රත්ගම වැල්ලේ යෝකර් රජු

855

අමුතුම පන්දු යවන්නෙක් ඔසී පිතිකරුවන් එදා කියන්නට ඇති, කවුද මේ? ලංකාවේ මේ වගේ බෝලර්ස් ලා ඉන්නව ද? අපේ අයත් කියන්නට ඇති. පුංචි කොලු ගැටයෙක් වැඩිය උස මහත නම් නෑ, මේ කොල්ලා 145ට විතර පන්දු යවනවා එයාගෙම ඉරියව්වකින්.

මේ කොල්ලා ගැන ඊට පස්සේ මුළු ක්‍රිකට් ලෝකයම කතා කරන්න ගත්තා. ඒ වෙන කවුරුත් නෙමේ රත්ගම වැල්ලේ හැදුණු වැඩුණු දඩබ්බර චරිතය අපේ මාලිංග. 2004 ඩාවින්චි වල එදා ඔසීලට එරෙහිව ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්වල 99 වනි ටෙස්ට් කැප් එක දාගෙන, උඹ එදා බෝල් කරන කොට කවුරුත් හිතන්නේ නැතුව ඇති උඹ මේ තරම් දුරක් එයි කියලා.

Free Hit ලිපියේ දායකත්වය – චරිත් මධුසංක

මංගල ටෙස්ට් තරගයේ දී ම උඹේ බෝලවලට ලීමන්, ගිල්ක්රිස්, වෝන් ලා අසරණ වුන හැටි TV එක ඉස්සරහ ඉඳන් බලලා අපි සතුටු උනා. ඒ විදියට ටෙස්ට් පිටියට ආපු උඹ එක්දින ක්‍රීඩාවටත් ආවා.

උඹේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ ඔතනින් එහාට. කාලයත් එක්ක උඹ ටික ටික දියුණු වුනා. 2004 එක්දින පිටියට ඇවිත් 2007 ලෝක කුසලාන තරගාවලියට යන්න උඹේ හැකියාව එක්ක. රට වෙනුවෙන් ප්‍රථම වතාවට ලෝක කුසලාන තරගාවලියකට ගියපු උඹට කවුරුත් හිතපු නැති දෙයක් කරන්න පුළුවන් කමක් ලැබුණා.

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ තිබුණු තරගයේ දී පරාජය පෙනී පෙනී හිටිය අපිට නොතිබුණ ජයක් ළඟට අරන් එන්න. එදා උඹ ලෝක වාර්තාවක් තිබ්බ මාලි බෝල 4කට විකට් 4ක් අරන්, කාටවත් ලේසියෙන් ළංවෙන්න බැරි රෙකෝඩ් එකක්.

ගයානා දූපත්වල ජෝජ් ටවුන් ක්‍රීඩා පිටියේ එදා අසරණ වුනේ අන්තිම කඩුලු පහෙන් හතරකගේ (ෂෝන් පොලොක්, අන්ඩර් හෝල්, ජැක් කාලිඑස්, මකායා නිට්නි) කඩුලු දවා ගන්න ගිහිල්ලා. උඹ පස්වැනි කඩුල්ල වෙච්ච රොබින් පීටර්සන්ගේ විකට් එකත් අරන් රට දිනවන්න උඹ ලොකු උත්සාහයක් ගත්තා. ඒත් අවාසනාවකට අපිට අන්තිම කඩුල්ල ගන්න බැරි වුනා. උඹේ ඇස්වලින් එදා කඳුළු ආපු දිහා බලලා ක්‍රිකට් පිස්සෝ වුන අපේ ඇස්වලිනුත් කඳුළක් ආවා මාලී.

දස්කම් අතර හිටපු උඹ කවුරුත් හිතපු නැති විදියට ආබාධයකට ලක් වුනා. උඹේ ආබාධයත් එක්ක ටෙස්ට් තරගවලට සමුදෙන්න සිදු වුන වෙලාවේ සමහරු උඹට දොස් කිවුවා. ඒ කාලේ සල්ලි නිසා මාලිංග ටෙස්ට් ක්‍රිකට් වලින් අයින් උනා කියලා.

ඒ වන විට IPL තරගාවලිය නිසා උඹ ටෙස්ට් පිටියට සමුදුන්නා කියල සමහරු කතා වුනා. ඒ්ත් දැනුමක් තියන රසිකයින් දැනගෙන හිටියා ඒ වෙලාවේ උඹ ගත්ත තීරණය හරි කියලා. ඒ තීරණය හරි මොහොතේ දී  අරගත්තේ නැතිනම් අද අපිට කතා කරන්න මාලී කෙනෙක් නැති වෙන්නත් තිබුණා.

ලෝක කුසලාන තරගාවලි දෙකක දී කඩුලු ත්‍රිත්ව (Hetrick) දෙකක්. 2007 දී දකුණු අප්‍රිකානුවන්ට, 2011 දී කෙන්යානු පිලට එරෙහිව එක්දින තරගවල කඩුලු ත්‍රිත්ව 3ක් ලබාගෙන තියන (T20 තරගවල එක් කඩුලු ත්‍රිත්වයක් බංග්ලාදේශයට එරෙහිව 2016 දී) ලොව එතෙක් මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු ත්‍රිත්ව 4ක් ලබා ගනිමින් ලෝක වාර්තාවක් තියපු එකම පන්දු යවන්නා උඹ විතරයි මාලී. ශ්‍රී ලංකාව කියන අපේ මේ පුංචි රට උඹ ලෝකේ ඉස්සරහ හරි අපූරුවට ඉහළින්ම තියලා තියනවා මාලී. ඒකට උඹට මේ රටේ මිනිස්සු ගොඩක් ආදරය කරනවා මාලී.

පාට කරපු කැරලි කොන්ඩෙයි, අත පුරාම පච්චයි ගහගෙන සිංහයෙක් වගේ දුවගෙන ඇවිත් උඹ බෝල් කරන හැටි බලන්න අපි ටීවී එක ඉස්සරහ ඉදගෙන ඉන්න කොට අපිටත් පොඩි ගැම්මක් ආවා. උඹේ බෝලවලට 4ක් 6ක් ගැහුවත් උඹ ලස්සනට හිනාවකින් ඒවට පිළිතුරු දුන්නා. හැමෝටම බෑ බං එහෙම කරන්න. ඒ නිහතමානීකමට ක්‍රිකට් ලෝකයම උඹට ආදරය කරනවා ඇති මාලී.  

තව ටික දවසකින් උඹත් ක්‍රිකට් පිටියට සමුදෙයි මාලී උඹේ හිස්තැන් පුරවන්න කාටවත් බැරි වේවි බන්. ලෝකෙම ක්‍රිකට්වලට උඹ නැති අඩුව දැනේවී මාලී. උඹේ ඉස්සරහ දන ගහපු බැට්ස්මන්ලට නම් දැන් ටිකක් සපත්තු දෙක පරිස්සම් කරගන්න පුළුවන් වෙයි. උඹේ යෝකර්වලට කැඩුණු බැට් පිතිවලටයි, විකට් පොලුවලටයි උඹ නැති පාළුව ගොඩක් දැනේවී මාලී.

සිංහයෙක් වගේ උඹ දුවන් ඇවිත් බෝල් කරනවා බලන්න අපි පින් කරලා තිබුණා බං.  අපේ පුංචි කාලේ ඉඳන් බලපු ක්‍රිකට් අපිට ලස්සන කරලා දුන්නට උඹට ස්තුතියි මාලී.

බෝලට වැදලා දුවන් ඇවිත් පිටිය මැද විකට් එකක් අරන් පපුවේ තියන සිංහ කොඩිය ඉඹිනවා බලන්න අපේ පොඩි උන්ට බැරි වෙයි බන්. ක්‍රිකට් ජීවිතේ වුන මේ රටේ මිනිස්සු උඹට හැමදාමත් ආදරය කරනවා මාලී. මිලියන 20කගේ හදවතේ කොහේ හරි තැනක උඹ ඉන්නවා බං. ක්‍රිකට් පිටියෙන් උඹ ගියත් අපේ හදවත්වල හැමදාමත් උඹේ මතකයේ රැඳිලා  තියේවි මාලී.

>> ක්‍රීඩා පිටියේ පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<