දශක දෙකක් පුරා පාපන්දු පිටිය වර්ණවත් කළ රන් පාවහන – කසුන් ජයසූරිය

503

පසුගිය සෙනසුරාදා (01) පැවති FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයෙන් අනතුරුව දශක දෙකකට වැඩි කාලයක් මෙරට පාපන්දු පිටියට ජවය එක් කළ කසුන් ජයසූරිය පාපන්දු පිටියෙන් සමුගත්තා. මේ ඔහු ගැන ThePapare.com තබන සටහනකි.

කසුන් ජයසූරිය පාපන්දු පිටියට සමුදීමට සැරසෙයි

සෝන්ඩර්ස් කණ්ඩායම 2018 FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා …..

කසුන් මුලින්ම පාසල් ගියේ බදුල්ල ධර්මදූත විද්‍යාලයට. එතැනින්ම තමයි කසුන්ගේ පාපන්දු ජීවිතයත් ගොඩ නැගෙන්නේ. ඒ කාලෙ පාසලේ අංක එකේ පාපන්දු ක්‍රීඩකයා වුනේ කසුන්. මේ තැන ලැබුණේ කසුන්ට වඩා වැඩිමල් ක්‍රීඩකයන් ද සිටිද්දී වීමයි විශේෂ. කසුන්ට පාපන්දුව මෙල්ල කරන්න කාගෙවත් පුහුණුවක් අවශ්‍ය වුනේ නැහැ. ඔහු එය කුඩා කාලයේ සිටම හරි අපූරුවට කළා. ඒක ඒ වෙනුවෙන්ම වූ කැපවීමම වෙන්නැති.

පාසලේ දී බොහොම කීකරු ශිෂ්‍යයෙක් වූ කසුන් පාපන්දුවේ දී මනා ශික්ෂණයකින් යුතුව පන්දුව පාලනය කළ ද ගෙදරට ඒකෙ අනිත් පැත්ත වුනා. කොටින්ම කිවුවොත් කසුන් ගෙදරට නාහෙට අහන්නැති කෙනෙක් වුනා. ඒ ඉතිං කසුන්ට පාපන්දුවම මිසක් වෙන කිසිවක්ම නොතිබූ නිසයි. ඔහුට අවශ්‍ය වුනේ පාසල් කාලයේ දී වගේම ගෙදරදීත් පාද දෙක අතර නිතරම පාපන්දුවක් තබා ගැනීමේ අවශ්‍යතාව. නමුත් අම්මා ඒකට ඉඩ දුන්නෙ නැහැ. ඉතිං කසුන් කළේ අම්මගේ ඇල්ම-බැල්ම වෙනතකට යන ඉක්මනට ගෙදරින් පැන ගැනීමයි.

මේ දඩබ්බරයා ආරක්ෂා කර ගැනීමයි දෙමාපියන් දෙපළගේ එකම අපේක්ෂාව වී තිබුණේ. කොතරම් අණ-පනත් දැම්ම ද ඔහුව මෙල්ල කිරීම නම් කළ නොහැකිම වැඩක්. මේ නිසා ඔවුන් කළේ කසුන් කෙරෙහි වෙනම ආරක්ෂක වළල්ලක් දැමීමයි. එහි වැඩි වගකීමක් පැවරුණේ වැඩිමල් සහෝදරයන් දෙදෙනා වෙත. එහෙත් එය ද හිතූ තරම්ම පහසු වූයේ නැහැ. ඔවුන්ගේ ද ඇස්වලින් වහංව තම හිතූ මනාපයක් කරන්නට කසුන් සූක්ෂ්ම වුනා.

“මගේ ජීවිතයේ මම වැඩි හරියක්ම කළේ මට උවමනා දේ. ඒක පොඩි කාලේ සිටම සිද්ධ වුන දෙයක්. පාසල් කාලෙන් වැඩි හරියක්ම ගෙවුණෙ පිට්ටනිවල. ඒක අම්මටත් තාත්තටත් රිස්සුවෙ නැහැ. අයියලත් හිටියෙ ඒ ගොඩේම. මගේ හිතුවක්කාරකම වුනේ ඒක. එහෙම නැතුව එක එක තැන රස්තියාදු වෙමින් කාටවත් කරදරයක් වෙන එක නෙමේ.“ කසුන් තම අතීතය සිහිපත් කරන්නේ ඒ විදිහට.

ඔහු පංති කාමරයේ හොඳ ළමයෙක් වීම නිසා ගුරුවරුන්ගේ හිත දිනා ගත්තා. මේ හිත දිනා ගැනීම කසුන් හිතා මතාම හදා ගත් දෙයක්. මොකද එහෙම වුණහම ගුරුවරුන්ගේ දැනුවත් කමෙන්ම පාසල් කාලෙදිත් කසුන්ට පිට්ටනියකට දුවන්න පුළුවන් වුනා. එහෙම ගිහිල්ල ඉතිං කසුන්ගෙ වැඩේ තමන්ට බාල හෝ මහළු අයත් සමඟ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන එකම තමයි.

“මේක තමයි ගොඩාක් දෙනෙක්ට රිස්සුවේ නැත්තේ මම කොයිවෙලේ බැලුවත් හිටියේ පිට්ටනියේ. ගෙදරින් බැනුම් අහන්නත් ඒකම හේතුවක් වුනා. අයියලා වුනත් දැක්කේ ඒක. මේ නිසා ඒ අයත් ගෙදරට කිව්වේ මම පංති කාමරයේ ඉන්නවට වඩා ඉන්නේ පිට්ටනියේ කියලා. අම්ම තමයි මේකට දෝස් මුර දැම්මේ. තාත්තා අම්මා ඉදිරියේ දී මට දොස් කිව්වත් අම්මා නැති තැන දී මට මොනවත් කිව්වේ නැහැ. මොකද තාත්ත මම පුංචි දවස්වල ඉඳලම මගේ පාපන්දු ගැහිල්ලට කැමතියි. තාත්තා තමයි මගේ අංක එක වුනේ. බදුල්ලෙන් කොළඹ එන්නත් තාත්තම හේතුවක් වුනා. මොකද ගොඩක් දෙනෙක් එපා කියද්දී තාත්තගෙත් මගෙත් කැමැත්තට තමයි මම කොළඹ ආවේ. ඒ තනිකරම පාපන්දු ගහන්න තිබුණ අංක එකේ කැමැත්ත නිසා.”

කසුන් ධර්මදූතයෙන් කොළඹ එන්නේ සාන්ත ජෝසප් විද්‍යාලයට. ඒක ටිකක් හිත හිරිවැටෙන ගමනක් කියලයි කසුන් කිව්වේ.

“මට කොළඹ එන්න කැමැත්ත තිබුණේ පාපන්දු ගහන්න තිබුණ ආසාවත් එක්ක. ඒත් උඩ පැනගෙන ආවට මට මුල් දවස්වල නිකං අවුල් වගේ. මම හිතුවේ මම එතැනට දිරවන්නෙ නැහැ කියලා. බදුල්ලෙ දි නොදැණුන අඩුපාඩු පවා මට දැනෙන්න ගත්තේ කොළඹ දී. මම යාළු මිත්‍ර සමාගමට මුල් කාලෙදී ආවෙම නැති තරම්. මොකද එහෙම වුනා නම් මගේ අඩුපාඩු කැපී පෙනෙනවා. ඒත් මේ හැමදේකටම වඩා මගේ හිත අතුලෙ සිටි පාපන්දුකාරයා මතු වෙනවා. ඒ වෙලාවට මගේ ලෝකෙ තිබුණේ පාපන්දුව විතරයි. මම විශ්වාස කරනවා. මම ඉපදුණේම පාපන්දු ගහන්න කියලා. මොකද පහුවෙන කොට මම කොළඹ දී ගත කළෙත් බදුල්ලට නොදෙවෙනි ජීවිතයක්.”

එහෙම ආපු ගමනට තමයි කසුන් පසුගිය දා තිත තිබ්බේ. ඒක ඉතා අපහසුවෙන් ගත් තීරණයක් කියලයි කසුන් කියන්නේ.

“මට පාපන්දුවලින් තවත් ජය ගන්න දෙයක් නැහැ. මම මේ ටික කාලෙදී දේශීය පාපන්දු පිටියේ නොමැකෙන සටහන් රැසක් තබන්න දායක වුනා. නමුත් මෙතැනින් එහාට යන්න ටිකක් අමාරුයි කියලා හිතුණා. මොකද මට දැන් අවුරුදු 38ක්. අනිත් එක ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තවමත් වෘත්තීය මට්ටමට ඇවිත් නැහැ. ඒ නිසා මම කල්පනා කළේ මගේ දැනුමෙන් තවත් පරපුරක් වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්න පුළුවන් කාලයේ ඒ දේවල් ලබා දිය යුතුයි කියලයි. ඉහ-නිකට පැහිලා පුහුණුකරුවෙක් වෙන්න මට අවශ්‍ය වුනේ නැහැ. මට තවමත් ජවය තියෙනවා. මේ ජවයත් සමඟ මට තවත් කාලයක් පාපන්දු පිටියේ රැඳී සිටින්න පුළුවන්කම තිබුණා. නමුත් සුදුසු කාලයේ සුදුසු තීරණ ගත යුතුයි. ඒ නිසා මම අමාරුවෙන් හරි හිත හදාගත්තා පාපන්දු ක්‍රීඩාවෙන් සමුගන්න.”

මේ සමුගත් වීරයා Dialog ශූරයන්ගේ තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි වෙන රන් සපත්තුව පිට පිටම තුන් වතාවක් දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර සහ දේශීය තරග පිටියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබා ගත් ශ්‍රී ලාංකීය පාපන්දු ක්‍රීඩකයා වෙන්නේ ද කසුන්. මේ නිසාම කසුන් ලංකාවෙන් බිහි වූ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් ද හැදින්වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙසින් ද කසුන් අවස්ථා ගණනාවක දී කටයුතු කර තිබෙනවා.

බදුල්ලෙන් රැගෙන ආ දේවල්වලට කොළඹ දී තව තවත් දේවල් එකතු කර ගනිමින් පාපන්දු ජීවිතය වගේම තම ජීවිතයත් වඩාත් පන්නරය කර ගත් කසුන් ඕල්ඩ් ජෝස්, මීගමුව යූත්, පෙටා යුනයිටඩ්, රත්නම් වැනි කණ්ඩායම්වලට ලබා දුන් සේවය අවසන් වරට ලබා දුන්නේ සෝන්ඩර්ස් කණ්ඩායමට. ඒ වගේම ඉන්දියාව සහ මාලදිවයින යන රටවල ප්‍රධාන පෙළේ තරගාවලි නියෝජනය කිරීම සඳහා එරට කණ්ඩායම්වල සාමාජිකත්වය ලබා ගන්නත් කසුන් සමත් වුනා. මේක ක්‍රීඩකයෙක්ට කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.

“මගේ පාපන්දු ජීවිතයේ මම ක්‍රීඩා කළ සෑම කණ්ඩායමකට මම උපරිම දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම මම අවුරුදු ගානක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. නායකත්වය දුන්නා. මේ දේවල් ලෙහෙසියෙන් අමතක කරන්න බැහැ. ඒ අතර ඉන්දියාවේ සහ මාලදිවයිනට ගිහිල්ලත් සෙල්ලම් කළා. ඒ සෑම තැනක දී ම මට ඉහළ පිළිගැනීමක් ලැබුණා. ඒ පාපන්දු නිසා. අද මට ThePapare.com එකෙන් කතා කරල මගේ ගැන ලියන්නෙත් පාපන්දු නිසා. ඇත්තටම පාපන්දු ක්‍රීඩාවෙන් මට ලබා දුන් දේවල් අපමණයි.”

කසුන් පාපන්දු ක්‍රීඩාවට දක්වන ඒ අනුපමේය ගරුත්වය නිසාම ඇතැම් දමා යා යුතු තැන්වල දී ද මේක අතහැරියේ නැහැ. ඔහු කියන්නෙ තමන් එදත් අදත් විශ්වාස කරන්නේ දක්ෂතාව බැවින් පාපන්දුව අතරමග දී දමා යෑමට තරම් තමන් ඒ කාලයේ දී සේ ම මේ වන විට දී ද අදක්ෂයෙක් නොවන බවයි.

“ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරද්දී අවස්ථා දෙක තුනක දී ම මාව මේ ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමට කිහිප දෙනෙක්ටම උවමනාව තිබුණා. නමුත් ඔවුන්ට මගේ දක්ෂතා නිසා එහෙම කරගන්න බැරි වුනා. අන්තිමට මට වයසයි කියල කණ්ඩායමෙන් ඉවත් කරන්න පවා උත්සාහ කළා. ඒත් ඒ අවස්ථාවන්වලදීත් අනෙක් යොවුන් යැයි කියූ ක්‍රීඩකයන්ට වඩා හොඳින් මම සෙල්ලම් කළා. මාව කණ්ඩායමෙන් කොන් කරල තියන්න උත්සාහ කළා. ඒත් ඒ කිසිදේකින් මගේ ගමන වළක්වන්න බැරි වුනා. මොකද මම ජීවිතයේ දී වගේම පාපන්දු ජීවිතයේදීත් ඇති තරම් කට්ට කාල තියෙනවා. ඒ කාපු කට්ට තුළයි මම ඉගෙන ගත්තේ, දක්ෂතාව තිබෙනවා නම් කිසිම බලවේගයකට කාගෙවත් ගමන වළක්වන්න බැහැ කියලා.”

කසුන් අද දවසේ දී ඔබට දැක ගන්න ලැබෙන්නේ පාපන්දු පුහුණුකරුවෙක් ලෙසින්. ඔහු ඔහුගේම පුහුණු පාසලක් තමන් සමුගන්නා දවසේ දී ම ආරම්භ කළා. ඒක වැඩි දියුණු කරන ගමන්ම කසුන්ගේ තවත් බලාපොරොත්තුවක් තියෙනවා කියලයි, ඔහු කිව්වේ. ඒ පුහුණු ජීවිතයේ තවත් කඩඉමක් පසුකළ පසු ප්‍රමුඛ පෙළ කණ්ඩායමකට තම පුහුණුකාර සේවය ලබා දීමයි.

කසුන් සිය පවුලේ සාමාජිකයින් සමඟ

කසුන් දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ සාමාජිකත්වයේ සිටියා. මේ තරම් කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ එකම ක්‍රීඩකයා ඇතැම් විට කසුන් වෙන්නත් ඇති. ඒ නිසාම අද දවසේ පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තරයේ තියෙන්නේ කොතැන ද කියලා අහන්න කසුන් තරම් සුදුස්සෙක් තවත් නැහැ.

“අපිට ජාත්‍යන්තරයේ හිමි තැන පුංචි තිතක් වගේ එකක්. නමුත් පාපන්දු ක්‍රීඩාවේ පරිපාලනයේ තිබෙන දුර්වලතා නැත්නම් අපිට ආසියාව බැරි වුනත් අඩුම තරමින් දකුණු ආසියානු මට්ටමෙන් හරි ස්ථාවර තැනක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මම පරිපාලනයේ දුර්වලතා ලෙසින් දකින්නේ තෝරා ගැනීමේ දුර්වලතායි. එතැන ලොකු ගැටලු තියෙනවා. අපිට ඉතාම හොඳ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. නමුත් ඔවුන්ට නිසි තැන් ලැබිලා නැහැ. නිසි තේරීමක් වෙලා නැහැ.” කසුන් පැවැසුවා.

කසුන් පාපන්දු ක්‍රීඩාවට, ක්‍රීඩකයන්ට වගේම පාපන්දු ප්‍රේක්ෂකයන්ටත් දක්වන්නේ ඉතාම ගෞරවනීය පිළිගැනීමක්. මේ පිළිගැනීම නිසාම කසුන් ThePapare.com හරහා රටට දෙන්නට පණිවුඩයක් ද ලබා දුන්නා. එම පණිවුඩයත් සමඟින් ThePapare.com අපි ඔහුගේ අනාගතය සුබ පතමින් මේ සටහන් අවසන් කිරීමට සිතුවා.

“මම ක්‍රීඩාවෙන් සමුගත්තත් මගේ ජීවිතයේ වැඩි හරියක් ගෙවෙන්නෙ පාපන්දුවත් සමඟ ක්‍රීඩා පිටියේ. හෙට දවසේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට මගේ අවශ්‍යතාවක් දැණුනොත්, වගකිව යුත්තෙක් කතා කළොත් මම වසරක කාලයකට නැවත මගේ දක්ෂතා රට වෙනුවෙන් ලබා දෙන්න පැකිළෙන්නේ නැහැ. මට මගේ දක්ෂතා ගැන විශ්වාසයි. ඒ නිසා එවන් අභියෝගයක් ආවොත් මම ඉතා කැමැත්තෙන් ම ඒක බාර ගන්නවා.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<