ගුවන් අභියෝගයට හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් ප්‍රබල පිළිතුරක්

645
Havelocks start season with a convincing win over Air Force translation
ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව සහ හැව්ලොක් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයේ ඡායාරූපයක් ©ThePapare.com.

පසුගිය වසරේ ලීග් අනුශූරයන් වූ හැව්ලොක් ක්‍රීඩා සමාජය, මෙවර තරග වාරයේ ඔවුන්ගේ පළමු තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව පහසු ජයක් ලබමින් 2016/17 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියට පිවිසෙන්නට සමත් විය.

පසුගිය ලිපි: තරගාවලිය ආරම්භයේදීම ජයග්‍රහණය නාවිකයන්ට

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ පැවති මේ තරගය ආරම්භයේ සිටම හැව්ලොක් කණ්ඩායමට ලකුණු ලබා ගැනීමේ අවස්ථා කිහිපයක් ගිලිහී ගියේ අවශ්‍ය මොහොතේ ඔවුන්ගේ තීරණ ගැනීමේ දුර්වලතා හේතුවෙනුයි. කෙසේ වෙතත් පළමු මිනිත්තු කිහිපයෙන් පසු අළු ගසා දමා නැගී සිටිමින් සුපුරුදු ක්‍රීඩා විලාශයට පිවිසි හැව්ලොක් කණ්ඩායම ලකුණු පුවරුව ක්‍රියාත්මක කලේ නිරෝෂන් ප්‍රනාන්දු විසින් දුර සිට ලබා දුන් පන්දුව රැගෙන මීටර් 40ක පමණ දුරක් දිව යමින් නිශෝන් පෙරේරා වාර්තා කල උත්සාහක දිනුමත් සමගයි. මෙහිදී නිශෝන්ගේ වේගය සම කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයන් කිසිවෙක් අසමත් වීම කැපී පෙනුනි. දුලාජ් පෙරේරා සාර්ථක තරගයක ආරම්භය ලබා ගත්තේ ප්‍රවර්තනය සාර්ථකව ගෝල කණු අතරින් යොමු කරමිනුයි (07-00).

තරගයේ ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න

වැඩි වෙලාවක් ගත වීමට මත්තෙන් ගුවන් හමුදා කණ්ඩායම හැව්ලොක් අභියෝගයට ප්‍රබල පිළිතුරක් ලබා දුන්නේ හැව්ලොක් මීටර් 10 සීමාවේ සිට එල්ලවූ පහරකින් පන්දුව ලබා ගත් තිලින බණ්ඩාර, එය උත්සාහක දිනුම් රේඛාව පසුකර රැගෙන යාම සමගයි. ගුවන් භටයන්ට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය (07-05).

අනතුරුව එළඹී කාල සාමය තුලදී තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම පාහේ නතුව තිබුනේ ගුවන් හමුදා කණ්ඩායමටයි. නමුත් කිහිප වරක්ම සිදුවූ සුළු අතපසුවීම් හේතුවෙන් පන්දුව හැව්ලොක් උත්සාහක දිනුම් රේඛාව පසුකර රැගෙන යන්නට ඔවුන් සමත් වූයේ නැත. පන්දුවේ පාලනය හිමිකර ගැනීම සඳහා දැඩි සටනක් දෙමින් සිටි හැව්ලොක් කණ්ඩායමට ඒ අවස්තාව හිමි වූයේ ඔවුන්ගේ හුකර් ක්‍රීඩක ප්‍රසාත් මධුශාන් ගුවන් හමුදාව අතින් පන්දුව සොරා ගැනීමත් සමගයි. මීටර් 22 සීමාවේ සිට ශක්තිමත් ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල ෂාරෝ ප්‍රනාන්දු ගුවන් හමුදා නායක ගයන්ත ඉද්දමල්ගොඩ අභිබවා යමින් හැව්ලොක් කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. දුලාජ් පෙරේරා එම උත්සාහක දිනුමත් සාර්ථකව ප්‍රවර්තනය කරන ලදී (14-05).

පළමු අර්ධය අවසන් වීමට පෙර හැව්ලොක් කණ්ඩායම යලිත් වරක් සිය ලකුණු පුවරුව ඉහල දමා ගත්තේ ඔවුන්ට හිමි වූ දඬුවම් පහරක් දුලාජ් පෙරේරා විසින් සාර්ථකව ගෝල කණු අතරින් යොමු කිරීම හේතුවෙන් (17-05).

පළමු අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය  05 17 හැව්ලොක් ක්‍රීඩා සමාජය   

ගුවන් හමුදාව වෙනුවෙන් චරිත සෙනෙවිරත්න දෙවන අර්ධය ආරම්හ කලේ ලකුණු 12ක පරතරය හැකි ඉක්මනින් අඩු කර ගනිමින් නැවත තරගයට අවතීර්ණ වීමේ අරමුණ ඇතිවයි. පළමු මිනිත්තු කිහිපය තුල කණ්ඩායම් දෙකම පන්දුව පා පහර මගින් දෙපසට යොමු කිරීමට පියවර ගත්තේ ක්‍රීඩාංගනය තරමක් තෙත බරිත ස්වභාවයක් පෙන්නුම් කිරීම හේතුවෙනි.

