වයස අවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන්නන් බොහෝ දෙනෙකු නැත. නැතහොත් පාසල් කණ්ඩායමේ සිට ජාතික කණ්ඩායම වෙත පා තැබූ වේගපන්දු යවන්නන් ප්‍රමාණය අඩුය.

19 හැවිරිදි වියේ පසුවන ලහිරු කුමාර, මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිදුලන්නට මඟ බලන දීප්තිමත්ම තරුව වුවත් හොකී ක්‍රීඩකයෙකු වූ ඔහු ක්‍රිකට් ක්‍රීඩාව වෙත ආගමනය වූයේ පසුකාලීනවයි.

නුවර ශ්‍රී සුමන්ගල විද්‍යාලය වෙනුවෙන් හොකී ක්‍රීඩා කරමින් සිටි ඔහුව, 15න් පහල ක්‍රිකට් කණ්ඩායම වෙත බඳවා ගත් රන්ජිත් කොළඹගේ ඔහුව මැලේසියානු සංචාරයක් සඳහා ඉදිරිපත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳ උනන්දුවක් දක්වන්නන් සහ ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු සම්පත් පෙරේරාගේ අවධානය කුමාර වෙත යොමුවූයේ මැලේසියාවේදී ඔහු දැක්වූ දස්කම් වලින් පසුවය. මෙරට ප්‍රමුඛ පාසලක් වන ත්‍රිත්ව විද්‍යාලයට ඔහුට ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ ඒ අයුරිනි.

ත්‍රිත්ව විද්‍යාලීය දෙවන පෙළ කණ්ඩායම වෙනුවෙන් එක් තරඟයක් පමණක් ක්‍රීඩා කළ ඔහුට, කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ පැවැත්වෙන මහා ක්‍රිකට් තරඟය නියෝජනය කිරීමේ වරමද හිමිවිය. කුමාර එතැන් සිට පියවරක් හෝ පසුපසට නොගියේය.

පසුගිය එංගලන්ත සංචාරයට එක්වූ 19න් පහල ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ කුමාර, එහිදී කඩුළු 11ක් දවාගනිමින් නෝත්හැම්ටන් හිදී එංගලන්ත 19න් පහල කණ්ඩායම පරදවා ශ්‍රී ලංකාවට ජය ගෙන එන්නට සමත් විය. නොබෝ කලකින්ම ඔහුට ජාතික කණ්ඩායම් වරම් හිමිවිය.

ඔහුගේ පරමාදර්ශය වන ඩේල් ස්ටේන්, ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරඟාවලියේ ප්‍රථම තරඟයට සහභාගී නොවූවත් දෙවන තරඟය ආරම්භ වනු දැකීමට එක්ව සිටියේය.

“ඔහුගේ වේගය සහ ආක්‍රමණශීලී බවට මම කැමතියි. මට තවමත් ඔහුව හමුවී නැහැ. නමුත් මං ඔහු හමුවෙන්න කැමතියි. ඔහු හොඳ නිර්මාණාත්මක පන්දු යවන්නෙක්.” කුමාර, ස්ටේන් ගැන එසේ පැවසුවේය.

“මම මගේ කුළුඳුල් ටෙස්ට් තරඟය ක්‍රීඩා කළේ සිම්බාබ්වේහි දීයි. ඒත් මට හිතෙන්නේ දකුණු අප්‍රිකානු තණතිලි වේගපන්දු යවන්නන් උදෙසා වඩාත් යෝග්‍ය බවයි. තණතිල්ලෙන් හොඳ සහයක් ලබා ගනිමින් පන්දු යැවීම මම ඉතා ආසාවෙන් සිදුකළා. හොඳ ඉපිලීමකුත්, මඟ වෙනස්වීමකුත් මෙහි පන්දු යැවීමේදී දකින්න පුළුවන්.” කුමාර කීවේය.

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී කඩුළු 6ක් දවාගත් කුමාර මෙසේ පැවසුවේය.

“මම ක්‍රීඩාකර ඇත්තේ ප්‍රථම පෙළ තරඟ 5ක් පමණක් නිසා ජාත්‍යන්තර ක්‍රිකට් ආරම්භ කළ කාලෙදිම කඩුළු 6ක් දවාගැනීම මටත් ටිකක් පුදුමයක්. ඒ ගැන සතුටු වෙනවා වගේම මේ තණතිලිවල ස්වභාවයට මා ගොඩක් ආසකළ බව කියන්න ඕනේ. ඒ තත්වය මට ලොකු පිටිවහලක් වුණා වගේම උඩපන්දු සියල්ල රැකගත් කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ටත් ස්තුතිවන්ත වෙනවා.”

“තණතීරුව දැන් ටිකක් ස්ථාවර වෙලයි තියෙන්නේ. ඒ වුණත් උත්සාහයක් ගත්තොත් තවමත් දෙයක් කළ හැකියි. තරඟය බේරගන්න නම් ලකුණු 250කට මෙහා ඔවුන්ව දවාගන්න වෙයි.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.

දකුණු අප්‍රිකානුවන් සිය ආරම්භක පිතිකරු ස්ටීවන් කුක්, සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවීගිය පසු ලකුණු 66/1 දක්වා තම ඉනිම ගොඩනගා ගනිමින් සිටියදී ඉනිමේ 19 වන පන්දු ඕවරයේදී පන්දු යැවීමට කුමාරව කැඳවනු ලැබීය.එකම පන්දුවාරයකදී කඩුළු දෙකක් දවාගත් කුමාර, ලකුණු පුවරුව 66/3 දක්වා වෙනස් කිරීමට සමත් විය. කෙලින්ම පන්දුව කඩුල්ලේ වද්දවා හෂීම් අම්ලා දවාගැනීම වෙනුවෙන් දිවා විවේකයට මඳකට පෙර ඔහු යැවූ පන්දුව මනරම්ය.

“අම්ලා දවාගත් විදියට මං හරිම කැමතියි. ඔහු ලෝකයේ ප්‍රමුඛ පෙලේ පිතිකරුවෙක්. එවැන්නෙක් ඒ ආකාරයෙන් දවාගැනීම ලොකු සතුටක් ගෙන දෙන්නක්.”

තම වේගයත්, ඉලක්කයත් වර්ධනය කරගැනීම ගැන ඔහු සැලකිල්ලෙන් පසුවන බැව් ඔහු පැවසීය.

“මගේ ඉලක්කය ශ්‍රී ලංකාව වෙනුවෙන් හැකිතරම් කාලයක් ක්‍රීඩා කිරීමයි. දැනට මට යම් වේගයක් ලැබී තිබෙනවා. එය තවත් වැඩි කරගැනීම වෙනුවෙන් මම මගේ පුහුණුකරුවන් සමඟ කටයුතු කරනවා. වේගයටත් වඩා වැදගත් වෙන්නේ පන්දුව පතිත කරන ස්ථානය සහ පන්දුවේ මාවත සකස්කර ගැනීමයි. ඔබට වේගය තිබුණත් ඉලක්කය අසාර්ථක නම්, වේගයෙන් කළ හැකි සුළු ප්‍රමාණයයි.”

ප්‍රථම තරඟය ක්‍රීඩා කළ කණ්ඩායමට එක්කළ වෙනස්කමක් ලෙස උපුල් තරංග සමඟින් ලහිරු කුමාර කණ්ඩායමට ඇතුලත් වූ අතර කුමාරගේ දස්කම් ගැන තරංගගේද අවධානය යොමුවිය.

“ලහිරු කුමාර මාත් සමඟ NCC කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. පුහුණු තණතීරු වලදී මම ඔහුට මුහුණ දී තිබෙනවා. ඔහුට හොඳ වේගයක් තියෙනවා වගේම ඔහු හොඳින් පන්දු යවනවා. මේ ඔහුගේ තෙවන ටෙස්ට් තරඟය. දකුණු අප්‍රිකාව වගේ ශක්තිමත් පිතිකරුවන්ට එරෙහිව ඔහු පන්දු යැවූ ආකාරය ගැන ඔහු සැබවින්ම සතුටු වෙනවා ඇත.” තරංග කීය.

“ඔහුට තවම 19ක් නිසා මට හොඳටම විශ්වාසයි ඔහුගේ වේගය වර්ධනය විය හැකි බවට. දැනට අපට ඉන්න වේගවත්ම පන්දු යවන්නා දුෂ්මන්ත චමීර. නමුත් ඔහු ආබාධයක් සුවවීමෙන් පසු ක්‍රීඩාකරන නිසා ඔහුගේ රිද්මය මඳක් ගිලිහිලා. දෙදෙනාම ශ්‍රී ලංකාවේ අනාගත බලාපොරොත්තු දෙකක්.” තරංග වැඩිදුරටත් පැවසීය.

සියළු ලාබාල ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පැතුම වන්නේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමයි. කුඩාකල කුමාරගේ එකම පැතුම වී ඇත්තේ ජාතික හොකී කණ්ඩායම නියෝජනය කිරීමයි. නමුත් නුවර ශ්‍රී සුමන්ගල විද්‍යාලය වෙනුවෙන් 15න් පහල හොකී කණ්ඩායම නියෝජනය කරන අතරතුර ඔහුගේ සිහිනය බොඳව ගියේය.

“දවසක් මං පාසල් හොකී තරඟයක් ක්‍රීඩාකරමින් සිටින විට හොකී පිත්තක් මගේ බෙල්ලේ වැදුණා. මා රෝහල්ගතවී නිවසට පැමිණෙන විට මගේ මව සෑම හොකී ක්‍රීඩා භාණ්ඩයක්ම නිවසින් එළියට විසිකොට තිබුණා. ඒ මගේ හොකී ජීවිතයේ අවසානය. මං අහම්බෙන් වගේ ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවුණේ. කෙටි කාලෙකින් මම පාසල් කණ්ඩායමට තේරුණා. කණ්ඩායමත් සමඟ කළ මැලේසියානු සංචාරය තමයි මගෙ ක්‍රිකට් ජීවිතේ නිශ්චිත ඇරඹුම.” ලහිරු කුමාර එසේ පවසමින් අදහස් දැක්වීම නිමකළේය.