අයිස් හොකී පසෙකලා පාපන්දුවට පෙම් බැඳී සුපිරි ගෝල රකින්නා

396

Libuse Cechova විසින් ජීවය ලබා දුන් Petr Cech තුන් නිවුන් දරුවන්ගෙන් එක් අයෙක්. 1982 මැයි මස 20 වැනිදා Czech Republic හී Plez නගරයේ දී උපත ලබන Petr Cech උප්පත්තියෙන්ම නොමේරූ හිස්කබලක් සහිතව උපන් අයෙකි.

වසර 11ක කාලයක් Chelsea කණ්ඩායමේ ජයග්‍රහණ සහ සාර්ථකත්වය පසුපස සිටි දැවැන්තම චරිතයක් මෙන්ම වර්තමානයේ Arsenal කණ්ඩායමේ ගෝල රකින්නා ද වන Petr Cech දරුණු ආබාධයකින් සාර්ථකව සුවය ලබා පාපන්දු පිටියේ පෙරළිකාර දස්කම් දක්වන්නට සමත් වූ එකම ක්‍රීඩකයා ලෙස ද හඳුන්වනු ලබයි.

කුඩා අවධිය

කුඩා කළ සිටම Ice Hockey ක්‍රීඩාවට බොහෝ සෙයින් ඇලුම් කළ Cech පාසල් සමයේ දී Ice Hockey ක්‍රීඩාව ප්‍රගුණ කර ඇත. නමුත් ක්‍රීඩා උපකරණ සඳහා විශාල පිරිවැයක් දැරීමට තම දෙමාපියන්ට නොහැකි බැවින් ඉන් ඉවත්ව පාපන්දු ක්‍රීඩාව තෝරා ගැනීමට ඔහු තීරණය කළේය.

ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස සිය පාසල් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇති Petr Cech වයස අවුරුදු 10 වන විට තරගයක් අතරතුර ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇත.

වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු පාදයේ අස්ථි බිඳී යාමකට ලක්වීම නිසාවෙන් වසරකට ආසන්න කාලයක් පුරා සිය සහෝදර ක්‍රීඩකයින් ක්‍රීඩා කරන දෙස බලා සිටීමට ඔහුට සිදු විය. ආබාධය සුව වීමෙන් පසුව දෙමාපියන්ගේ දැඩි විරුද්ධත්වය මත නැවත පාපන්දු ක්‍රීඩා කිරීමට ඔහු තීරණය කළ නමුත් නිසි ලෙස නොමේරූ හිස් කබලක් සහ පාදයේ ආබාධය පිළිබඳව නිරන්තරයෙන් සැළකිලිමත් වූ සිය දෙමාපියන්ගෙන් ගෝල රකින්නෙකු ලෙස නැවත ක්‍රීඩා කිරීමට ඔහු අවසර පතා ඇත.

“ඒක ඉතාම අවාසනාවන්ත සිඳුවීමක්. බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වුනා. දෙමාපියන් පවා අසරණ වුනා. මේ ආබාධය හේතුවෙන් මගේ මව රැකියාවෙන් පවා ඉවත් වී මා හට උපස්ථාන කිරීමට තීරණය කළා. ආබාධ සඳහා වූ අවධාන අඩුකම හුවා දක්වමින් ගෝල රකින්නෙකු ලෙස ක්‍රීඩා කිරීමට අවසර ලබා දෙන මෙන් මගේ දෙමාපියන් ඉදිරියේ ඉල්ලා සිටියා.

කෙසේ නමුත් ඒ හරහා මට වාසනාව උදා වුනා කියලා මා විශ්වාස කරනවා. එවැනි සිදුවීමක් නොවන්නට මගේ ඉරණම බොහෝ සේ වෙනස් වන්නට තිබුණා.”යැයි Petr Cech පවසා ඇත.

ගෝල රකින්නෙකු ලෙස ස්ථාවර වීමත් සමඟ Cech හට 1999 වසරේ දී පළමු පෙළ තරගාවලිය සඳහා FK Chmel Blšany කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් හිමි විය. 1999 ඔක්තෝබර් මස සිය පළමු තරගයට ක්‍රීඩා කරන Cech එම තරගයෙන් ගෝල 3-1ක් ලෙස පරාජයට පත් වූවද, පරිණත ගෝල රකින්නෙකුගේ ලක්ෂණ විදහා පෑමට සමත් වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 2001 වසරේ දී Sparta Prague FC කණ්ඩායම සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ඔහුට හැකි විය.

හැරවුමේ ඇරඹුම

2000/01 තරග වාරයේ නොවැම්බර් මාසය Cechගේ හැරවුම් ලක්ෂයක් ලෙස හැඳින්විය හැක. ගෝල රකින්නෙකු විසින් ප්‍රතිවාදීන් හට ගෝලයක් රැස් කර ගැනීමට නොදුන් වැඩිම වාර්තාගත කාලයට හිමි වාර්තාව තමන් සතුකර ගැනීමට ඔහු සමත් විය.

එතෙක් මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ එරට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන Theodor Reimann විසිනි. 1950 වසරේ ප්‍රමුඛ පෙළ පාපන්දු තරගාවලි ඉතිහාසයේ ප්‍රතිවාදීන් හට ගෝලයක් වාර්තා කිරීමට ගත වූ වැඩිම කාලය වන විනාඩි 855ක කාලය, විනාඩි 903ක කාලයක් දක්වා දීර්ඝ කරන්නට Cech සමත් විය. එය තරග වශයෙන් ගතහොත් 10ක්. නොකඩවා තරග 10ක් තුළ ගෝලයේ මුරකරු වූ ඔහුගේ අපූරු විස්කම පිළිබඳව විදෙස් ක්‍රීඩා සමාජ පවා දැඩි අවධානයෙන් පසුවිය.

ආසියාවේ ජාමයත්, ඉරානයේ ගෝලයත් රකින්නා

පාපන්දු ක්‍රීඩාවේ දැවැන්තයන්ගෙන් බහුතරයක් යුරෝපා සහ ලතින් ඇමරිකානු රාජ්‍යයන් නියෝජනය…

“වාර්තාවක් පිළිබඳව මට අවබෝධයක් තිබුණේ නැහැ. එකම ඉලක්කය වුනේ ක්‍රීඩා කරන සෑම තරගයක දී ම උපරිම දස්කම් දැක්වීමයි. වාර්තාවක් බිඳ දැමීමට හැකි වීම පිළිබඳව සතුටුයි. එමෙන්ම කණ්ඩායමේ සියලු දෙනාටම ඔවුන්ගේ සියලු කැපකිරීම් වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා” යැයි වාර්තා ගත තරගය අවසානයේ දී Cech පවසා ඇත.

ජාතික තලයේ දී ජාත්‍යන්තර දස්කම් දැක්වීමට සමත් වූ එවකට 19 වැනි වියේ පසු වූ Petr Cech 2002 වසරේ දී Arsenal ක්‍රීඩා සමාජය සමඟ එක් වීමට සිය කැමැත්ත ප්‍රකාශ කළත් ඒ සඳහා වීසා ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි.

“මං Arsenal බලධාරීන් හට කළ ඉල්ලීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළා. කෙසේ හෝ වීසා ලබා එංගලන්තයට පැමිණියහොත් අවස්ථාවක් ලබා දිය හැකි බව ඔවුන් සඳහන් කළා. නමුත් රැකියා වීසා (Work Permit) බලපත්‍රයක් ලබා ගැනීමට මට නොහැකි වීම නිසා බලාපොරොත්තු සුන්වුණා.” යැයි Cech විසින් පවසා ඇත.

කෙසේ වෙතත් ඉන් උපරිම වාසිය ලබා ගැනීමට ප්‍රංශයේ Stade Rennais පාපන්දු කණ්ඩායම සමත් විය. 2002/03 තරග සමය තුළ සුපිරි දස්කම් දැක්වීමට සමත් වූ Cech කිහිප වරක්ම තරගයේ වීරයා වෙමින් සම්මානයට පාත්‍ර වීමට ද සමත් විය.

මේ අතරතුර Czech Republic ජාතික කණ්ඩායමෙන් කැඳවීමක් ලබන Cech සිය මංගල තරගයට සහභාගී වන්නේ Hungary සමඟිනි. එම තරගය ඔහුගේ කණ්ඩායම විසින් ජයග්‍රහණය කළෞය. කෙසේ නමුත් ඔහු තරග 124කට සිය මව් රට වෙනුවෙන් ක්‍රීඩා කර ඇත.

2006 වසර අවසානය දක්වා Stade Rennais කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටි Petr Cech හට එංගලන්තයේ Chelsea කණ්ඩායමෙන් 2004 වසරේ ජනවාරි මාසයේ දී කැඳවීමක් ලැබෙන්නේ ඔහු පවා නොසිතූ මොහොතකය. දෙවසරකට පසු ඔහුගේ බලාපොරොත්තු ඉටුවන ලකුණු පහළ වෙමින් තිබුණ ද, අනපේක්ෂිත ලෙස Rennais ක්‍රීඩා සමාජය ඔහුව මුදා හැරීමට අකමැත්ත පලකොට තිබෙනවා. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී තිබුණේ 2004/05 තරග වාරය සඳහා Cechගේ සේවය සිය කණ්ඩායමට අත්‍යාවශ්‍ය බවයි.

“අප විසින් ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ පිළිබඳව අප ඔවුන් දැනුවත් කළා. මෙම තරගවාරය නිමා වෙන තුරු Cech මෙහි රැඳී සිටීවි” යනුවෙන් කණ්ඩායමේ ප්‍රකාශකයෙකු ප්‍රංශ මාධ්‍යය වෙත පවසා තිබුණි. විශේෂයෙන්ම Czech Republic හී මාධ්‍යය පවා මේ පිළිබඳව ඉහළින් වාර්තා කොට තිබුණු අතර සියලුම මුද්‍රිත මාධ්‍යය සටහන් කර තිබුණේ “Cech is keen on a move to the Premiership” යනුවෙනි.

“මගේ ජීවිතයේ සිදු වූ හොඳම දෙය, ඇයව හමුවීමයි” – සුවාරෙස්

පාපන්දු රසිකයන්ට නම් “සුවාරෙස්” කියන නම එතරම් ආගන්තුක නමක් නෙවෙයි. ඔහු පාපන්දු ලොවේ…

මේ කාලය වන විට 22 හැවිරිදි වියේ පසු වූ මේ සුපිරි ගෝල රකින්නා පිළිබඳව පාපන්දු ලෝකයේ නම් දරා සිටි ක්‍රීඩා සමාජ කිහිපයක්ම දැඩි අවධානයෙන් පසුවිය. නමුත් විදේශීය ක්‍රීඩකයෙකු වෙනුවෙන් තබන ලද ඉහළම ලංසුව සමඟ එංගලන්තයේ Chelsea බලධාරීන් විසින් නැවත වරක් Rennais බලධාරීන් වෙත යෝජනා ඉදිරිපත් කිරීමත් සමඟ Petr Cech මුදා හැරීමට තීරණය විය.

“සිදු වූ දේවල් මත මා යම් කළ කිරීමකින් පසු වුනා. 2004/05 එංගලන්තය තරගවාරය මට අහිමි වුවහොත් තවත් වසර කිහිපයක්, නැතහොත් බලාපොරොත්තු පවා අතහැර දැමීමට සිදු වෙනවා. මොකද, සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයින් ගිවිසුම් ගත කරන්නේ අවමය වසර 4කට නිසා. ඒ නිසා ගොඩක් දුක්වුනා.

දිනක් London සිට මගේ කළමනාකරු Pavel Zika මා දුරකථනයෙන් අමතා අවස්ථාවක් ලැබුනහොත් Chelsea කණ්ඩායම සමඟ එක්වීමේ කැමැත්ත විමසනු ලැබුවා. නමුත් තීරණාත්මක සාධකය Rennais කණ්ඩායමේ බලධාරීන් බව මා ඔහුට මතක් කර දෙනු ලැබුවා. එම දුරකථන සංවාදය අවසානයේ දී මා මුදා හැරීමට ඔවුන් එකඟ වූ බව Pavel මට පැවසුවා.” යැයි එවකට Cech විසින් ප්‍රංශ මාධ්‍යය හමුවේ පවසා ඇත .

2004 වසරේ දී Chelsea කණ්ඩායම සමඟ එක්වන Petr Cech, එරට මාධ්‍යය විසින් ගෝල රකින්නෙකු සඳහා ක්‍රීඩා සමාජයක් විසින් Premier League ඉතිහාසයේ ගෙවනු ලබන විශාලතම මුදල ලෙස ප්‍රවෘත්ති පල කිරීම සහ තවත් බොහෝ සාධක සැලකිල්ලට ගෙන එරට පාපන්දු දූෂණ විමර්ශන ඒකකය විසින් ඔහු පිළිබඳව පරීක්ෂණයක් පවා සිදු කර ඇත. නමුත් අවසානයේ දී පරීක්ෂණ වාර්තාව එළි දක්වමින් පෙන්වා දී තිබුණේ නීති විරෝධී මුදල් ගණුදෙනුවක් සඳහා සාක්ෂි නොමැති හෙයින් පරීක්ෂණ කටයුතු අවසන් කරන බවයි.

Manchester United කණ්ඩායම සමඟ සිය මංගල තරගයට සහභාගී වූ Cech එහි දී ඔහුගේ වගකීම් මැනවින් ඉටු කරන ලදි. ගෝල 1-0ක් ලෙස Chelsea කණ්ඩායමට ජය ලබා දෙමින් සාර්ථක ආරම්භයකට මුල පිරූ Cech ඉන්පසුව කණ්ඩායමේ නිත්‍ය ගෝල රකින්නා බවට පත්විය. සිය උපරිම දස්කම් අතර සිටි Cech එතෙක් Premier League ඉතිහාසයේ ගෝල රකින්නෙකු විසින් තබා තිබූ වාර්තාව බිඳ හෙළමින් විනාඩි 1025ක කාලයක් තමන්ගේ ගෝලය ආරක්ෂා කර ගැනීමට සමත් විය. 2004/05 තරගවාරය අවසානයේ ඔහු දැක්වූ සුපිරි දස්කම් වෙනුවෙන් ඔහු ලෝකයේ හොඳම ගෝල රකින්නා බවට ද අභිෂේක ලබන ලදි.

අනතුරු සමඟ පොර බදමින්

2006 වසරේ උරහිස් ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය වන Chec මාස දෙකකට පසු නැවත Chelsea සංචිතය හා එක්ව ඇත. 2006 වසරින් පසුව Petr Cech නම් වූ මේ අද්විතීය ක්‍රීඩකයාට තම ක්‍රීඩා දිවියේ අවාසනාවන්තම ආබාධ දෙකට මුහුණ පෑමට සිදුව ඇත්තේ ඉන්පසුවයි.

දෙවසරක එංගලන්ත Premier League අත්දැකීම් පමණක් ලද 24 වැනි වියේ පසු වූ Cech 2006 ඔක්තෝබර් 14 වැනිදා Reading කණ්ඩායම සමඟ පැවති තරගයක දී පා පහරක් හිසට එල්ල වීම හේතුවෙන් මාරාන්තික ආබාධයකට ලක්විය.

“ඒ සිදුවීම ගැන මට මතකයක් නැහැ. උපතින්ම මගේ හිස් කබල එතරම් ශක්තිමත්ව තිබුණේ නෑ. ඒ නිසා එම සිදුවීම මට ගොඩක් බලපෑවා. හිස් කබල බිඳී ගොස් තිබෙනවා. කුඩා ප්‍රමාණයේ කොටස් මොළයට තෙරපුමක් ඇති කළ නිසා මොළයේ ඉතාමත් අවදානම් ශල්‍යකර්මයක් පවා සිදු කළා. සාර්ථක ශල්‍යකර්මයකට පසුව යකඩ තහඩු සවි කොට නැවත යථාතත්වයට පත් කොට තිබෙනවා.” යැයි Cech පවසා තිබුණි.

දෙසතිකට පසු නැවත නිවසට පැමිණි Petr Cech සඳහා මාස 3කට ආසන්න කාලයක් ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටීමට සිදු විය. 2007 ජනවාරි 20 වැනි දින නැවතත් Chelsea කණ්ඩායම හා එක්වන Petr Cech සඳහා නවසීලන්තයේ රග්බි ක්‍රීඩකයින් හට නිෂ්පාදනය කරන ලද ADIDAS ලාංඡනය සහිත විශේෂ හිවැස්මක් Chelsea බලධාරීන් විසින් ගෙන්වා දෙන ලදි.

Czech Republic ජාතික කණ්ඩායම සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන PUMA ආයතනය මෙයට දැඩි විරුද්ධත්වයක් දැක්වූ අතර පසුව ඔවුන් විසින් Cech හට විශේෂිත හිස් ආවරණයක් ලබා දීමෙන් පසු මෙම මතභේදය සමථයකට පත්විය.

බිහිසුණු දෙවන ආබාධයට ඔහු ලක්වන්නේ 2008 වසරේ පුහුණුවීම් අතරතුර සිය සඟයෙකු හා ගැටීම හරහායි. ඔහුගේ නිකට ආශ්‍රිත ප්‍රදේශයේ ශල්‍යකර්මයක් කිරීමෙන් පසුව මැහුම් 50ක් ද දමනු ලබන අතර ඉන්පසුව Cech හට Chelsea ක්‍රීඩා සමාජය විසින් නිකට ආවරණය වෙන පරිදි විශේෂ ආවරණයක් ද ගෙන්වන ලදි.

ජයග්‍රහණවල පෙර ගමන්කරු

Petr Cech විසින් වසර 11ක කාලයක් තුළ Chelsea කණ්ඩායම දිනා ගත් ශූරතා කිහිපයකම කොටස්කරුවා බවට පත්වන්නට වාසනාව හිමි විය.

Premier League ශූරතාව (04), UEFA Europa League ශූරතාව (01), FA Cup ශූරතාව (05), UEFA Champions League ශූරතාව (01), League ශූරතාව (03) සහ FA Community Shield ශූරතාව (03) සඳහා ඔහු සිය දායකත්වය සපයා ඇත.

2015 වසරේ Arsenal කණ්ඩායම සමඟ එක්වන Petr Cech මේ වන විට සිය සමුගැනීම ප්‍රකාශයට පත් කොට අවසන් අතර මෙම තරගවාරය ඔහු ක්‍රීඩා කරන අවසාන තරග කිහිපය වනු ඇත.

2003 වසරේ Martina Cech හා යුග දිවියට පිවිස මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකු වන මේ විශිෂ්ට ක්‍රීඩකයා එදා මෙදා තුර එංගලන්ත Premier League තරග ඉතිහාසයේ වාර්තා කිහිපයකටම හිමිකම් කියන අපූරු චරිතයකි.

සිය පාපන්දු දිවියේ ගෝල රකින්නෙකු ලෙස තරග 1128කට ක්‍රීඩා කර ඇති Petr Cechගේ අනාගතයට ශ්‍රී ලාංකීය පාපන්දුලෝලීන් වෙනුවෙන් ThePapare.com උණුසුම් සුබ පැතුම්.

Petr Cech විසින් දිනා ඇති සම්මාන

  • 2004 – Best Goalkeeper of French League
  • 2005 – IFFHS World’s Best Goalkeeper
  • 2005, 2010, 2014, 2016 – Premier League Golden Glove
  • 2007 – Premier League Player of the Month
  • 2005, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2015, 2016 – Czech Footballer of the Year
  • 2005, 2006, 2007, 2008, 2010, 2011, 2012, 2013, 2014, 2016, 2017 – Czech Golden Ball
  • 2005, 2007 – UEFA Club Football Awards Best Goalkeeper
  • 2005, 2007, 2008 – UEFA Club Football Awards

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<