ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සටන්කාමී ක්‍රීඩා විලාශයක්

1112
Sri Lanka U18 Rugby Team 2017

මෙම දිනවල පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වන වයස අවුරුදු 18න් පහළ ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම පළමු දිනයේ (19) ඔවුන් සහභාගී වූ තරග තුනම පරාජයට පත්විය.

ගැමුණු චේතියගේ නායකත්වයෙන් කණ්ඩායම බහමාස් යයි

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල (CYG) අද (17) බහමාස් හිදී ආරම්භ වීමට නියමිත අතර…

ශ්‍රී ලංකාව 15 – 19 කැනඩාව

ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය කැනඩා කණ්ඩායමට එරෙහිව පැවති අතර එහි දී තරගයේ 13 වන මිනිත්තුව දක්වා ලකුණු 15 -12ක් ලෙස තරගයේ පෙරමුණේ රැඳෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. කෙසේ නමුත් කැනඩා ක්‍රීඩකයින් තරගයේ අවසන් මිනිත්තුවේ දී ලබාගත් උත්සාහක දිනුම නිසා ගැමුණු චේතියගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමේ අවස්ථාව අහිමි විය.

තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට කහ කාඩ්පත් දෙකක් නිකුත් වූ බැවින් කැනඩා කණ්ඩායමට ක්‍රීඩකයින් සංඛ්‍යාවෙන් වාසියක් ලැබුණු අතර එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට ඔවුන් සමත් විය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වාර්තා කර ගත් උත්සාහක දිනුම් අවස්ථා තුනේ දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවලින් එකක් වත් සාර්ථක කර ගැනීමට ඔවුන් අසමත් වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට තදින්ම බලපෑවේය.  

ශ්‍රී ලංකාව 07 – 14 ෆීජි

මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 07-00ක් ලෙස පෙරමුණ ගන්නට ප්‍රබල ෆීජි කණ්ඩායම සමත් විය. ඉන් අනතුරුව තරගයේ දෙවන අර්ධයේ දී තරගයේ ලකුණු තත්වය සම කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුවත් නැවතත් උත්සාහක දිනුමක් හා ප්‍රවර්තන අවස්ථාවක් වාර්තා කර ගනිමින් උණුසුම් තරගයකින් අනතුරුව තරගය ජයග්‍රහණය කරන්නට ෆීජි ක්‍රීඩකයින් සමත් විය.

ලෝකයේ හොඳම සත් සාමාජික කණ්ඩායම් අතරින් එකක් ලෙස සැලකෙන ෆීජි ජ්‍යෙෂ්ඨ කණ්ඩායම 2016 වසරේ දී පැවති රියෝ ඔලිම්පික් තරගාවලියේ දී පළමු වරට පැවති සත් සාමාජික රග්බි තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ද සමත් විය. ෆීජි කණ්ඩායම ඔවුන් සහභාගී වූ පළමු තරගයේ දී සත්කාරක බහමාස් කණ්ඩායමට එරෙහිව ලකුණු 59-00ක අති දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම තරගයට පිවිසි අතර මෙම තරගය ජයගැනීමෙන් අනතුරුව දිනයේ ඔවුන් සහභාගී වූ අවසන් තරගය කැනඩා කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව 14 – 36 සාමෝවා

මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකි කණ්ඩායම් අතරින් එකක් ලෙස සාමෝවා කණ්ඩායම හඳුන්වා දිය හැක. ඔවුන් පළමු තරගයේ දී එංගලන්ත කණ්ඩායම ලකුණු 19-07ක් ලෙස පරාජය කරන්නට සමත් විය. ඒ අනුව මෙම තරගයේ පළමු අර්ධය අවසානයේ ලකුණු 14-07ක් ලෙස පෙරමුණ ගන්නට සාමෝවා ක්‍රීඩකයින් සමත් වූ අතර දෙවන අර්ධයේ දී පිට පිට උත්සාහක දිනුම් වාර්තා කර ගන්නට ඔවුන් සමත් විය. ඒ අනුව තරගය නිමාවට පත්වූයේ ලකුණු 36-14ක් ලෙස සාමෝවා ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණය හිමි කර ගනිමිනි.

සාන්ත පීතර විද්‍යාලයේ ‘Half back’ ස්ථානයේ ක්‍රීඩා කරන රවින් ප්‍රනාන්දු සහ සාන්ත ජෝසප් විද්‍යාලයේ නායක ගැමුණු චේතිය තරගය පුරාවට ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ඉතා දක්‍ෂ ලෙස ක්‍රීඩා කරන්නට සමත් විය.

තරගාවලියේ දෙවන දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම, එංගලන්තය සහ බහමාස් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතය.

තරග ප්‍රතිඵල:

  • ෆීජි 59 – 00 බහමාස්
  • එංගලන්තය 07 – 00 සාමෝවා
  • කැනඩාව 19 – 15 ශ්‍රී ලංකාව
  • ෆීජි 14 – 07 ශ්‍රී ලංකාව
  • එංගලන්තය 26 – 10 කැනඩාව
  • සාමෝවා 59 – 05 බහමාස්
  • ෆීජි 19 – 21 කැනඩාව
  • එංගලන්තය 72 – 00 බහමාස්
  • සාමෝවා 36 – 14 ශ්‍රී ලංකාව

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<