CH&FC පරදා හැව්ලොක් ක්‍රීඩකයින් නොකඩවා සිව්වන ජයග්‍රහණය වෙතට

172
HAVELOCK SC V CH & FC

මෙවරත් ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දුර්වලම කණ්ඩායම ලෙස සැලකෙන CH&FC ක්‍රීඩා සමාජය පරදවා ලැබූ ලකුණු 48-05ක දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් සිව්වන සතියටත් තම අපරාජිත වාර්තාව රඳවා ගන්නට කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය.

පසුගිය ලිපි: ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය – සිව්වැනි සතිය

තරමක් පහසු අභියෝගයක් ලෙස මෙම තරගය පිලිබඳව අවධානය යොමු කල හැව්ලොක් පුහුණුකරු රොනී ඊබ්‍රහිම් තීරණය කලේ සුදර්ශන මුතුතන්ත්‍රී, ෂාරෝ ප්‍රනාන්දු සහ අශාන් ඩාලිං යන ක්‍රීඩකයන් විවේක ගැන්වීමටයි. CR&FC කණ්ඩායම සමඟ පසුගිය සතියේ පැවති තරගයේදී සිදු කල නීති විරෝධී ක්‍රීඩා විලාශයක් හේතුවෙන් මිතුන් හපුගොඩට ද මෙම තරගය අහිමි විය. මේ අනුව හපුගොඩගේ ස්ථානය සඳහා දුලාජ් පෙරේරා ෆුල් බැක් ස්ථානයේ ක්‍රීඩා කල අතර ෆ්ලයි හාෆ් ස්ථානයේ වගකීම භාර ගත්තේ නිරෝෂන් ප්‍රනාන්දු විසිනුයි.

Photos: Havelock SC v CH & FC – Dialog Rugby League 2016/17

Photos of the Havelock SC v CH & FC – Dialog Rugby League 2016/17

තරගය ආරම්භ වීමත් සමඟම වර්ෂාවත් තම පැමිණීම සටහන් කලේ මෙම තරගයත් තෙත බරිත ක්‍රීඩාංගනයක පැවැත්වෙන ගැටුමක් බවට පත් කරමිනුයි. කෙසේ වෙතත් වර්ෂාව හෝ තෙතමනය ගණනකටවත් නොගත් සත්කාරක හැව්ලොක් ක්‍රීඩකයන් පළමු මිනිත්තු 2 අවසන් වීමටත් මත්තෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් විය. තරග ආරම්භය සඳහා එල්ල කල පහර CH&FC ක්‍රීඩකයන් ලබා ගත්තද එම පන්දුව වහාම තම ග්‍රහණයට ගත් නිරෝෂන් ප්‍රනාන්දු පිටත කලාපයේ සිටි තම කණ්ඩායම් සගයන් දැක පන්දුව පාදයෙන් ඉදිරියට එල්ල කල අතර එම පහර මනාව ලබා ගත් දුලාජ් පෙරේරා, කෙවින් ඩික්සන් වෙත දර්ශනීය ලෙස පන්දුව භාර කරන ලදී. ඩික්සන් හට ඉන් පසුව ඉතිරිව තිබුනේ ඉදිරියෙන් සිටි එකම CH&FC ආරක්ෂක ක්‍රීඩකයා මුලා කරන පාද හැසිරවීමකින් සීමා ඉර ඉක්මවා පන්දුව රැගෙන යාම පමණි. මෙම තරග වාරය පුරාවටම තම පාදයේ ඉලක්කය ඉහල සාර්ථකත්වයක රඳවාගෙන සිටින දුලාජ් පෙරේරා එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නා ලදී. (හැව්ලොක් 07-00 CH&FC)

තරගය ආරම්භ වූ බව තේරුම් ගැනීමටත් මත්තෙන් ප්‍රතිවාදීන් හට ලකුනු ලබා ගැනීමේ අවස්තාව ලබා දුන්නද, CH&FC ක්‍රීඩකයන් ඉන් අනතුරුව ඉතා ඉවසිලිවන්ත තරග රටාවකට අවතීර්ණ විය.

CH&FC කණ්ඩායම වෙනුවෙන් හාෆ් බැක් ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් හැව්ලොක් ආරක්ෂක ක්‍රීඩකයන් අතර හිඩැසක් සොයාගෙන එම ප්‍රදේශයේ සිටි ෆ්ලෑන්කර් ක්‍රීඩක කසුන් ශ්‍රීනාත් වෙත පන්දුව යොමු කරන්නට සමත් විය.

ශ්‍රීනාත් මීටර් 20ක් පමන පන්දුව රැගෙන දිව යාමෙන් පසු මෙම තරගයේ දී CH&FC කණ්ඩායම වෙනුවෙන් ලකුණු වාර්තා වූ එකම අවස්ථාවේ අයිතිය සිය නම ඉදිරියේ සටහන් කර ගන්නා ලදී. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ජනිත් චන්දිමාල් හට නොහැකි විය. (හැව්ලොක් 07-05 CH&FC)

මෙම තරගාවලියේ දී හැව්ලොක් කණ්ඩායමේ ජීවය පවත්වා ගැනීමේ උත්ප්‍රේරකය බලය වූ දුලාජ් පෙරේරා, CH&FC ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මුලා කරමින් සහ අගනා පාද චලනයන් මගින් ප්‍රතිවාදීන් මග හරිමින් විශිෂ්ට ධාවනයක නිරත වූයේ හැව්ලොක් කණ්ඩායමේ ලකුණු වාසිය තවදුරටත් වර්ධනය කරමිනුයි. කෙසේ වෙතත් තමන්ගේම උත්සාහක දිනුම ප්‍රවර්තනය කර ගැනීමට දුලාජ් අසමත් විය. (හැව්ලොක් 12 – 05 CH & FC)

පසුගිය තරග වාරයේදී ද වැඩිම උත්සාහක දිනුම් ලාභියා වූ හැව්ලොක් කණ්ඩායමේ හුකර් ක්‍රීඩක ප්‍රසාත් මධුශංක කෙටි කාලයක් තුල උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරන ලදී. නියමිත අවස්ථාවේ නියමිත ස්ථානයේ රැඳී සිටීමේ අත්භූත බලයක් වැනි හැකියාවක් ප්‍රදර්ශනය කරන ප්‍රසාත්, මෙවර තරගාවලියේ තම උත්සාහක දිනුම් එකතුව 5ක් දක්වා ඉහල දමා ගත්තේ වැඩිම උත්සාහක දිනුම් ලාභීන්ගේ ලයිස්තුවේ ධනුෂ්ක රන්ජන් අභිබවා ඉදිරියට යමිනුයි. විමුක්ති රාහුල ද හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් පළමු අර්ධය තුලදී උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. පළමු අර්ධයේ අවසන් උත්සාහක දිනුම් 3න්  2ක් ම නිවැරදිව ප්‍රවර්තනය කරන්නට දුලාජ් පෙරේරා සමත් වූයේ හැව්ලොක් කණ්ඩායම වෙත පළමු අර්ධයේදී ලකුණු 26ක වාසියක් පිරිනමමිනුයි.

පළමු අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 31 – 05 CH&FC  ක්‍රීඩා සමාජය

CH&FC කණ්ඩායම දෙවන අර්ධය ආරම්භ කරමින් පන්දුවට එල්ල කළ පළමු පා පහරින්ම ඔවුන්ව පුදුමයට පත් කල ෂෙනාල් ඩයස් CH&FC ආරක්ෂකයන් අතරින් රිංගා යමින් පන්දුව සෙනාල් දීලක අතට සුරැකිව භාර කල අතර දීලක එය සුරැකිව උත්සාහක දිනුමක් බවට පත් කර ගන්නට සමත් විය. ඉතා අපහසු ප්‍රවර්ථනයක් වූ මෙය දුලාජ් හට මගහැරිනි. (හැව්ලොක් 36-05 CH&FC)

