තරග විනිසුරුවරුන් වැඩ වර්ජනයක?

416

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) විසින් තරග විනිසුරුවරුන් හට තරගවලට අදාළ තරග මුදල් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාපන්දු තරග විනිසුරුවරුන් වැඩ වර්ජනයකට එළඹ ඇති බවට වාර්තා වේ.

මනමාලයෙකු වූ රිෆ්නාස්, රිනවුන් ජයග්‍රහණයට මෙහෙයවයි

‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය 2017 යටතේ ඊයේ (25) වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී…

වාර්තා සඳහන් කරන අන්දමට ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයේ සිට මාස 3-4ක කාලයක් පුරාවට තරග විනිසුරුවරුන් හට අදාළ තරග මුදල් ගෙවීමට පාපන්දු සම්මේලනය අසමත් වී ඇත.

කෙසේ නමුත් තරග විනිසුරුවරුන්ට සමීප විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ ඔවුන්ගේ වැටුප් ගෙවීම වසර 1-2ක වැනි දීර්ඝ කාලයක සිට සිදු වී නොමැති බවයි. වාර්තාවලට අනුව තරග විනිසුරුවරුන් ඊයේ (25) මෙම වැඩ වර්ජනයට එළඹ ඇති අතර ඒ අනුව පැවැත්වීමට නියමිතව තිබූ ‘Dialog’ ශූරයින්ගේ පාපන්දු කුසලාන තරගාවලියේ 14 වන සතියේ තරග සහ ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග කල් දැමීමට ද සිදුව ඇත.

මේ පිළිබඳව විමසීමට ThePapare.com, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජස්වර් උමාර් මහතා සම්බන්ධ කර ගත් අතර එහි දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ;

“Dialog ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් සති කිහිපයේ තරග ගොඩක් වැදගත් නිසා අපිට අවශ්‍ය වුනා ඒ තරග සඳහා සිටින හොඳම තරග විනිසුරුවරුන් දාන්න. අපි ඔවුන්ව මෙම සතියේ තරග සඳහා තහවුරු කරන කොට ඔවුන් සියලු දෙනාම ආසියානු පාපන්දු සම්මේලනයේ පාඨමාලාවක් සඳහා විදෙස් ගතවෙලා හිටියේ. ඔවුන් මෙහෙට පැමිණෙන කොට සමහරක් අය ආබාධවලට ලක්වෙලා. අනෙක් අයට වැඩ යෙදිලා. ඒ නිසා අපට සිදු වුනා තරග කල් දාන්න. ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සහ ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ තරගාවලියේ ඉතිරි තරගවල ප්‍රධාන විනිසුරුවරුන් ලෙස අපි යොදා ගන්නේ හොඳම විනිසුරුවරුන් (ඩිලාන් පෙරේරා, නිවෝන් රොබේෂ්, කසුන් වීරක්කොඩි, අශාන්ත ඩයස් සහ ඉර්ෂාඩ් ෆරූක්).”

“පාපන්දු සම්මේලනය තරග විනිසුරුවරුන්ට දිගු කාලයක ඉඳන් තරග මුදල් ගෙවලා නැහැ කියන කතාවේ සත්‍යතාවයක් නැහැ. අපි ඔවුන්ට තරගවලට පෙර අදාළ මුදල් ගෙවලා තියෙන්නේ. අවසන් ගෙවීම අප සිදු කළේ පසුගිය බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා. අපි ගෙවලා නැති සමහර තරග තියෙනවා. එම තරගවලට අදාළ තරග වාර්තා සහ ලිපි ලේඛන පාපන්දු සම්මේලනයට බාර දුන්නට පස්සේ අපි ඒ ගෙවීම් කරනවා.”

ඔහු තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ඒ අනුව ඊයේ දිනයේ දී පැවැත්වීමට හැකි වූයේ රිනවුන් කණ්ඩායම සහ සුපර් සන් කණ්ඩායම අතර තරගය පමණක් වන අතර අනෙක් තරග කල් දැමීමට පාපන්දු සම්මේලනයට සිදු විය. එම තරගයේ දී ප්‍රධාන තරග විනිසුරුවරයා ලෙස නිවෝන් රොබේෂ් මහතා සහ ඊට අමතරව තවත් සහාය විනිසුරුවරුන් තිදෙනෙක් කටයුතු කළ අතර ඔවුන් සියලු දෙනාම ඩුබායි හිදී පැවති ආසියානු පාපන්දු සම්මේලනයේ තරග විනිසරු පාඨමාලාවක් අවසන් කරමින් දිවයිනට පැමිණ ඇත්තේ ඊයේ උදෑසන ය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම පාපන්දු ලීග් තරගාවලිය වන ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරග තවත් සති 4ක කාලයකින් යාපනයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ අනුව වාර්තා වන මෙම වැඩ වර්ජනය නිසා අර්බුධකාරී තත්වයක් උද්ගතව ඇත. ඒ අනුව තරග විනිසුරුවරුන්ගේ මෙම තීරණය හේතුවෙන් මුදල් අපහසුතාවලට ලක්වී සිටින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙන්ම ක්‍රීඩා සමාජ ද දැඩි අපහසුතා වලට ලක්ව ඇත.

නිහාල් මෙන්ඩිස් කුසලානය මෙවරත් මැසිනෝදියට

අඛණ්ඩව දෙවන වරටත් කඳාන ද මැසිනොද් විද්‍යාලය මගින් සංවිධානය කරන ලද නිහාල් මෙන්ඩිස් අනුස්මරණ කුසලාන…

එවන් අපහසුතාවයට පත්වූ එක් ක්‍රීඩා සමාජයක් වන්නේ ගම්පොළ ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය යි. ඔවුන් සහ මාතර සිටි කණ්ඩායම අතර මාතර දී පැවැත්වීමට නියමිතව තිබූ තරගය කල්දමා ඇති බවට පණිවිඩය ඔවුන්ට ලැබී ඇත්තේ ඔවුන් ඊට සහභාගී වීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයටත් පැමිණීමෙන් අනතුරුව ය. එමෙන්ම යුද හමුදා ක්‍රීඩා සමාජයට ද සොලිඩ් SC කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරගය කල්දමා ඇති බව වාර්තා වන විට ඔවුන් ද තරගයට සහභාගී වීම සඳහා අනුරාධපුරයට යාමට පිටත්ව කුරුණෑගල බලා ගොස් අවසන් ය.

මෙම තරග විනිසුරුවරුන් පිළිබඳව උද්ගතව ඇති තත්වය පිළිබඳව ඔබගේ අදහස් දක්වන්න. මෙය තරග විනිසුරුවරුන්ගේ වැඩ වර්ජනයක් ද? එසේත් නැත්නම් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවැරදි ද? පහතින් ඔබගේ අදහස් දක්වන්න

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට