ආදරවන්තයන්ගේ කෝඩුකාර වීරයා “දිලුම් සුධීර”

502

දිලුම් සුධීර ගාලු ආදරවන්තයන්ගේ 113 වැනි වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමට සහභාගී වෙන්නේ කෝඩුකාරයෙක් ලෙසිනි. දක්ෂයන් රැසකගෙන් සමන්විත රිච්මන්ඩ් කණ්ඩායමේ දිලුම්ට අසුනක් හිමිවෙන්නේ වමත් දඟපන්දු යවන්නෙක් සහ මැද පෙළ පිතිකරුවෙක් ලෙසිනි. එය කෝඩුකාරයෙක් ලෙසින් ඔහු ලැබූ පළමු ජයග්‍රහණය වන්නේ ය.

ඔහුගේ තෝරා ගැනීම සර්ව සාධාරණීය කරමින් දිලුම් ආදරවන්තයන්ගේ සටනේ තරගයේ වීරයා සම්මානය දිනා ගන්නේ ය. ThePapare.com මේ සටහන් තබන්නේ දිලුම්ගේ ඒ ගමනේ සුවිශේෂී අවස්ථාවන් සමඟ සමීප වෙමිනි.

සුනිල සංග්‍රාමයේ කඩුල්ල පිටුපස සිටි පෙරළිකාරයා ” සොහාන් “

ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිටියේ අහුමුලු සිසාරා හමා යන සුළඟක් වූ ThePapare.com පාසල් ක්‍රිකට් පිටිය …

“මට අවශ්‍ය වුනේ කණ්ඩායම වෙනුවෙන් ඉතාම හොඳ දෙයක් කරන්න. ඇත්තටම සතුටුයි. අනෙක් සහෝදර ක්‍රීඩකයන් සෑම කෙනෙක්ගෙන්ම මට ඉතා සහයෝගයක් ලැබුණා. රිච්මන්ඩ් විද්‍යාලයට ඇවිත් අවුරුද්දක්වත් නැති නිසා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් බොහෝ දෙනෙක් මාව දැනගෙන හිටියෙ නැහැ. නමුත් ඔවුන් සෑම දෙනෙක්ම මගේ දක්ෂතා අගය කළා. ඇතැම් අය ඇවිත් මාත් සමඟ කතා කළා. සුබ පැතුවා. බිග් මැච් එකෙන් පස්සෙ රිච්මන්ඩ්වරුන් බොහෝ දෙනෙක් හඳුනා ගැනීමට මට අවස්ථාව ලැබුණා. ඒ ගැන තිබෙන්නේ කිව නොහැකි තරමේ සතුටක්.” දිලුම් පැවසුවේය.

ආදරවන්තයන්ගේ සටනේ දිලුම් සුධීරගේ පන්දු යැවීමේ දක්ෂතාව වන්නේ ලකුණු 29කට කඩුලු 5කි. පිතිකරුවෙක් ලෙසින් පළමු ඉනිමේ ලකුණු 25ක් ද, දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 16ක් ද ලබා ගන්නේය. මේ දක්ෂතා වෙනුවෙන් තරගයේ වීරයා සම්මානයෙන් ඔහුව පුදනු ලැබූවද, කාගේත් අවධානය යොමු වූයේ ඔහුගේ පන්දු යැවීමේ ඉනිම දෙස ය.

“බිග් මැච් එකක් කියන හැඟීම මට මුල සිටම තිබුණේ නැහැ. මගේ සිතේ තිබුණේ මොනවද මම කණ්ඩායම වෙනුවෙන් කරන්නේ කියන හැඟීමයි. අපේ පළමු ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වුනා. ඒ නිසා අපිට අවශ්‍ය වුනේ ප්‍රතිවාදී ඉනිම ද අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරමින් අඩපණ කරන්න. ඒ වෙනුවෙන් හැකි සෑම උත්සාහයකම නිරත වෙනවා කියන හැඟීම අපි කා තුළත් තිබුණා.” දිලුම් තම වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ ජයග්‍රාහී ඉනිම සිහිපත් කළේය.

දිලුම් වමතින් දඟපන්දු යවමින් එක් අන්තයක් සම්පූර්ණයෙන්ම තම ග්‍රහණයට ගනිද්දී, අනෙක් අන්තයෙන් දකුණතින් පිට දඟපන්දු යැවූ සඳුන් මෙන්ඩිස් ලකුණු 38කට කඩුලු 5ක් දවා ගන්නේය. එය තරගයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයට හිමිකම් කීවේය.

“සඳුන් මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඔහු එක් පැත්තක් සම්පූර්ණයෙන්ම ආවරණය කරද්දී මට අනෙක් පැත්ත ආවරණය කරන්න ඉතා පහසුවක් වුනා. අනෙක් අතට අපි දෙන්නා කෙරෙහි කණ්ඩායමේ සෑම දෙනෙක්ම තැබූ විශ්වාසය අපේ දක්ෂතා උපරිමයකට ගේන්න අපිට හැකි වුනා.”

දිලුම් රිච්මන්ඩ්වරයෙක් වෙන්නේ 2017.05.12 වැනි දින ය. ඒ තවත් පාසල් කිහිපයකින්ම ලැබූ ආරාධනාවන් අතරින් වැඩි කැමැත්ත අනුව ය.

රිච්මන්ඩ්වරුන් ආදරවන්තයන්ගේ සීමිත පන්දුවාර තරගය ජය ගනී

ගාලු ආදරවන්තයන්ගේ වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (24) ගාල්ල ජාත්‍යන්තර …

“රිච්මන්ඩ් විද්‍යාලය තෝරා ගැනීමට විශේෂම හේතුව වුනේ මට මගේ දක්ෂතා අනුව සුදුසුම ස්ථානය මෙතැන කියල හිතුණ සිතුවිල්ල. අනෙක් එක මට ගෙදර සිට ඉතා පහසුවෙන් යන්න පුළුවන්. කොහොමටත් කොළඹ තදබදයට මගේ එතරම් කැමැත්තක් නැහැ. රිච්මන්ඩ් එකට ගියපු මුල් දවස් කිහිපයේ නම් ටිකක් තනිකමක් දැණුනා. නමුත් ඒක ක්‍රිකට් පුහුණුවට යොමු වීමත් සමඟ නැති වුනා. අනිත් එක ඔවුන් මා කෙරෙහි තැබූ විශ්වාසයත් මට විශාල ශක්තියක් වුනා.”

රිච්මන්ඩ් බිමට පා තබන දිලුම් එහි වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරමින් තරග 10ක දී කඩුලු 19ක් ලබා ගන්නේය. එය රිච්මන්ඩ් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභී ලැයිස්තුවේ පළමු තැන ය. අනතුරුව වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ තරගාවලියට සහභාගී වෙන දිලුම් නිමා වූ තරග වසරේ දී කඩුලු 67ක් ලබා ගන්නේය. එතැනින් නතර නොවන ඔහු පිතිකරුවෙක් ලෙසින් ලකුණු 527ක් රැස් කිරීමට ද සමත් වෙන්නේය.

වර්තමානයේ රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් තම දක්ෂතා පිදූව ද දිලුම්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වෙන්නේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙනි. “මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවුණේ අපේ පවුලේ සහෝදරයෙක් වූ දිනේෂ් කුමාර අයියා නිසා. ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරනවා දැකල තමයි මම මේ සඳහා යොමු වුනේ. ක්‍රිකට් ක්‍රීඩාවේ මුල්ම පුහුණුකරු වුනෙත් ඔහු.” දිලුම් තම අතීතය සිහිපත් කළේය.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ආරම්භ වෙන දිලුම්ගේ ක්‍රිකට් ගමනේ සංධිස්ථාන බොහෝ ය. ක්‍රීඩා කළ සෑම වසරක දී ම පිටියේ පෙරළියක් කිරීමට ඔහු සමත් වෙන්නේය.

දිනේෂ් කුමාරගේ පුහුණුකාරිත්වයෙන් ඇරඹෙන දිලුම්ගේ ක්‍රිකට් ගමන, වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ දී අජන්ත කුමාර යටතට පත් වෙන්නේය. එම වසරේ දී ඔහු ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායමේ නායකත්වයට ද පත් වෙන්නේය. එතැනින් පසුව දකුණු පළාත් වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ උප නායකත්වයට පත් වෙන දිලුම් එම තරගාවලියේ තරග 5කට සහභාගී වෙමින් කඩුලු 16ක් ලබා ගන්නේ තරගාවලියේ වැඩිම කඩුලු ලබාගත් අය අතුරින් ප්‍රමුඛයා වෙමිනි.

එම වසරේ දී මැලේසියාවේ පැවැත්වෙන තුන්කු ජෆාර් කුසලාන ආරාධිත ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ද දිලුම් වරම් ලබන්නේය.

“දිනේෂ් කුමාර සර්ගෙන් පස්සේ මගේ දක්ෂතා මේ තරමින් ගොනු කළේ අජන්ත කුමාර සර්. ඔහු මගේ ක්‍රිකට් දිවියේ විශාල පරිවර්තනයක් කළා. මම මහන්සි වෙනවටත් වඩා ඔහු මා වෙනුවෙන් මහන්සි වුනා. පන්දු යැවීමේ දී ප්‍රතිවාදීන් මෙල්ල කරන පන්දු යවන්නෙක් වීමේ මග කියා දුන්නේ ඔහු.”

රිච්මන්ඩ්වරුන් ආදරවන්තයන්ගේ තෑගි මේසයම රැගෙන යති

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන 113 වැනි ආදරවන්තයන්ගේ වාර්ෂික …

දිලුම්ට වයස අවුරුදු 16ක් වෙද්දී වයස අවුරුදු 19න් පහළ දකුණු පළාත් කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ගැනීමට  සමත් වන්නේය. ඒ අනුව සහභාගී වූ තරගාවලියේ දී තරග 5ක දී කඩුලු 29ක් ලබා ගැනීමට ඔහු සමත් විය. ඒ එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමිනි.

ඉන් නොනවතින් දිලුම් කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් සහභාගී වූ අවසන් වසරේ දී වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් කඩුලු 112ක් ලබා ගන්නේය. ලබා ගත් ලකුණු සංඛ්‍යාව 526කි.

එම දක්ෂතා අනුව දිලුම් එම වසරේ වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ හොඳම පන්දු යවන්නා සම්මානයෙන් ද, තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතුරින් අනුශූරතාව ද දිනා ගන්නේය. ඊට පෙර වසරේ දී ද එම සම්මානවලින් පිදුම් ලැබීමට ද දිලුම් සමත්ව සිටියේය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලිය අවුරුදු 3ක් ක්‍රීඩා කළ දිලුම් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 350 ඉක්මවා ඇත. දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ එතෙක් මෙතක් පන්දු යවන්නෙක් ලබා ඇති වැඩිම කඩුලු සංඛ්‍යාවේ හිමිකාරිත්වය ඒ අනුව දිලුම්ට හිමිවනු නොඅනුමාන ය.

මේ දක්ෂතා ද සැලකිල්ලට ගනිමින් පසුගිය වසරේ දී ඩයලොග් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ දී 2016/17 වසරේ නැගී එන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ද පිදුම් ලැබීමට දිලුම් සමත් වන්නේය.

 “එකම වසරක දී සම්මාන තුනක් හිමි වීම ගැන ඇත්තේ පුදුම සතුටක්. ඒ වගේම වසර දෙකක් දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලැබීම ගැන ද ඇත්තේ සතුටක්. මගේ දක්ෂතාවලට ඇතැම් තරගාවලිවල දී මට ලැබිය යුතු සම්මාන ලැබුණේ නැහැ. ඒ සම්මාන ලැබුණේ වෙනත් අයට. ඒ මම ඔවුන්ට වඩා දක්ෂතා දැක්වූ අවස්ථාවල. ඒ සම්බන්ධයෙන් කනගාටුවක් තිබුනත්, සම්මානයකට වඩා මට මගේ දක්ෂතා ගැන විශ්වාසයක් තිබුණා. ඒ වෙනුවෙන් කැප වුනා. මේ ඇගයීම ලැබුණේ මගේ ඒ උත්සාහයට. මේ පිටුපස්සේ සිටි දැවැන්ත සෙවණැල්ල අජන්ත කුමාර සර්. ඒ වගේම සම්මාන ලැබීමට තරම් මගේ දක්ෂතා ගොනු වෙද්දී කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සියලුම ක්‍රීඩකයන් මා වෙත දැක්වූ සහයෝගය ඉතා සුවිශේෂී වුනා.” දිලුම් තම ක්‍රිකට් අතීතයේ වැදගත්ම අවස්ථාව සිහිපත් කළේ එලෙසිනි.

පසන් පෙතන්ගොඩ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන ආදරවන්තයන්ගේ 113 වැනි වාර්ෂික …

දිලුම්ගේ ක්‍රිකට් ක්‍රීඩාව මල් ඇතිරූ මාවතක ගිය ගමනක් නොවෙන බැව් ද මේ සටහනට ඇතුලත් කළ යුතුම වෙයි. ක්‍රීඩාවට පිවිසි මුල අවදියේ සිටම මේ දක්වා ද දිලුම්ගේ ක්‍රිකට් දක්ෂතා අභිබවා අග-හිඟකම් ඉදිරියට පැමිණි අවස්ථා ද වෙයි. කම්කරුවෙක් ලෙසින් ජීවිකාව ගෙන යන පියාගෙන් ලැබෙන දායකත්වය ගෙදර දොර අග-හිඟකම් වෙනුවෙන් වැය වෙද්දී දිලුම්ගේ ක්‍රිකට් දිවියට කණකොකා හැඬ වුණ වාර අපමණ ය. එහෙත් ක්‍රිකට් වෙනුවෙන් වන දිලුම්ගේ අතිශය කැමැත්ත සේ ම කැපවීම ද ඒ සියල්ල යටපත් කිරීමට සමත් වෙන්නේය. මේ අවදියේ තම එකම සොයුරු යුද හමුදා සේවයට එක් වීම ද දිලුම්ට යම් සහනයක් වෙන්නේය.

ඒ ආකාරයෙන් ගෙදර දොර අවශ්‍යතාවන් ද දිලුම්ගේ ක්‍රිකට් දිවිය ද පෝෂණ කරමින් ගෙවීය යන කාලය මේ වන විට පෝෂණය වන්නේ තම ආදරණීය මව විදෙස් ගත වීමෙන් ලැබෙන ආදායමෙනි. ඇය රටකට යන්නේ ද දිලුම්ගේ ක්‍රිකට් ආශාවට තිත තැබිය නොහැකි බැවිනි.

“රිච්මන්ඩ් එකට පැමිණි දා සිටම පුහුණුකරු ධම්මික සුදර්ශන සර් සහ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරන ප්‍රේම් ලක්මාල් කළුදේව සර් දක්වන සහයෝගය ඉතා විශාලයි. ඔවුන් මට නවකයෙක් ලෙසින් කිසිදාක සැලකුවේ නැහැ. ඔවුන් මා වෙනුවෙන් සෑම අවස්ථාවක දී ම සොයා බලමින් කටයුතු කරනවා. ඒ වගේම විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන් ද, ආදි සිසුන්, ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් සහ රිච්මන්ඩ් කණ්ඩායමේ සෑම කෙනෙක්මත් මගේ ක්‍රිකට් දිවියට විශාල ශක්තියක්.“ දිලුම් ගෞරවයෙන් යුතුව සිහිපත් කළේය.

“අඩු-පාඩු මගේ ගමනට කවදාවත් මම බාධාවක් කර ගත්තෙ නැහැ. මම ක්‍රිකට් වෙනුවෙන් එදා කළ කැපවීම ම අදටත් දක්වනවා. ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි මුල් කාලයේ මම කෙටි දුර ධාවකයෙක් ලෙසින් ද දක්ෂතා දැක්වූවා. පළාත් තරගවලට පවා සහභාගී වුනා. ඒ සියල්ල අභිබවා මම දැන් මගේ සම්පූර්ණ කාලයම ගත කරන්නේ ක්‍රිකට් වෙනුවෙන්. මේ දක්ෂතාත් සමඟින් ක්‍රිකට් පිටියේ දුර ගමනක් යෑම මගේ එකම ආසාවයි. මේ බලාපොරොත්තුව වෙනුවෙන් හෙට දවසේදීත් මම මේ කැපවීම ම කරනවා. මේ වෙනුවෙන් යන ගමනේ දී මා වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සෑම කෙනෙක් ම හෙට දවසේදීත් මාත් සමඟින් සිටිනවා කියන විශ්වාසය මා තුළ තිබෙනවා.” දිලුම් පවසන්නේ බලාපොරොත්තු පෙරදැරිව ය.

ඔහුගේ ඒ ගමනේ දී ThePapare.com ද ඔහු සමඟින් සිටිමින් ඔහුගේ දක්ෂතා එකින් එක මේ වෙබ් පිටුවේ සටහන් තැබීමට බලාපොරොත්තු වන්නේ තවත් එක් අංකුර ක්‍රීඩකයෙක්ගේ දක්ෂතා හඳුන්වා දුන් වෙබ් අවකාශයේ පළමුවැන්නා වීමේ ගෞරවය ද සමඟිනි.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<