හැව්ලොක් ක්‍රීඩා සමාජයට ගුවන් හමුදා මීටර් 22 රේඛාව ආසන්නයේදී හිමිවූ දඬුවම් පහරක් ගෝල කණු වෙත එල්ල නොකර ඉක්මනින් පන්දුව රැගෙන ධාවනයේ යෙදෙන්නට ඔවුන් තීරණය කල අතර එම තීරණය සාර්ථක එකක් බවට පත්වූයේ හිරන්ත පෙරේරා විසින් දෙවන අර්ධයේ පළමු උත්සාහක දිනුම හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් සටහන් කල බැවිනුයි. හිරන්ත දක්ෂ ලෙස පාදය පසෙකට තබමින් ගුවන් හමුදා ආරක්ෂක පෙළ තුල ඉතිරිව තිබූ විශාල හිඩැසක් සොයා ගනිමින් ලකුණු 5ක් කණ්ඩායමට එකතු කරන ලදී. දුලාජ් පෙරේරාට දිනයේ පළමු වරට ප්‍රවර්ථනයක් සාර්ථක කර ගැනීමට නොහැකි විය (22-05).

හැව්ලොක් ක්‍රීඩක ෂෙහාන් ඩයස් දිගින් දිගටම සිදු කල තරග නීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් කහ කාඩ්පතක් ලබා දී ඔහුව මිනිත්තු 10ක කාලයකට ”දඟ ළමයින්ගේ ආසනයට” යොමු කරන්නට විනිසුරු පියවර ගත්තේ, එක් ක්‍රීඩකයකුගේ වාසිය ගුවන් හමුදාවට හිමි කර දෙමිනුයි. නමුත් එම වාසියද තරග ජයග්‍රහණයක් සඳහා යොදා ගන්නට ගුවන් හමුදා කණ්ඩායමට හැකි නොවීය. කෙසේ වෙතත් මේ තරගය පුරාවටම ගුවන් හමුදා ක්‍රීඩකයන් තම තරග රටාව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කර ගන්නා ආකාරයක් දක්නට ලැබුණි. ඇතැම් අවස්ථා වලදී හැව්ලොක් කණ්ඩායමටත් වඩා විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල නමුත් අවාසනාවට එම දක්ෂතා ලකුණු බවට පරිවර්තනය කර ගැනීමට ඔවුන් හට නොහැකි විය.

යලිත් වරක් ක්‍රියාත්මක වූ හිරන්ත පෙරේරා තරගයේ අවසන් උත්සාහක දිනුම වාර්තා කරන ලදී. දුලාජ් පෙරේරා ලබා දුන් අගනා පන්දු හුවමාරුවකින් පසු හිරන්ත ප්‍රතිවාදීන් මගහරිමින් උත්සාහක දිනුම් රේඛාව වෙත ලඟා වූයේ සිය වේගය සහ ප්‍රතිවාදීන් මුලා කරන පාද චලනයන් මනාව ප්‍රදර්ශනය කරමිනුයි. තම දිනයේ රාජකාරි තුලදී එක් වරදකට වඩා සිදු නොකිරීමට වග බලා ගත් දුලාජ් පෙරේරා මෙම උත්සාහක දිනුමත් සාර්ථකව ප්‍රවර්තනය කරන ලදී (29-05).

අවසන්  භාගයේදී තවත් ලකුණු ලබා ගැනීමට හැව්ලොක් ක්‍රීඩකයන් උත්සාහ දැරුවද, ගුවන් හමුදා කණ්ඩායමේ ආරක්ෂක පෙළ පසු කරන්නට ඔවුන් අසමත් වීම හේතුවෙන් තරගයේ අවසන් මිනිත්තු 10 තුල ලකුණු පුවරුවේ කිසිදු වෙනසක් සිදු නොවීය. කෙසේ වෙතත් ඒ වන විට හැව්ලොක් කණ්ඩායම උත්සාහක දිනුම් 4ක් සමගින් අමතර ප්‍රසාද ලකුණද රැස් කරගෙන සිටින ලදී.

අවසන් ලකුණු: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 05 – 29 හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: දුෂ්මන්ත ප්‍රියදර්ශන (හැව්ලොක් ක්‍රීඩා සමාජය)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව –  05 (1T) තිලිණ බණ්ඩාර

හැව්ලොක් ක්‍රීඩා සමාජය 29 (4P,3T) නිශෝන් පෙරේරා (1T), ෂාරෝ ප්‍රනාන්දු(1T), හිරන්ත පෙරේරා (2T), දුලාජ් පෙරේරා (3C/ 1P)

තරග තීරක – ප්‍රියන්ත ගුණරත්න

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට 

තරගයේ වීඩියෝව