මහ සයුර තරණය කළ සිරියානු දිය කිඳුරිය – යුස්රා මර්දිනි

997

ඇතිවීම හා නැතිවීම යන කරුණු මිල මුදල මත පමණක් නොව තම රටේ පාලකයන්ගේ නොමනා ක්‍රියා කලාපය නිසාද සිදුවිය හැක. නමුත් තමන්ට කුමන කරදර පැමිණියත් තම දක්ෂතාවය යටපත් නොකර හීන පස්සේ දුවන අය සිටින්නේ ඉතාමත් අතලොස්සකි. මේ ලිපිය ලියවෙන්නේ ඒ වගේ තමන්ගේ ජිවිතේ අහිමිවීම් විතරක්ම තිබුනු පුංචි ගැහැණු ළමයෙකු හීන පස්සේ දුවලා තමන්ගේ ඉලක්කයට ළඟා වීම පිළිබඳවයි.

යලි නොඑන්නට පැමිණි මියුනික් ගමන

ලෝක සාමය සහ ජාතීන් අතර එකමුතුකම ……….


යුද්ධය ලෝකයට හිසරදයකි. යුද්ධය නිසා ජනතාවට බොහෝ දේ නැති වේ. තමන්ගේ ජීවිතය, දෙමව්පියන්, ගේ දොර පමණක් නොව තමන්ගේ හැකියාවන්ද යුද්ධය නිසා අහිමි විය හැක. මේ වනවිට යුද්ධයෙන් වැඩියෙන්ම බැට කන්නේ සිරියානුවන් ය. එම නිසා සිරියාවෙන් පලායන සිරියානු වැසියන් බොහෝය. එලෙස සිරියාව දමා යාමට තීරණය කළ එක් ගැහැණු ළමයෙකි යුස්රා මර්දිනි. ඇය අති දක්ෂ පිහිනුම් ක්‍රීඩිකාවකි. සිරියාව තුළ ඇයගේ දක්ෂතාවයට ලොකු ඉඩක් නොලැබීම යම්තාක් දුරට සාධාරණ වූ කාරණයකි. මක්නිසාද යත් එම රට තුළ ඇවිලෙමින් තිබුනේ යුද්ධයයි. තම දක්ෂතාවයට නොව ජීවිතයටද අවදානමක් ඇතිවී තිබූ නිසා ඇය තම රටින් පලායාමට අදහස් කරන නමුත් තමන්ගේ හීනයන්ද ඒ ගෙන යන මල්ලට දමා ගැනීමට ඇය අමතක නොකරයි.

ඇය සිරියාව අතහැර දමා ග්‍රීසියට පැමිණීමට තීරණය කරන්නේ 2015 වසරේ අගෝස්තු මාසයේ දීය. තමන්ගේ නැගණිය සාරාවත් එක්කර ගෙන සිරියාවේ ඩැමස්කස් නගරයේ සිට ලෙබනනයේ බීරූට් නගරයට එන යුස්රා එතැන් සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර හරහා ඉෂ්මීර් නගරයට එන්න වාසනාවන්ත විය. ඉෂ්මීර් නගරයේදී යුස්රා තම පුංචි නැගණිය සහ තවත් 20 දෙනෙකු සමඟ ඩිංගි බෝට්ටුවකට නගින්නේ ග්‍රීසියට පය තබන බලාපොරොත්තුවෙනි. ඩිංගි බෝට්ටුවෙන් මුහුද තරණය කිරීමට තරම් යුස්රාගේ සිත කොපමණ ශක්තිමත්ද කීමට උදාහරණයක් සොයාගැනීමට අපොහොසත් වූ මා ඇයගේ ත්‍රාසජනක කතාන්දරයේ ඉතිරියත් මෙසේ කියන්නම්.



යුස්රා ඇතුළු පිරිස රැගත් බෝට්ටුවට කිසිඳු කරදරයක් නොවී ඉදිරියට ඇදෙන්නට ලැබුනේ පැය බාගයක් වැනි සුළු වෙලාවකි. හදිසියේ බෝට්ටුවේ එන්ජිම ඇණහිටින අතර 20 දෙනෙකුගේ බලාපොරොත්තු එක් සුළන් පහරකින් කණපිට පෙරලෙන්නට ඉඩ තිබුනි. තමන්ගේ හීන අතහැරීමට තරම් මේ සිරියානුවෝ අධෛර්යවන්ත නොවූහ. යුස්රා පිහිනුම් ශූරියකි. ඇගේ සොයුරිය සාරාට මෙන්ම බෝට්ටුවේ ගිය තවත් එක් කාන්තාවකටද පිහිනීමට හැකියාවක් තිබිනි. තමන් තනි තනිව ජීවිතය ගලවා ගන්නවා වෙනුවට මුහුද මැද නතර වූ බෝට්ටුවත් ඇදගෙන ග්‍රීසිය කරා පිහිනන්නට මොවුන් තීරණය කරයි. එක් අතකින් බෝට්ටුවට ගැට ගැසූ ලණු පටක් අල්ලාගෙන අනෙක් අතෙන් මුහුදු රළට එරෙහිව සටන් කරමින් පැය තුනක පමණ කාලයක් පිහිනන ඔවුන් බෝට්ටුවේ සිටි සියලු දෙනාගේම ජීවිත බේරා ගනිමින් ග්‍රීසියට අයත් ලෙස්බෝස් (Lesbos) නම් දූපතට පය තැබීමට සමත් විය.  



ඉන්පසුව ඔවුන් යුරෝපය හරහා ජර්මනියට පැමිණීමට සමත් විය. 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී ජර්මනියේ බර්ලින් නුවර පදිංචි වන ඔවුන්ට පසුව සිරියාවෙන් පලා ආ ඔවුන්ගේ දෙමව්පියන්ද එක්විය. යුස්රා තම හැකියාවන්ද රැගෙන පැමිණි මේ ගමනේ  ජර්මනියට පැමිණි පසුව බර්ලින් නගරයේ පිහිටි “Wasserfreunde Spandau 04” නම් වූ පිහිණුම් සමාජය හා සම්බන්ධ විය. එහිදී ඇය Sven Spannenkrebs නම් පුහුණුකරු යටතේ නැවත සිය පුහුණුවීම් අරඹන්නේ ඔලිම්පික් උළෙලකට සහභාගී වීමේ තම සිහිනය සැබෑ කරගැනීමේ අරමුණින්ය.

අහම්බෙන් මුණගැසුණු මලල ක්‍රීඩාවෙන් ලෝකයට ගිය සුනිල් ගුණවර්ධන

පුංචි කාලේ නොහික්මුණ, දඟකාරයන් කොපමණ ………..

මේ වනවිට බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් ප්‍රථම වරට දේශ සීමා නොමැතිව අවතැන් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කරන්නට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබිනි. ඒ යුද්ධයෙන් පීඩාවට පත්ව තම උපන් බිම් අත්හැර නාඳුනන භූමීන් කරා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහින සැබෑ කරගැනීමට අවස්ථාවක් ලබාදීම සඳහා ය.

දක්ෂතාවය සහ වාසනාව මත යුස්රා හට 2016 වසරේ බ්‍රසීලයේ පැවති ඔලිම්පික් උළෙලේදී ක්‍රීඩා කිරීමේ වරම් හිමි වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් සමන්විත වූ “සරණාගත ඔලිම්පික් කණ්ඩායම” ට (Refugee Olympic Team) තේරී පත්වීමත් සමඟය. ඒ මීටර් 100 නිදහස් ආර සහ මීටර් 200 සමනල ආර යන පිහිනුම් ඉසව් නියෝජනය කිරීමටය.

එහිදී ඇය මීටර 100 නිදහස් ආර ඉසව්වේදී මිනිත්තු 1:04.66 ක දක්ෂතාවයක් පෙන්නුම් කර 45 වන ස්ථානය හිමිකර ගත් අතර මීටර් 200 සමනල ආර ඉසව්වෙන් මිනිත්තු 1:09.21 ක දක්ෂතාවයක් පෙන්වා එම ඉසව්වේ 41 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

ජීවිතයේ “නොලැබීම්” වචනයකට පමණක් සීමා කළ යුස්රා මර්දිනි ලොව වසන සමස්ත සරණාගත පිරිසට මෙන්ම තම හැකියාවන්ගෙන් ප්‍රයෝජන නොගෙන තම සිහින අතහැර දමා සිටින්නන්ටද ආදර්ශයකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<