“ඒ පහරවල් ක්‍රීඩා කළ යුතුව තිබුණේ නැහැ” – ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු

2666
Hashan Tillakaratne

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන දුර්වල ක්‍රීඩා විලාශය ගැන අප්‍රසාදය පළකරන්නේ ඉතිරිව සිටින ක්‍රිකට්ලෝලීන් සුළු පිරිස පමණක් නොවේ.

පිතිකරණ පුහුණුකරු හෂාන් තිලකරත්න ද දැන් ඒ ගොන්නට එකතු වී ඇත. ඊයේ ශ්‍රී ලාංකිකයන්ගෙන් දුටු නොසැලකිලිමත් පිතිහරඹය ගැන ඔහු අදහස් පළකොට තිබුණේ ඉන්දියානු රෙඩිෆ් මාධ්‍යවේදියෙකු සමඟයි.

ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලාංකික පිතිකරුවන් අපහසුවෙන් ලකුණු 291ක් ලබා ගත්තේය. දෙවන ඉනිමේදී ඊට වඩා ලකුණු 46ක් පසුපසින් ශ්‍රී ලංකා ඉනිම නැවතිණි. දෙවන ටෙස්ට් තරගයේදී ලකුණු 183ක් සහ 386 ශ්‍රී ලාංකිකයන් ලබාගන්නා විට ඉන්දියානුවන් ටෙස්ට් තරග දෙකේදීම ලකුණු 600 සීමාව පසුකොට ගොස් තිබිණි.

තෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමටද කණකොකා හැඬීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පුදුමාකාර පහරවල් ගැන සිය අප්‍රසාදය පළකරන්නට හෂාන් තීරණය කොට තිබිණි.

“සිම්බාබ්වේ තරගයේදීත් දඟපන්දුවලට ක්‍රීඩා කිරීමේදී අපට ඒක කරගන්න බැරිවුණා. ඒ තරගයේ දෙවන ඉනිමේදීත්, SSC තරගයේ (ඉන්දියාව සමඟ දෙවන ටෙස්ට් තරගය) දෙවන ඉනිමේදීත් ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළා. ඒත් එහි පවත්වා ගැනීමක් නැහැ.”

දැන් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවෙමින් පවතින සිද්ධීන් දෙස බලාසිටීම අපහසු වන බැවින් ප්‍රේක්ෂකයන්ද කෙමෙන් ඉන් ඉවත්වෙමින් පවතින නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට්වල වෙනස්කම් සිදුවීම අවසන් නොවී ඇත. අද එක් පුහුණුකරුවෙක්, හෙට තවත් පරිපාලන නිලධාරියෙක්, අද එක් ක්‍රීඩකයෙක්, හෙට තවත් ක්‍රීඩකයෙක් යන ආකාරයට වේගවත් වෙනස්කම්වලට භාජනය වෙමින් අගාධයට යන ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මෑතකදී පත්වූ පිතිකරණ පුහුණුකරුවා තවදුරටත් මෙසේ සිය අදහස් පළකළේය.

“මේක කණගාටුදායක දිනයක්. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී මේ වගේ පහරවල්වලට අපි යන්නෙම නැහැ. ඔවුන් බොහොම අපරිණත භාවයක් පෙන්නුවා වගේම නරක පහරවල්වලටත් ගියා. අපි අශ්වින් සහ ජඩේජා හිතේ තබාගෙන මේ පහරවල් පුහුණු වුනා. ඒත් හරස් පහරවල් (cross bat shots) ඉතාම නුසුදුසුයි. ඒවා ක්‍රීඩා කළ යුතුව තිබුණේ නැහැ.” ඔහු කීවේය.

“අපි ඉතා දුර්වල ආකාරයෙන් තමයි පිතිකරණයේ යෙදුණේ. ඒත් මට විශ්වාසයි ඔවුන්ට කොතනද වැරදුණේ කියලා ඔවුන් තේරුම් ගනීවි. හෙට මීට වඩා හොඳ සැලසුමක් එක්ක ඔවුන් ඒවි.” කෙමෙන් හෂාන්ගේ වදන් ධනාත්මක විය.

“හොඳින් ක්‍රීඩා නොකරද්දී ඔබට ඕනම දෙයක් කිවහැකියි. හැබැයි මේ තමයි වෙලාව ඔවුන් පසුපසින් ඉඳලා ඔවුන්ට ධෛර්ය දෙන්න. ඔවුන් ක්‍රීඩා කරන්නේ ලොව අංක එකේ කණ්ඩායම එක්කයි.”

කණ්ඩායමේ ගෞරවය රැකීම හෂාන්ගේ වගකීම ය. එබැවින් ඔහු එසේ ධනාත්මකව බැලුවද ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ක්‍රීඩකයින් පසුපසින් හින්ද ඔවුනට සෑම ධෛර්යයක්ම දී ඇත. එහෙත් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම අමතක කොට ඇතැයි ප්‍රේක්ෂකයන් නගන මැසිවිල්ලයි.

ලොව පළමු වේවා, අවසන් කණ්ඩායම වේවා, ඕනෑම කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කිරීමේදී තම ප්‍රමුඛ කාර්යභාරය අවබෝධ කොටගෙන ක්‍රීඩාවේ යෙදෙන්නට ක්‍රිකට් ක්‍රීඩකයන් උනන්දු විය යුතුය.

“මේ කණ්ඩායමම ඕස්ට්‍රේලියාවට එරෙහිව 3-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ගත්තා. ඒත් දැන් ඔවුන් ඉන්නේ විශ්වාසය අතින් පිටුපසින්. මෙතනින් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් ආශ්චර්යයක් කිරීම තමයි අපේ අවශ්‍යතාවය.” හෂාන් එසේ පවසා තිබිණි.

අපටද ක්‍රීඩකයන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු මහත් ආශ්චර්යයක් කරනු ඇතැයි හෂාන්ට සේම බලාපොරොත්තුවක් ඇත.

 >>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට<<