හෂීම් අම්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

937

මීට වසර 15 කට පමණ පෙර දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට පිවිසුණු සුපිරි පිතිකරු හෂීම් අම්ලා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන විට ඔහු එක්දින තරග 181ක් ටෙස්ට් තරග 124ක් හා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 44කට දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කර තිබුණා.

මීළඟ ටෙස්ට් පරපුරට ස්ටෙයින් ලබා දුන් පණිවිඩය

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පහල වූ බිහිසුණුම වේගපන්දු යවන්නෙකු ලෙස සැලකිය හැකි ඩේල් ස්ටෙයින්, ටෙස්ට් පිටියට…..

36 හැවිරිදි අම්ලා සිය ටෙස්ට් දිවිය තුළ දී ශතක 28ක් සමඟින් ලකුණු 9282ක් රැස් කර තිබෙන්නේ ලකුණු 46.64ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. 2012 වසරේ දී එංගලන්තයට එරෙහිව පැවැත්වුණු ටෙස්ට් තරගයක දී ලකුණු 311ක් රැස් කිරීම ඔහුගේ ඉහළම දක්ෂතාවය ලෙස සටහන්. එම ඉනිම දකුණු අප්‍රිකානුවෙකු රැස් කළ ඉහළම ටෙස්ට් ඉනිම ලෙස වාර්තා පොත් අතරට එක්ව තිබෙනවා. 2013 වසරේ දී ඔහු ICC ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයට පත් වන්නේ එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ද පළමු ස්ථානය තමන්ගේ නමට ලියා ගනිමින්.    

2008 වසරේ එක්දින ජාත්‍යන්තර පිටියට පා තැබූ ඔහු ඉතා ඉක්මනින් පන්දුවාර 50 ආකෘතියේ සිය නම රඳවන්නට සමත් වුනා. එක්දින ලකුණු 2000 සීමාව ඉක්මවා යන්නට සමත් වූ ලොව වේගවත්ම ක්‍රීඩකයා ලෙස ද වාර්තාව පිහිට වූ ඔහු ලකුණු 3000, 4000, 5000, 6000 හා එදින ලකුණු 7000 ද ඉක්මවූ ලොව වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වුනා. අම්ලා සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමා කළේ ශතක 27ක් සමඟින්. ඒ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම එක්දින ශතක සංඛ්‍යාවයි. 

අම්ලා අවස්ථා 25ක දී දකුණු අප්‍රිකානු නායකයා ලෙස කණ්ඩායම මෙහෙයවා ඇති අතර අම්ලා සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ ඔහු දිගටම දේශීය තරග පිටියේ ක්‍රීඩා කරන බවයි.

සුපිරි වේගපන්දු තරුව ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකාවෙන් ලෝක ක්‍රිකට් පිටියට දායක වූ ලොව සුපිරි වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඩේල් ස්ටේන්…

 “මුලින්ම දෙවියන්ට ස්තුති විය යුතුයි මට මේ සතුටින් පිරුණු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සුන්දර අත්දැකීම් විඳින්නට ඉඩක් ලබා දුන්නාට.” අම්ලා පවසා සිටියා.

“මේ දිගු සුන්දර ගමන තුළ මම පාඩම් ගොඩක් ඉගෙන ගත්තා. ගොඩක් යහළුවෝ හම්බුනා සහ #proteafire හෙවත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සහෝදරත්වය හා ආදරය මට ලැබුණා.”

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ප්‍රධාන විධායක Thabang Moroe මහතා මෙසේ පවසා සිටියා. “ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත චරිතයකට සමුදෙන්න වෙන එක ඉතා කනගාටුයි. නමුත් එය අමතක කරලා මම කැමතියි ක්‍රීඩා පිටිය තුළ හා ක්‍රීඩා පිටියෙන් ඉවත හෂීම් අම්ලා ක්‍රීඩාවට එකතු කළ වටිනාකම් අගය කරන්න. ඔහු ක්‍රීඩාවට ගෙනාව මානුෂීය ගතිගුණ සදා පවතීවි. අපේ ජීවිත හැඩ ගස්වාගන්න මීට වඩා හොඳ චරිතයක් අපිට ලැබෙන්නේ නැහැ. ඔහු මුළු රටටම ලොකු වටිනාකමක් එකතු කළා.” 

“මම විශ්වාස කරනවා ක්‍රිකට් ක්‍රීඩකයින්, බලධාරීන්, මාධ්‍ය හා ප්‍රේක්ෂකයින් හා ලොව පුරා සියලු දෙනා ඔහුගේ අනාගතයට සුබ පතාවී.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<