ශ්‍රී ලංකාවට එදිරි වන පාකිස්තාන ටෙස්ට් සංචිතය

467
ESPNcricinfo

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ටෙස්ට් තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කෙරුණු ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත පාකිස්තාන සංචිතය සඳහා තරුණ වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන මීර් හම්සා නම් කර ඇත.

එමෙන්ම කණ්ඩායමේ සිටි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙපළක් වූ මිස්බා උල් හක් සහ යුනිස් කාන් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කණ්ඩායමේ ඇතිවූ හිඩැස පිරවීම සඳහා මැදපෙළ පිතිකරුවන් දෙපළක් වන හැරිස් සොහේල් සහ උස්මාන් සලාහුද්දීන්ව සංචිතයට ඇතුළත් කර ඇති අතර ඔවුන් දෙදෙනා ද මීට පෙර ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නොමැත. ඒ අනුව නම් කර ඇති සංචිතයට ඇතුළත් ටෙස්ට් වරම් නොලැබූ ක්‍රීඩකයින් ගණන 5කි. තවදුරටත් පා දඟපන්දු යවන ක්‍රීඩක යසීර් ෂා සහ ඉදිරිපෙළ පිතිකරු අසාර් අලි ක්‍රීඩා කිරීමට යෝග්‍ය බව තහවුරු කිරීමෙන් අනතුරුව සංචිතය සඳහා ඇතුළත් කර ඇත.

සධීර සහ රොෂේන් පාකිස්තාන ටෙස්ට් තරගාවලියට කැඳවයි

මේ වන තෙක් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්ණ නොදැරූ දක්ෂ පිතිකරණ යුගලයක් වන සධීර සමරවික්‍රම සහ රොෂේන් සිල්වා පාකිස්තානය.

“ඇත්ත වශයෙන්ම අපි කරන්නේ නවක ක්‍රීඩකයින්ට අවස්ථාවක් දීලා බලන එක. කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් විශ්‍රාම ගත් විට ඒ ස්ථානවලට හැරිස් සොහේල් සහ උස්මාන් සලාහුද්දීන්ව ඇතුළත් කරන එක තහවුරු කර ගන්න අපි පසුගිය තරගාවලි කිහිපය සඳහාම ඔවුන් දෙදෙනාව රැගෙන ගියා. ඒ වගේම මේ තරගාවලිය තියෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. ඒ නිසා අපි සිතුවේ ඔවුන්ගේ පළමු තරග අත්දැකීම විදේශීය තරගාවලියක දී දෙනවට වඩා ඔවුන්ට හුරුපුරුදු තත්වයක් යටතේ දෙන එක හොඳයි කියලා. අපි හිතන්නේ ඔවුන්ට අපේ ක්‍රීඩාංගණවල අවස්ථාවක් දෙන්න ලැබුනොත් අපි ඒ අවස්ථාව ලබා ගන්න ඕනේ කියලා.” පාකිස්තාන තේරීම් කමිටුවේ සභාපති ඉන්සමාම් උල් හක් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේය.

“උස්මාන් පසුගිය අවුරුදු 2ක කාලය පුරාවට මැදපෙළ පිතිකරුවෙක් විදිහට ඉහළ දස්කම් දක්වලා තියෙනවා. හැරිස් සොහේල් 2015 දී ආබාධයකට ලක්වුණේ නැත්නම් ඒ වන විට ඔහු පාකිස්තානයේ ප්‍රධාන පිතිකරුවා වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපි ඔවුන්ට ලබා දෙන්නේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ අඩුව පුරවන්න මොවුන්ට හැකි වෙයි කියලා හිතලා.” ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් සහ ආරම්භක පිතිකරු අහමඩ් ශේසාඩ් සංචිතය සඳහා ඇතුළත් කර නොමැති අතර පාකිස්තාන කණ්ඩායම අවසන් වරට සහභාගී වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරගාවලියේ දී බ්‍රිජ්ටවුන් හිදී ටෙස්ට් වරම් දිනාගත් ෂදාබ් කාන් ද සංචිතයට ඇතුළත් කර නැත.

හෆීස් පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ 2016 වසරේ එංගලන්ත සංචාරයේ බිර්මිංහැම් හිදී වන අතර ඉන් අනතුරුව ඔහුව ඇතුළත් කරනු ලැබුවේ සීමිත පන්දුවාර තරග සඳහා පමණි. ශේසාඩ් අවසන් වරට බ්‍රිජ්ටවුන් හිදී ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අතර පසුගිය දා අවසන් වූ ලෝක කණ්ඩායම සමඟ පැවති පන්දුවාර 20 තරගාවලියේ දී ඔහු දැක්වූ දස්කම් මෙම සංචිතය තුළ ඔහුගේ ස්ථානය තහවුරු කිරීමට ප්‍රමාණවත් වී නොමැත.

කෙසේ නමුත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති එකම ටෙස්ට් තරගයේ දී දස්කම් අතරට පැමිණීමට අපොහොසත් වූ ෂාන් මසූඩ් මෙම සංචිතය සඳහා ද ඇතුළත් කර ඇත.

“ෂාන් මසූඩ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති එකම ටෙස්ට් තරගයට ක්‍රීඩා කළා. මම විශ්වාස කරන විදිහට අපි ක්‍රීඩකයෙක්ට අවස්ථාවක් ලබා දෙනවා නම් ඒක ඔහුට නිසි පරිදි ලබා දෙන්න ඕනේ. ක්‍රීඩකයෙක්ට එක තරගයක දී ලකුණු අතරට එන්න බැරි වුනා කියලා ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරන එක සාධාරණ නැහැ. ඒ නිසා අපි ෂාන්ට තවත් අවස්ථාවක් ලබා දෙනවා. අපි හිතනවා ඔහු මේ තරගාවලියේ දී ලකුණු අතරට එයි කියලා.” ඉන්සමාම් උල් හක් පවසා සිටියේය.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණවල ඇති පිතිකරණයට හිතකර තත්වයන් යටතේ සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩකයින් 5 දෙනෙක් ඇතුළත් කිරීමට තේරීම් කමිටුව ගත් තීරණය සාධාරණීකරණය කරමින් ඔහු පවසා සිටියේ;

“ඇත්තටම එහි තිබෙන තණතිලි පිතිකරණයට ඉතාමත් හිතකර ඒවා. ඒ නිසා ටෙස්ට් තරගයක දී ප්‍රතිවාදී කණ්ඩායමක ක්‍රීඩකයින් සියලු දෙනාම දෙවරක් දවාඉගන්න නම් ශක්තිමක් පන්දු යැවීමේ බලඇණියක් අවශ්‍යයි. ඒ නිසා අපේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරන්න අවශ්‍ය නිසයි අපි වේගපන්දු යවන්නන් 5 දෙනෙක් සහ දඟපන්දු යවන්නන් 3 දෙනෙක් සංචිතයට ඇතුළත් කළේ. ඒ වගේම තිබෙන දැඩි උණුසුම් තත්වය යටතේ වේගපන්දු යවන්නන්ව හොඳින් මාරු කරමින් ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්න තමයි වේගපන්දු යවන්නන් 5 ක් ඇතුළත් කළේ.”

ඉන්සමාම් උල් හක් පවසා අන්දමට කණ්ඩායම තුළ 150 kmph වේගය අභිබවමින් අඛණ්ඩව පන්දු යැවිය හැකි වේගපන්දු යවන්නන් නොසිටියත් ඔවුන් සතුව හොඳ වේගපන්දු යැවීමේ සුසංයෝගයක් පවතියි.

“වේගය වැදගත් වුණත් ඊට වඩා වැදගත් ගොඩක් දේවල් තියෙනවා. මම හිතන විදිහට අපිට ශක්තිමත් වේගපන්දු යැවීමේ බලඇණියක් සිටිනවා. අපි මීර් හම්සාව තෝරා ගත්තේ ඔහු පළමුපෙළ ක්‍රිකට් තරගවල දී ඒ තණතිලිවල ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ නිසා. ඔහු එහි දී හොඳින් ක්‍රීඩා කළා. වහාබ් රියාස් පන්දුව පරණ වෙද්දී හොඳින් පන්දු යවනවා. ඒ වගේම ඔහුට 150 kmph වේගය අභිබවමින් පන්දු යවන්න පුළුවන්. ඒක ලොකු වාසියක්. අමීර් සහ අබ්බාස් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී හොඳින් දස්කම් දැක්වූවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ වේගපන්දු යැවීමේ බලඇණිය ඉතාමත් ශක්තිමත් කියලා. අපිට ඉතා වේගයෙන් පන්දු යැවිය හැකි වේගපන්දු යවන්නන් එතරම් නැති එක ඇත්ත. නමුත් සංචිතය තුළ සිටින වේගපන්දු යවන්නන් හොඳ මට්ටමක සිටිනවා.”

එමෙන්ම යසීර් ෂා පසුගිය තරගාවලි කිහිපය තුළ ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වුවත් ඔහුට ද යෝග්‍යතා පරීක්ෂණය සමත් වීමට සිදු වූ බව මෙහි දී ඉන්සමාම් තහවුරු කළේය.

“යසීර් ඊයේ යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දෙන්න තිබුණත් ඊයේ ඔහුගේ පාදයේ මාංශපේෂීවල තිබුණ තත්වයක් නිසා ඊට සහභාගී වුණේ නැහැ. නමුත් ඔහු අද උදෑසන එම පරීක්ෂණයට මුහුණ දීලා ඒක සමත් වුනා. අපි කලින්ම යසීර්ට කියලා තිබ්බේ ඔහු සංචිතයට ඇතුළත් කරන්න නම් ඒ පරීක්ෂණය සමත් වෙන්න ඕනේ කියලා. පසුගිය වසර 3-4 ක කාලය තුළ යසීර් පාකිස්තානය වෙනුවෙන් කඩුලු රාශියක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. නමුත් අපි උත්සාහ කරන්නේ හැමෝටම තියලා තියෙන යෝග්‍යතා මට්ටම ඒ විදිහටම පවත්වා ගෙන යන්න. ඔහු ඒ යෝග්‍යතා පරීක්ෂණය සමත් වුණේ නැත්නම් ඔහුව සංචිතයට ඇතුළත් කරන් නැහැ.”

මේ වන විට පාදයේ වේදනාවක් සඳහා ප්‍රතිකාර ලබන අසාල් අලිව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව සංචිතයට ඇතුළත් කිරීමට තීරණය කරනු ලැබීය.

“අසාර් අලිගේ දණහිසේ කොෂ්ටයක් තියෙන්නේ. එන්නතක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට ක්‍රීඩා කළ හැකි බවට වෛද්‍යවරු නිර්දේශ කළා. එන්නත ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට කිසිදු වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔහුට තරගය ක්‍රීඩා කරන්න පුළුවන් තත්වයක සිටියි කියලා.”

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන තරගාවලිය එළඹෙන 28 වන දින අබු ඩාබි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ආරම්භ වේ. දෙවන ටෙස්ට් තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ඩුබායි හිදී පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය වේ. ටෙස්ට් තරාගවලිය අවසානයේ එක්දින තරග 5කින් සමන්විත එක්දින තරගාවලියක් සහ පන්දුවාර 20 තරග 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියක් ද පැවැත්වේ. එහි අවසාන පන්දුවාර 20 තරගය ඔක්තෝබර් මස 29 වන දින පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

පාකිස්තාන සංචිතය

සෆ්රාස් අහමඩ් (නායක සහ කඩුලු රකින ක්‍රීඩක), අසාර් අලි, ෂාන් මසූඩ්, සාමි අස්ලාම්, බාබර් අසාම්, අසාද් ෂෆීක්, හැරිස් සොහේල්, උස්මාන් සලාහුද්දීන්, මොහොමඩ් අමීර්, හසන් අලි, යසීර් ෂා, මොහොමඩ් අස්ගර්, මොහොමඩ් අබ්බාස්, බිලාල් අසීෆ්, මීර් හම්සා, වහාබ් රියාස්

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට