හොඳටම ප්‍රමාණවත් විය. එම නිසා පීඩනය පැහැදිලිවම මාරිස් ස්ටෙල්ලාවන් සතු විය. ඒ වගේම ද මැසනොඩ් විද්‍යාලයේ ප්‍රේක්ෂකයන්ගේ දිරි ගැන්වීම් ද එන්න එන්නම වැඩි විය. එය ද මීගමුව මාරිස් ස්ටෙල්ලාවන්ට අමතර පීඩනයක් ගෙන දුන් අතර මැසනොඩ් ක්‍රීඩකයන් එමගින් තවත් ශක්තිමත් විය.

දින තුනකට පෙර පැවති කලාප වොලිබෝල් ශූරතා තරගාවලියේ දී මෙම කණ්ඩායම් දෙක මුහුණට මුහුණ තරග වැදී තිබූ අතර එයින් ජය ගෙන තිබුණේ ද මැසනොඩ් විද්‍යාලයයි. ඒ සමඟින් ඔවුන් මෙවර පළාත් ශූරතාවය වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබා තිබුණේ වසර 10කට අසන්න කාලයකට පසුවයි. එම නිසාවෙන්ම මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමේ නායක නිපුන් සචින්ත ඇතුළු පිරිසගේ හිස මත අනිවාර්යෙන්ම එය ද වද දෙන්නට ඇත. එම නිසාවෙන්ම ඔවුන් පෙරට වඩා හොඳ සූදානමකින් තෙවන තරගයට අවතීර්ණ විය.

පෙර වැරදි හදා ගෙන තෙවන වටයේ ආරම්භයේ පටන්ම ඉතා හොඳින් ඔවුහු ක්‍රීඩා කළහ. මුල් ලකුණු කිහිපය ඔවුන් ඉතා හොඳින් ලබාගෙන ප්‍රතිවාදීන්ට හොඳ තරගයක් දෙන්නට සමත් විය. එහෙත් වැඩි වේලාවක් එලෙස ක්‍රීඩා කිරීමට මැසනොඩ් විද්‍යාලයේ ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත. ඔවුහු යලිත් තම සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ අතර මාරිස් ස්ටෙල්ලාවන් ද තමන් අතින් වැරදි සිදු නොවන්නට වග බලා ගත්තේය. එම නිසා පෙර තරග වට දෙකට වඩා ඉතා උණුසුම් තරගයක් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා විය.

මොහොතින් මොහොත තරගය දෙපිලටම විවෘත විය. එක කණ්ඩායමක් ලකුණක් ලබා ගත් විට අනිත් කණ්ඩායම ඊළඟ ලකුණ තමාගේ කණ්ඩායමට ලබා ගැනීමට වග බලා ගත්තේය. දෙපිලේම ක්‍රීඩා හැකියාවන් මනාව ප්‍රදර්ශනය කරමින් තරග වැදුණු එම තරගයේ දී පන්දුව වැඩි වේලාවක් ගුවනේ ම රැඳී තිබුණි. ලකුණක් ලබා ගැනීමට එකදු අවස්ථාවක් වත් නොවීය.

නමුත් කරට කර සටනකින් පසු ලකුණු 25–22ක් ලෙස තරගය ජය ගනිමින් තමාගේ බිමේ දී සිය කණ්ඩායමේ වොලිබෝල් ආධිපත්‍ය රැක ගැනීමට කඳාන ද මැසනොඩ් ක්‍රීඩකයන්ට අවසානයේ දී අවස්ථාව උදා විය. ප්‍රතිවාදීන්ට ලෙහෙසියෙන් ජය ගැනීමට ඉඩ ලබා නොදුන් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ කණ්ඩායම් නායක නිපුන් සචින්තගේ දස්කම් අපට නිරතුරුවම දැක ගත හැකි විය. ඔහු තමාගේ නායකත්ව ගතිගුණ මනාව විදහා දක්වමින් සිය කණ්ඩායමට ජය ගෙන ඒමට ඉතා හොඳින් කණ්ඩායම මෙහෙයවනු ලැබීය.

අවසානයේ දී කඳාන ද මැසනොඩ් විද්‍යාලයට ශූරතාවය හිමි වුවද අනිකුත් ශූරතා කුසලාන විදුහල් දෙකේ ක්‍රීඩකයන් අතර බෙදී ගියේ මෙලෙසිනි.

  • දක්ෂතම පන්දු පිරිනමන්නා – කඳාන ද මැසනොඩ් විද්‍යාලයේ මලිත් ශාලින්ද  
  • දක්ෂතම පිටිය ආරක්ෂකයා – කඳාන ද මැසනොඩ් විද්‍යාලයේ නිපුන් උදයංග
  • දක්ෂතම පන්දු සකසන්නා – කඳාන ද මැසනොඩ් විද්‍යාලයේ දෙවිඳු ජීවන්ත
  • දක්ෂතම ප්‍රහාරකයා – මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ නිපුන් සචින්ත
  • අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – කඳාන ද මැසනොඩ් විද්‍යාලයේ දිලක්ෂණ දේශාන්
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – කඳාන ද මැසනොඩ් විද්‍යාලයේ තරිඳු මදුසංක

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට