ක්‍රීඩා ඇමතිතුමාට 7 වන ශ්‍රේණියේ කළු පටියක්

742

පසුගිය දා කොරියන් රජයේ ආරාධනය අනුව තෙදින නිල සංචාරයකට සහභාගී වූ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා හා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති මහාචාර්ය චෞවු චුංවොන් මහතා අතර විශේෂ හමුවක් සිදු විය.

මෙරට ටයිකොන්ඩෝ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය තාක්ෂණික හා පුහුණු සහාය ලබා දීමට එහි දී සාකච්ඡා විය. ඒ අනුව කොරියානු ජාතික ටයිකොන්ඩෝ පුහුණුකරුවන්, නිල ඇදුම්, ක්‍රීඩා උපකරණ ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීමට මෙන්ම, ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් කොරියාවට ගෙන්වා පුහුණුව ලබා දීමටත් එකඟතාව පල විය. තව ද ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ක්‍රීඩා විද්‍යා උපාධි විෂය නිර්දේශයට ටයිකොන්ඩෝ ක්‍රීඩාව ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙතින් ඉල්ලීමක් ද කර සිටියේය.

මීට අමතරව කුකිවොන් (kukkiwon) ටයිකොන්ඩෝ මූලස්ථානයේ දී එහි සභාපති ඕ හයන් ඩියුක් (Oh Hyun-deuk) මහතා ද හමු වූ අතර දැනටමත් එම මූලස්ථානය මගින් පුහුණුකරුවන් ලංකාවට ලබා දී තිබීම පිළිබදව කෘතඥතාවය ප්‍රකාශ කළ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, 2018 වර්ෂයේ දී ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී කර වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට එරට පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලීමක් ද සිදු කරන ලදි.

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කුකිවොන් (kukkiwon) ටයිකොන්ඩෝ මූලස්ථානය විසින් 7 වන ශ්‍රේණියේ ටයිකොන්ඩෝ ගෞරව කළු පටියක් ප්‍රදානය කිරීම සිදු විය. එම මූලස්ථානය විසින් කිසියම් රාජ්‍යයක ක්‍රීඩා අමාත්‍යවරයකුට ප්‍රදානය කරනු ලබන ගෞරව කළු පටිහි උපරිම ශ්‍රේණිය 6 වන අතර දයාසිරි ජයසෙකර මහතා වූෂු ක්‍රීඩාව ඇතුළු තවත් ආත්මාරක්ෂක සටන් ක්‍රම හදාරමින් පෙන්වා ඇති දක්ෂතා හේතුවෙන් පැවති එන සම්ප්‍රදාය ඉක්මවා 7 වන ශ්‍රේණියේ කළු පටියක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමයේ සභාපති කංචන ජයරත්න මහතා ද සහභාගී විය.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට