ප්‍රතික්ෂේප කිරීම්වල සිට ගරු බුහුමන් ලැබීම දක්වා

83

ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරගය වැස්සට සේදී ගිය ද එය දෙරටෙහි ක්‍රිකට් බලාපොරොත්තුවලට නව මානයක් එක් කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය ද සිල්වා එක් කළ ශතකය මෙන්ම පාකිස්තානය වෙනුවෙන් බාබර් අසාම් හා අබීඩ් අලී එක් කළ ශතකය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණි. වසර කීපයක උත්සාහයකින් අනතුරුව පාකිස්තාන කණ්ඩායමට ඇතුළත් වූ අබීඩ්, එම තීරණයට උපරිම සාධාරණය ඉටු කිරීමට සමත් විය. 

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පාකිස්තානයට දීර්ඝ ක්‍රිකට් විරාමයක් හිමි වූ අතර එය නිමා කරමින් මෙම ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලිය පැවැත්වේ. 

වසර 10කට පසුව පාකිස්තානයට ගෙන ආ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු තරගය සඳහා වර්ෂාව දැඩි බාධාවක් විය. කෙසේ වෙතත් පාකිස්තානයේ ටෙස්ට් බලාපොරොත්තු ඉහල නැංවීමට අබීඩ් අලීගේ මෙම ශතකය උපකාරී වනු නොඅනුමානය. 

මෙම වසරේ මාර්තු මාසයේ දී තම පළමු එක්දින තරගය සඳහා සහභාගි වූ අබීඩ් අලී එහි දී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ලකුණු 112ක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව අබීඩ් අලී මංගල ජාත්‍යන්තර එක්දින තරගයක දී හා ටෙස්ට් තරගයක දී ශතකයක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්විය. 

අබීඩ් අලී 32 හැවිරිදි වන අතර ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමි වන්නේ මෙම වසරේ දී වීම විශේෂත්වයකි. ලාහෝරය තම උපන් ගම කර ගත් අබීඩ් අවස්ථා කීපයක දී ම පාකිස්තාන ජාතික කණ්ඩායමට එක්වීමට ප්‍රමාණවත් දක්ෂතා දැක්වූවද ඔහුට කණ්ඩායමට ඇතුළත් වීමට නොහැකි විය. 

ඔහු තේරීම් කමිටුවට ප්‍රතිචාර දැක්වූයේ 2012-2013 තරග වාරයේ දී ලකුණු 1083ක් වාර්තා කරමිනි. නමුත් එරට තේරීම් කමිටුව අබීඩ් අලී ප්‍රතික්ෂේප කළේ ඔහු තරමක් තරබාරු බවත්, ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ප්‍රමාණවත් නොවන බවත් පවසමිනි. 

අබීඩ් හට එල්ල වූ මේ අසාධාරණයේ තවත් අවස්ථාවක් ලෙස මෙම වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ඔහුට තම ස්ථානය අහිමි වීම දැක්විය හැක. එයට හේතුව වී තිබුණේ ඔහු එංගලන්තය හමුවේ ලකුණු 5කට දැවී යාමයි. 

ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් වීමත් සමඟින් අබීඩ්ට තම ක්‍රිකට් වීරයා වන සචින් තෙන්දුල්කාර් හමුවීමේ අවස්ථාවත් මඟහැරී ගියේය. 

“මට මගේ අවස්ථාවන් මඟහැරීම ගැන මම කාටවත් චෝදනා කරන්න ගියේ නෑ. මට තෙන්දුල්කාර් මුණගැසෙන්න තිබුණ අවස්ථාව නැති වුනා මට ලෝක කුසලානයට යන්න බැරි වුන නිසා. මම ගොඩක් ඉවසීමෙන් කටයුතු කළා. මම විස්වාස කළා මට අවස්ථාවක් ඒවි කියලා. එතකොට මම මට කරන්න පුළුවන් දේ කරලා පෙන්වන්න හිතා ගත්තා.”

පසුගිය සැප්තැම්බර් මස පැවති පාකිස්තානයේ ප්‍රාන්ත තරගාවලියක් වන ක්වායිඩ් ඊ අසාම් කුසලාන තරගාවලියේ දී නොදැවී ලකුණු 249ක් වාර්තා කළ අබීඩ් පාකිස්තානයේ ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා එක්වීමට අවස්ථාව උදාකර ගත්තේය. නමුත් ඔහු එම තරග දෙක සඳහා ක්‍රීඩා කළේ නැත. 

අවසානයේ දී රාවල්පින්ඩි හි පැවති ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය සඳහා අබීඩ් කණ්ඩායමට ඇතුළත් විය. අවාසනාවන්ත ලෙස මෙම තරගය සඳහා වර්ෂාව දැඩි බාධාවක් එල්ල කළ අතර තරගයේ මුල් දින තුන තුල ක්‍රියාත්මක වී තිබුණේ පන්දුවාර 91.3ක් පමණි.

සිව්වැනි දිනය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු විය. පස්වැනි දිනයේ පාකිස්තාන කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව හිමි වූ අතර අබීඩ් තම මංගල ටෙස්ට් තරගයම අමතක නොවන එකක් බවට පත්කර ගැනීමට සමත් විය. 

“මම දැනගෙන හිටියා මට කවදාහරි අවස්ථාවක් එනවා කියලා. මම ඒකට සූදානම් වෙලා හිටියේ. මම පළමු තරගයේ දී ම ශතකයක් වාර්තා කළා. මංගල තරගයේ දී මීට වඩා මොනවද බලාපොරොත්තු වෙන්නේ. මම මේ දවස එනකම් ගොඩක් කාලයක් බලාගෙන හිටියා. දැන් ඒ අවස්ථාව ඇවිල්ලා තියනවා.”

අබීඩ් අලීට තෙන්දුල්කාර්ගේ උසට සමාන උසක් ඇති අතර ඔහුගේ යම් යම් පහරවල් තෙන්දුල්කාර්ට සමාන බව බොහෝ දෙනාගේ මතය වී ඇත. කෙසේ වෙතත් මෙම දක්ෂතාවයන් ඔහු අසමසම වන බව ලොවට කීමට සමත් විය. 

“මම සාමාන්‍ය ක්‍රීඩකයෙක්. මාව ඒ වගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන්ට සමාන කරන්න බෑ. මම අබීඩ් අලී. මාව අබීඩ් අලී විදිහට දකින්න. මම පොළොවේ ඉන්න ක්‍රීඩකයෙක්. මම කැමතියි පාකිස්තානය වෙනුවෙන් මට පුළුවන් උපරිමය කරන්න.”

“මම මගේ ක්‍රීඩාව දියුණු කරගන්න ඕන. මට ක්‍රීඩා කරන්න ලැබෙන හැම අවස්ථාවකින්ම මම ප්‍රයෝජනය ගන්න ඕන. මම විශ්වාස කරනවා ඒක මට පුළුවන් කියලා. මම මගේ වෙලාව එනකම් බලාගෙන හිටියා. මට අන්තිමේ දී ඒක ලැබුණා.”

AFP ඇසුරෙනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<