යුද පිටියෙන් රග්බි පිටියට

663

ශ්‍රී ලංකා රග්බි ජාතික සංචිතයට මෙවර ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් තේරී පත්වී ඇත. ඒ නමින් ප්‍රභාත් කුමාර, අශාන් බණ්ඩාර සහ සුදාරක දික්කුඹුර යන ක්‍රීඩකයින් ය.

නවකයින් රැසකට ජාතික රග්බි සංචිතයේ දොර ඇරේ

එළඹෙන 29 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය…

මුලින්ම බලමු සුදාරක දික්කුඹුර ගැන.

සුදාරක දික්කුඹුර කියන්නේ 2004 වසරේ පටන් කටුගස්තොට රාහුල විද්‍යාලයේ රග්බි ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. ඔහුගෙන් අප ශ්‍රී ලංකා සංචිතයට තේරී පත්වීම ගැන විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ මෙහෙමයි.

“පොඩි කාලේ ඉඳන් දැකපු හීනයක් තමයි ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරන එක. මං ගොඩක් ට්‍රයි කළේ කොහොම හරි ශ්‍රී ලංකා ටීම් එකේ තැනක් අල්ලගන්න තමයි. හිතා ගන්න බැරි විදහට අද ඒක උදා වුනා. මෙතනට එන්න ගොඩක් මහන්සි වුනා.”

පාසලේ ක්‍රීඩා කළාටත් වඩා යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් ඔහු ලබාගත් ආභාෂය උපරිමයි. තමන්ගේ අමතක නොවන මතයකන් ආවර්ජනය කරමින්, මැලේසියන් බාබේරියන්ස් කණ්ඩායමට එරෙහිව ඔහු වාර්තා කළ උත්සාහක දිනුම් ත්‍රිත්වය ගැන පැවසුවේ අහිංසක සිනාවක්ද සමඟින්. තමන්ට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට ලැබීම මහත් භාග්‍යයක් බව පැවසූ ඔහු තමන්ගේ උපරිමය යොදමින් කෙසේ හෝ ශ්‍රී ලංකාවට ජය ගෙන ඒමට බලාපොරොත්තු වෙන බවත් අප සමඟ පවසා සිටියා.

අශාන් බණ්ඩාර

අශාන් බණ්ඩාර කියන්නේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලෙන් රග්බි ක්‍රීඩාවට අත්පොත් තැබූ, දැන් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. කුඩා කල පටන් ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට බැලූ හීන ගැන ඔහුට අපිට කිව්වේ මෙහෙමයි.

“අද මට මේ අවස්ථාව ලැබීම ගැන ගොඩක් සතුටුවෙනවා. මම අනිවාර්යයෙන්ම මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. 2003 ඉඳන් ශ්‍රී ලංකා සංචිතය කියන්නේ මගේ හීනයක්. 2010 සිට මම විද්‍යාර්ථ විද්‍යාලයට ක්‍රීඩා කළා. රග්බි වලින් මෙච්චර දුර එන්න මම ඉගෙන ගත්තේ මගේ ඉස්කෝලෙන්. ඒ වගේම තමයි යුද හමුදා ක්‍රීඩා සමාජයත්, එයින් මට ගොඩක් දේවල් ලැබුනා. අද දවස මට ගොඩක් ආඩම්බරයි. කියන්න වචන නෑ. පුළුවන් උපරිමයටත් වඩා ලංකාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.”

ප්‍රභාත් කුමාර

ඇඹිලිපිටියෙන් ප්‍රභාත් කුමාර ශ්‍රී ලංකා රග්බි සංචිතයට තේරී පත්වූ අකාරය ගැන අපට පැවසුවේ මෙහෙමයි.

“මම ඉගෙනගත්තේ ඇඹිලිපිටිය කැඩගල්ලහර විද්‍යාලයේ. අපේ ඉස්කෝලේ අනෙක් ක්‍රීඩා තිබුනට රගර් කියන ක්‍රීඩාව තිබ්බේ නෑ. මම ඉස්කෝලෙන් අවුට් වෙලා 2007දී යුද හමුදාවට බැඳෙන්නේ යුද සෙබළෙක් විදිහට. මට රගර් ක්‍රීඩාව ගැන කිසිම දැනීමක් තිබ්බේ නෑ. මම යුද හමුදාවට බැඳුනේ යුද්දෙට, මම රාජකාරි කළේ උතුරු නැගෙනහිර. අවුරුදු 6 1/2ක් යුද්දේ කළා. මගේ කඩිසරකමයි මගේ ශරීරයයි දිහා බලලා මට කතා කළා රගර් සෙල්ලම් කරන්න. මම එහෙමයි රග්බි ක්‍රීඩාවට ආවේ.”

“ඒත් හිතුවේ නෑ මං ශ්‍රී ලංකාව වෙනුවෙන් රග්බි ක්‍රීඩා කරයි කියලා. මේක මට ඇත්තටම භාග්‍යයක්. මට ගොඩක් අය උදව් කළා මේ තත්ත්වෙට එන්න. මං යුද්දෙදි ශ්‍රී ලංකාව වෙනුවෙන් ජීවිතය ගැන නොතකා යුද වැදුනා වගේම අද ඉඳන් ශ්‍රී ලංකාව වෙනුවෙන් රග්බි බෝලයෙන් මගේ උපරිමය දෙන්න සූදානම්.”

Video – ජයග්‍රහණය තමා අවසන් අරමුණ! – ඔමල්ක ගුණරත්න

2019 ආසියානු රග්බි පළමු කාණ්ඩයේ තරගාවලිය වෙනුවෙන් සහභාගී වන ශ්‍රී…

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් වැඩිම ප්‍රමාණයක් ශ්‍රී ලංකා ජාතික සංචිතයට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි. ඒ වගේම තමන්ගේ ආත්ම ශක්තිය සමඟින් ශ්‍රී ලංකා ජාතික සංචිතයට නවක ක්‍රීඩකයින් 18 දෙනෙක් තේරී පත්වී තිබීමද විශේෂත්වයක්.

රග්බි පිටියේ නෑසූ කතා දැනගන්න, රැඳී සිටින්න ThePapare.com අප සමඟ.


                               >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<