මනස්ගාත නැති හතුරුසිංහගේ ආගමනය අවැසිම හෝරාව

956
Hathurusingha

මේ සතියේ ක්‍රීඩා ලෝකය කැලඹූ ප්‍රධානතම ප්‍රවෘත්තිය බවට පත් වූයේ ඉතාලි පාපන්දු කණ්ඩායම 2018 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට අසමත් වීමයි. සිව් වරක් පාපන්දු ලෝක කුසලානය අත දැරීමට තරම් දක්ෂයන් වූ ඉතාලි ක්‍රීඩකයන්ට පාපන්දු ක්‍රීඩාවේ අග්‍ර ඵලය බඳු ලෝක කුසලාන තරගාවලියක් දෙස රූපවාහිනියෙන් පමණක් බලා සිටින්නට සිදු වූයේ 1958 වසරින් පසු පළමු වරටයි.

ක්‍රිකට් විනිසුරුවරයෙක් වූ ටී ටේස්ටර් – රැන්මෝ මාටිනස්

හිස් අවකාශයක් හැඩ වෙන්නෙ ඊට මොන මොනවා හෝ එකතු වූ පසුවයි. ජීවිතයත් ඒ වගේ…

මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව මුහුණ දී සිටියේ ද ඒ හා සමාන අත්දැකීමකටය. ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තිඹිරි ගෙයි සිටම (1975) එහි කොටස්කරුවන් වූවා පමණක් නොව තුන් වරක්ම ලෝක කුසලානයේ පහස වෙනුවෙන් අවසන් සටනේ පාර්ශ්වකරුවන් වීමටත් අවස්ථාව උදා කර ගත් ශ්‍රී ලංකාවට, 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා අවසන් පිදුරු ගසේත් එල්ලීමට සිදුවීම ඊට හේතුවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන තරගාවලි සඳහා සහභාගී කර ගන්නා කණ්ඩායම් සංඛ්‍යාව අඩු කිරීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි සහභාගීත්වය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුවන්නේ මේ වන විට ඔවුන් එක්දින මෙන්ම පන්දුවාර 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවීමයි.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට චන්දික හතුරුසිංහ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කර ගැනීමේ බලවත් උත්සාහයක නිරතව සිටින්නේ ඔහුට ඉර හඳ පවා ලබා දෙන බවට පිළින දෙමිනුයි. ඒ මන්දැයි මදක් විමසා බලමු.

බංගලියන්ට හතුරු වූ හතුරුසිංහ ලංකාවට මිතුරු වෙයිද?

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ..

ක්‍රිකට් ලෝකය පුරාවටම චන්දික හතුරුසිංහ සැලකෙන්නේ සාර්ථකත්වයට නොනවතින ගිජුකමක් දක්වන විශිෂ්ට ඝනයේ උපායශීලී පුහුණුකරුවකු ලෙසයි. එමන්ම කෙළින් කතා කිරීමට බය නැති 49 හැවිරිදි හතුරුසිංහ තම ක්‍රමවේදයෙන් බැහැරව යන්නන් සැනසීමට කාලය වැය කරන්නකු ද නොවේ. 2014 මැයි මාසයේදී ලෝක කුසලාන තරගාවලියට වසරකට මදක් අඩු කාලයක් තබා බංග්ලාදේශ කණ්ඩායම භාරගත් ඔහුගේ ආගමනයම සියල්ලන් සනසන ආකාරයේ පිවිසුමක් නොවීය.

තම අණට අවනත නොවූ ෂකීබ් අල් හසන්ට එරෙහිව හතුරුසිංහ අවි ඔසවන විට එරට පොදු ජනතාවගෙන් මතු වූයේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වහාම මැදිහත් වෙමින් ක්‍රීඩකයාගේ පැත්ත ගැනීමට සැරසෙද්දී හතුරුසිංහට අසන්න තිබුණේ එක ප්‍රශ්නයක් පමණකි. එනම්, ”ඔබට අවශ්‍ය ලොව අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බිහි කිරීම ද? නැතිනම් ඔබේ කණ්ඩායම ලොව අංක එකේ කණ්ඩායම බවට පත් කිරීම ද?” යන්නයි.

එම පරිච්ඡේදය එතැනින්ම අවසන් වූයේ ෂකීබ් හට මාස 6ක තරග තහනමක් පැනවීමෙනුයි. ඔහු නැවත කණ්ඩායම සමඟින් එක්වන විට ඔහු තුලින් දැවැන්ත ආකල්පමය වෙනසක් දක්නට ලැබුණු අතර බංග්ලාදේශය මේ වසර මුල දී ශ්‍රී ලංකාවට එරෙහිව ඓතිහාසික පළමු ටෙස්ට් ජය ලැබුවේ ද ෂකීබ්ගේ ශතකයට පින් සිදු වන්නටයි.

එම තරගාවලියේ දී ම මහමදුල්ලා රියාද්කව කණ්ඩායමෙන් ඉවත් කිරීමට ගත් තීරණයත් තවත් උණුසුමක් මතු කිරීමට අවස්ථාවක් වූයේ ඔහු සහ නායක මුෂ්ෆිකර් රහීම් අතර ඇති ඥාති සම්බන්ධය ද පදනම් කර ගනිමිනුයි. කෙසේ වෙතත් හතුරුසිංහ විශ්වාසය තැබුවේ තමන් එසවූ අවි කෙරෙහි පමණකි. ඔහු තවදුරටත් යොවුන් ක්‍රීඩකයන් කෙරෙහි විශ්වාසය තැබීය.

බංග්ලාදේශ ක්‍රිකට් වෙනුවෙන් එරට බලධාරීන් ගත් හොඳම තීරණය වූයේ හතුරුසිංහ හට සියලු බලතල පැවරීමයි. කණ්ඩායම පිළිබඳ ඔහුගේ දර්ශනය නිසැකවම ප්‍රතිඵල ලබා දෙනු දක්නට ලැබුණි. ඔහුගේ පැමිණීමේ සිට බංග්ලාදේශය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයටත්, ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයටත් පිවිසෙන්නට සමත් විය. එමෙන්ම ඉන්දියාවට, පාකිස්තානයට සහ දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලි ජයග්‍රහණ මෙන්ම ශ්‍රී ලංකාවට, ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග ජයග්‍රහණ ද බංග්ලාදේශයේ මෙන්ම හතුරුසිංහගේ ද කිරුළ සැරසූ අගනා මානික්‍ය බඳු විය. මේ වන විට බංග්ලාදේශය සිය මව් රටේ දී ඕනෑම ටෙස්ට් කණ්ඩායමකටත්, ඕනෑම රටක දී ඕනෑම එක්දින කණ්ඩායමකටත්, දැවැන්ත තර්ජනයක් එල්ල කළ හැකි මට්ටමට පැමිණ සිටියි.

දසුන් ශානක නිසා ශ්‍රී ලංකාවට අමතර වාසියක්!

තණතිල්ලේ ස්වභාවය අනුව අවසන් මොහොතේ කණ්ඩායමට නම් කළ දසුන් ශානකගේ…

කෙසේ වෙතත් මෙරට ක්‍රියාත්මක ක්‍රමවේදයට අනුව පුහුණුකරුවකුට එවන් නිශේධ බලයක් පැවරීමට කෙතරම් දුරට හැකි වේද යන්න ගැටලුවකි. ඉන්දීය සයුරෙන් වට වූ මේ දිවයින තුළ ක්‍රිකට් ක්‍රීඩකයන්, අතිශය වැදගත් තීරණයක් වුවත් ක්‍රීඩා අමාත්‍යවරයාට ලබා දෙන එක් දුරකථන ඇමතුමකින් වෙනස් කිරීමේ හැකියාව ඇති බලගතු ජීවීන් කොට්ඨාසයකි.

හතුරුසිංහ ඔහු අධ්‍යාපනය හදාරන ලද කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ පවා නිත්‍ය සාමාජිකයෙකු නොවීය. කෙසේ වෙතත් ඔහුට ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය තුළ ඉඩක් වෙන් වන්නේ මෙරට පැරණිතම වෙළඳ සමාගම වූ ජෝජ් ස්ටුවර්ට් ආයතනයේ සභාපති සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ දැවැන්තයෙකු වූ එස්. ස්කන්ධකුමාර් මහතාගේ මැදිහත් වීමෙනුයි. පිට පළාත්වලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන ක්‍රීඩකයන් වෙනුවෙන් ඉහළ සේවයක් ඉටු කළ ස්කන්ධකුමාර් මහතා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයෙකු ලෙසත් සේවය කර තිබේ. හතුරුසිංහ ටෙස්ට් පිටියට පිවිසීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සන්ධිස්ථානයක් වූයේ පාසලේ පළමු පෙළ කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රීඩකයෙකු ටෙස්ට් පිටියට පිවිසීම මෙරට අති දුර්ලභ සිදුවීමක් වීම හේතුවෙනුයි.

පුහුණුකරුවකු ලෙස හතුරුසිංහගේ පළමු දීප්තිය විහිදුණේ මීට වසර 15කට පමණ පෙර ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩක දිවියේ අවසන් භාගයේ දී මුවර්ස් ක්‍රීඩා සමාජයට එක්වීමත් සමඟයි. 2002 වසරේ දී කිසිවෙකුත් නොසිතූ පරිද්දෙන් මුවර්ස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ශූරතාව වෙත මෙහෙයවන්නට හතුරුසිංහ සමත් විය. ඔහු පුහුණුකරු මෙන්ම ක්‍රීඩකයෙකු ලෙසත් දායකත්වය ලබා දුන් මුවර්ස් ක්‍රීඩා සමාජය එවකට නියෝජනය කළ එකම ප්‍රසිද්ධ ක්‍රීඩකයා වූයේ නායක රංගන හේරත් පමණි.

සුරංගනා කතාවක් බඳු මුවර්ස් ජයග්‍රහණයෙන් පසු හතුරුසිංහගේ පුහුණුකාරිත්වයේ දස්කම් පතල වීම ඇරඹුණේ කණ්ඩායමේ ක්‍රීඩකයන් ඔහුගේ සංවිධානාත්මක බව සහ අවධානය පිළිබඳ දිගින් දිගටම ප්‍රශංසා මුඛයෙන් අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙනුයි. එතැනින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීම් ලැබූ හතුරුසිංහගේ වටිනාකම මෙරටට එකතු කිරීමට සිතූ බලධාරීන් 2008 වසරේ දී ඔහුව ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කරන ලදි.

අතීතයේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් දකුණු අප්‍රිකා තරග සංචාරවල දී මුහුණ දෙන්නේ අතිශය අභියෝගාත්මක අත්දැකීමකටයි. වේගවත් සහ ඉපිලීම අධික තණතීරු විශිෂ්ටයන්ගෙන් සපිරි ශ්‍රී ලංකා කණ්ඩායම්වලට පවා අමිහිරි අත්දැකීම් පමණක් ඉතිරි කරන්නට සමත් වූයේ වරක් දෙවරක් නොවේ. කෙසේ වෙතත් 2009 වසරේ හතුරුසිංහ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ දකුණු අප්‍රිකාව බලා පියාසර කරන්නේ එම අභියෝගයට මුහුණ දීමේ මනා සූදානමක් සමඟයි.

අතිශය තියුණු සටනකින් පසුව නිල නොවන ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස යන්තමින් පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරග 5කින් යුතු වූ එක්දීන තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගත්තේ බොහෝ දෙනෙකුගේ ඇහි බැමි ඉහළ නංවමිනි. එලෙස විමතියට පත්වූ එක් අයෙක් වූ එවක ටෙස්ට් නායක කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියේ හතුරුසිංහගේ සේවය ජාතික කණ්ඩායමට ලබා දෙන ලෙසයි. එම ඉල්ලීමට ලැබුණු යහපත් ප්‍රතිචාරයත් සමඟ හතුරුසිංහගේ උපක්‍රමික විචක්ෂණශීලී ඥානය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ නොමද ගෞරවයට සහ ආදරයට පාත්‍ර විය. 2010 වසරේ ඇතිවූ අවාසනාවන්ත සිදුවීම නොවන්නට 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ප්‍රධාන පුහුණුකරු ට්‍රෙවර් බේලිස්ගේ අනුගාමිකයා බවට පත්වීමේ මගට හතුරුසිංහ අවතීර්ණ වී සිටින ලදි.

වසර හතකට පසු හතුරුසිංහගේ උපක්‍රමික පුහුණු ක්‍රමවේදය ශ්‍රී ලංකාවට අන් කවරදාටත් වඩා අවශ්‍ය වී තිබෙන්නේ වත්මන් පරාජයේ රැල්ල ආපසු හැරවීමටයි. වත්මන් කණ්ඩායමෙන් දිස්වන්නේ ජයග්‍රහණ පිපාසය සිඳී ගිය විලාශයකි. එබැවින් හතුරුසිංහගේ ‘මනස්ගාත වලින් තොර’ අතික්‍රමණය ශ්‍රී ලංකාවට අවැසිම හෝරාව මෙයයි. එනමුදු, ඔහුට අවශ්‍ය නිදහස ලබා දෙන්නට ශ්‍රී ලංකාව සූදානම් ද?

පරිවර්තනය කරන ලද ලිපියකි: Hathurusingha’s no-nonsense approach the need of hour

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<