හැව්ලොක් ඉදිරි පෙළ ක්‍රීඩකයන් සතුව තරමක් වෙලා හුවමාරු වුනු පන්දුව 7 වන වරටත් උත්සාහක දිනුම් රේඛාව පසු කර ගියේ ලිස්ටන් ෆ්ලැට්නි නැණවත් ලෙස ගෝල කණුවේ පන්දුව ස්පර්ශ කිරීමත් සමගයි. මෙහි ප්‍රවර්තනය ඉතා පහසුවන් එල්ල කරන්නට දිලාජ් පෙරේරා සමත් විය. (හැව්ලොක් 43 – 05 CH & FC )

පසුපස ක්‍රීඩකයන්ගෙන් ලද ඉහල සහයෝගයත් සමඟින් පිටියේ කෙලවර ප්‍රදේශය ආසන්නයේම උත්සාහක දිනුමක් වාර්තා කල විමුක්ති රාහුල, තම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහල දමාගත් අතර එහි ප්‍රවර්තනය දුලාජ් පෙරේරාගෙන් ගිලිහී යන ලදී. එය සටන්හන් වූයේ හැව්ලොක් කණ්ඩායමේ 8 වන සහ තරගයේ අවසන් උත්සාහක දිනුම ලෙසිනුයි.

48-05ක ලකුණු පුවරුව හැව්ලොක් කණ්ඩායම ඉතා පහසු ජයක් ලැබූ බවට සාක්ෂි දරුවත් ඔවුන්ගේ පුහුණුකරු රොනී ඊබ්‍රහිම් හට තම ඉදිරි සතියේ වැඩ කටයුතු සඳහා සටහන් කර ගැනීමට කරුණු රැසක්ද දක්නට ලැබුණි.

හැව්ලොක් ක්‍රීඩකයන් අතින් 14 වරක් පන්දුව ඉදිරියට යොමුවීමේ වරද සිදුවූ අතර පන්දු හැසිරවීමේ දුර්වලතා හැව්ලොක් කණ්ඩායමට මහත් ගැටළුවක් බව එමගින් මනාව පිළිබිඹු විය.

CH&FC කණ්ඩායම අතින් 6 වරක් පමණක් පන්දුව ඉදිරියට යොමුවීමේ වරද සිදුවූ තරගයක ප්‍රබල හැව්ලොක් ක්‍රීඩකයන් එම වරද 14 වරක් සිදු කිරීම ඔවුන් හට එතරම් සුබදායී තත්ත්වයක් නොවේ. කෙසේ වෙතත් මෙම වරද සිදුවීමේ ඉඩකඩ වැඩි වූයේ ක්‍රීඩාංගනයේ තෙත බරිත ස්වභාවය නොසලකමින් හැව්ලොක් ක්‍රීඩකයන් දිගු පන්දු හුවමාරු සිදුකිරීමට නොබියව ඉදිරිපත් වීමත් CH&FC ක්‍රීඩකයන් තමන් වෙත පන්දුව ලැබුණු අවස්ථා සියල්ලේදීම පාහේ ඔවුන් ළඟ පන්දුව තබා ගැනීමත් හේතුවෙන් ද විය හැකියි.

අවසන් ලකුණු තත්ත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය  48 – 05 CH&FC ක්‍රීඩා සමාජය  

ThePapare.com තරගයේ වීරයා – දුලාජ් පෙරේරා (හැව්ලොක් ක්‍රීඩා සමාජය)

ලකුණු ලබාගත් අයුරු

හැව්ලොක් ක්‍රීඩා සමාජය  – 48

  • දුලාජ් පෙරේරා –  උත්සාහක දිනුම් 01 – ප්‍රවර්තන 04
  • විමුක්ති රාහුල – උත්සාහක දිනුම් 02
  • ප්‍රසාත් මධුශංක – උත්සාහක දිනුම් 02
  • කෙවින් ඩික්සන් –උත්සාහක දිනුම් 01
  • සෙනාල් දීලක – උත්සාහක දිනුම් 01
  • ලිස්ටන් ෆ්ලැට්නි – උත්සාහක දිනුම් 01

CH&FC ක්‍රීඩා සමාජය – 05

  • කසුන් ශ්‍රීනාත් – උත්සාහක දිනුම් 01

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට