මහනුවර පාපන්දු ක්‍රීඩාංගණවල ගැටලුව

404

කලක් පාපන්දු ක්‍රීඩාවේ දක්‍ෂයින්ට තෝතැන්නක්ව තිබූ මහනුවර ප්‍රදේශය අද වන විට පාපන්දු ක්‍රීඩාව සඳහා අවශ්‍ය මූලික පහසුකම් පවා නොමැති ප්‍රදේශයක් බවට පත්ව ඇත. ඒ අනුව මේ වන විට මහනුවර ප්‍රදේශයේ ක්‍රීඩා සමාජවලට පුහුණුවීම්වල නිරත වීමට පවා අපහසු තත්වයක් උදා වී ඇත.

වර්තමානයේ ශූරයින්ගේ කුසලානයට මහනුවර ප්‍රදේශය නියෝජනය කරමින් කිසිදු කණ්ඩායමක් සහභාගී නොවේ. උදා වී ඇති මෙම කණගාටුදායක තත්වය පිළිබඳව සොයා බැලීමේ වගකීම බාර ගත් ThePapare.com අපි, මේ පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කළෙමු.

උතුර, නැගෙනහිර සහ මධ්‍යම පළාතේ තේරීමේ කටයුතු අවසන්

2018 වසරේ දී පැවැත්වීමට නියමිත අවුරුදු 19න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ..

තමන්ගේ මිතුරන් සමඟ පාපන්දු ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් මොනවා ද? පන්දුවක්, සපත්තු සහ ගෝල රාමුවක්. නමුත් ඒ සියල්ලටම පෙර ක්‍රීඩාංගණයක් අවශ්‍ය වේ.

මීට වසර කිහිපයකට පෙර මහනුවර කේන්ද්‍ර කර ගත් පාපන්දු ක්‍රීඩාංගණ කිහිපයක්ම දක්නට ලැබුණි. ගැටඹේ, නිත්තවෙල, පොඩි බෝගම්බර, පොලිස් සහ ඓතිහාසික බෝගම්බර ක්‍රීඩාංගණය ආදී ක්‍රීඩාංගණවලට ඒ අතරින් ප්‍රධාන තැනක් හිමි වේ. මෙම ක්‍රීඩාංගණ සියල්ල තුළ තරුණයින්ට නිදහසේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමට හැකි විය. නමුත් වර්තමානයේ ඇති තත්වය එය නොවේ. අද වන විට මේ ක්‍රීඩාංගණ සියල්ලම පාහේ වෙනත් කටයුතුවලට යොදා ගෙන ඇත. ක්‍රීඩාවේ දී හැකියාවන් වර්ධනය කර ගැනීමට නම් නිරන්තර ක්‍රීඩාවේ නිරත වීම අත්‍යවශ්‍ය කාරණයකි. නමුත් ප්‍රදේශයේ තරුණයින්ට පාපන්දු ක්‍රීඩාවේ නිරත වීමට ඇති ඉඩකඩ බෙහෙවින් සීමා සහිත වී ඇත. එමනිසා මෙම තත්වය මහනුවර ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩාව අගාධයට යාමට බෙහෙවින් බලපා ඇති බව ප්‍රකාශ කළ හැකිය.

මහනුවර ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් හොඳ නමක් හිමි කර ගෙන සිටින පුද්ගලයෙක් සමඟ ThePapare.com අපි සංවාදයක නිරත වූ අතර ඔහු මේ උදා වී තිබෙන තත්වය සම්බන්ධයෙන් අප හට කරුණු පෙන්වා දීමට එකඟ විය.

“මහනුවර ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩාව මේ වන විට ගොඩක් පහළ මට්ටමක තිබෙන්නේ. ඒකට ගොඩක්ම හේතු වෙලා තිබෙන්නේ ක්‍රීඩාංගණවල තිබෙන අඩුව. නිත්තවෙල ක්‍රීඩාංගණය දැන් සම්පූර්ණයෙන්ම භාවිතා වෙන්නේ රග්බි ක්‍රීඩා කටයුතුවලට. ක්‍රීඩාංගණය බදු දීලා තිබුණ කාලය අවසන්ව තිබුණත් ඇමතිවරයෙකුගේ උදව්වෙන් ඒක නැවතත් අලුත් කරලා. ගැටඹේ ක්‍රීඩාංගණය දැන් යොදා ගන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා. පොලිස් ක්‍රීඩාංගණයත් දැන් නැහැ.”

ක්‍රීඩාංගණවල අඩුව ප්‍රදේශයේ තරුණයින්ට බලපා ඇත්තේ කෙසේ දැයි විමසා සිටි විට ඔහු ප්‍රකාශ කළේ.

“තරුණයින්ගේ සහභාගීත්වය පහත වැටිලා නැහැ. නමුත් අපිට සිදු වෙලා තිබෙනවා දෙයියන්වල සහ ආරුප්පල වැනි ක්‍රීඩාංගණ භාවිතා කරන්න. ඒවා ක්‍රීඩකයින් පුහුණු කරන්න තරම් විශාල නැහැ. ඒ වගේම මහයියාව ක්‍රීඩාංගණයේත් මේ වන විට ගෝල රාමු ඉවත් කරලා තිබෙනවා. ඒක දැන් භාවිත වෙන්නේ හොකී ක්‍රීඩාව සඳහා.”

ශ්‍රී ලාංකේය දේශීය පාපන්දු ක්ෂේත්‍රය තුළ විශිෂ්ට දස්කම් දැක්වූ කණ්ඩායම් කිහිපයක්ම මහනුවර ප්‍රදේශයෙන් බිහි වී ඇත. මේ අතර සන්රයිස් SC සහ යෝක් SC වැනි කණ්ඩායම් සුවිශේෂී වන අතර ඊට අමතරව ශූරයින්ගේ කුසලානය සඳහා ද ක්‍රීඩා කළ හයිලයින් SC කණ්ඩායම ද අතිශය වැදගත් වේ. මේ අතරින් සමහර කණ්ඩායම් ඉතා පහළ තත්වයකට අද වන විට ඇද වැටී අවසන් වන අතර තවත් සමහර කණ්ඩායම් මේ වන විට ක්‍රියාකාරී තත්වයක ද නොපවතී.

“මහනුවර ප්‍රදේශයේ පවතින කණ්ඩායම්වලට මූල්‍යමය වශයෙන් ගැටලු රාශියක් තිබෙනවා. සාමාන්‍යයෙන් ක්‍රීඩාංගණවල ගාස්තුව ගෙවන්නෙත් ක්‍රීඩා සමාජවල හිමිකරුවෝ. ඒකත් අද වන විට අපහසු කාර්යයක් වෙලා තිබෙන්නේ. බෝගම්බර ක්‍රීඩාංගණයට එක් දවසක් සඳහා රු. 10,500ක් වැය වෙනවා. මට ආරංචි වුන විදිහට ඒ ගණන දැන් තවත් වැඩි වෙලා. මේ හේතුවෙන් මහනුවර පාපන්දු ලීග් තරගාවලිය පැවැත්වීම අපහසු කටයුත්තක් වෙලා තිබෙන්නේ. ඒ වගේම පුහුණුවීම් කටයුතු සඳහා තිබෙන ඉඩකඩ ද ඉතා සීමිතයි. මහනුවර ප්‍රදේශයේ මේ වන විට තිබෙන ප්‍රබලම කණ්ඩායම වන ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම පුහුණුවීම් කටයුතු සඳහා භාවිතා කරන්නේ ගම්පොළ සහිරා විද්‍යාලයේ ක්‍රීඩාංගණය. ඒකෙත් නඩත්තු කටයුතු නිසි ආකාරයකට සිදු වෙන්නේ නැහැ. සමස්ත සම්මේලනයේ තත්වය ඉහළ ගිහින් තිබුණත් අපිට ක්‍රීඩාව ඉහළට රැගෙන යන්න අපහසුයි.”

“ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් මහනුවර ප්‍රදේශයෙන් ඉවත් වී ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩාවේ අනාගතය තහවුරු කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් සමඟ එක්වීම මේ වන විට සුලබ කටයුත්තක් වෙලා. ඒ නැත්නම් ඔවුන් කොළඹට ගිහින් එහි කණ්ඩායම්වලින් හොඳ ආදායමක් ලැබෙන නිසා ඒ කණ්ඩායම් සමඟ එක් වෙනවා. මේ ක්‍රමයෙන් දක්‍ෂ ක්‍රීඩකයින් මහනුවර කණ්ඩායම්වලින් ඈත්වීම නිසා නුදුරු අනාගතයේ දී දේශීය තරගාවලිවල දී හොඳ තරගයක් ලබා දෙන්න පුළුවන් මහනුවර ප්‍රදේශයේ කණ්ඩායමක් නැතිම වෙලා යයි.”  

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

අලුත්ගමගේ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මහනුවර ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිතව තිබූ ක්‍රීඩාංගණය පිළිබඳව විමසා සිටි විට ඔහු ප්‍රකාශ කළේ;

“ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ඩොලර් මිලියන සිය ගණනක වියදමින් ඉදි කරන ක්‍රීඩාංගණයක් මහනුවර ප්‍රදේශයට ලබා දෙන්න අපිට පොරොන්දු වුනා. මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට නියමිතව තිබුණේ දංගොල්ල ප්‍රදේශයේ මාස 6ක විකල්ප පදනමක් මත අවුරුදු 30ක කල්බදු ක්‍රමයට මහනුවර මහ නගර සභාව විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලබා දුන් ක්‍රීඩාංගණයක. මේකට ගැසට් පත්‍රයකුත් නිකුත් කෙරුණා. මුදල් පවා ලබා දුන්නා. නමුත් අවසානයේ ක්‍රීඩාංගණය ඉදි වුනේ නැහැ.”

“මෙහි වගකීම සම්පූර්ණයෙන්ම මහනුවර මහා නගර සභාව බාර ගත යුතුයි. ඔවුන්ගේ දුර්වල පරිපාලනය නිසා පාපන්දු ක්‍රීඩාවට අවශ්‍ය මූලික පහසුකම් වත් ලැබෙන්නේ නැහැ. මෙම ක්‍රීඩාංගණයේ ගැටලුව පිළිබඳව අපි කතා කරන්න පටන් ගත්තොත් ඔවුන් ඒක මඟ හැරලා යනවා. මේ විදිහට කටයුතු ඉදිරියටත් සිදු වුණොත් මහනුවර ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩාව නැවත කවදාවත් නඟා සිටුවන්නට බැරි වෙන විදිහේ තත්වයකට කඩා වැටෙයි.”

කළුතර තරුව; නිර්මාල් උදාර

ප්‍රතිවාදීන්ව පීඩනයට පත්කරන වේගයක් සහ මොහොමඩ් ඉසදීන්ව සිහි කැඳවන ගෝල ලබා ගැනීමේ හැකියාවක් ..

මහනුවර වැදගත්ම ක්‍රීඩාව රග්බි ක්‍රීඩාව වේ. නමුත් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ බහුලව ක්‍රීඩා කෙරෙන පාපන්දු ක්‍රීඩාව මීට පෙර කිසිදු දිනක මහනුවර ප්‍රදේශයේ මෙවන් ආකාරයකට කඩා වැටී නොමැත. ක්‍රීඩාංගණයක් වැනි මූලිකම දෙයක් පවා නොමැති වීම කිසිසේත්ම අනුමත කළ හැකි තත්වයක් නොවේ. ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉහළ තලයකට රැගෙන යමින් අවම වශයෙන් දකුණු ආසියානු තලය වත් ජයග්‍රහණය කළ හැකි තත්වයකට එය රැගෙන ඒමට අවශ්‍ය නම් මෙවන් ගැටලු වලට වහාම විසඳුම් ලබා දීමට නිසි බලධාරීන් කටයුතු කළ යුතුය.

මේ පිළිබඳව විමසීම සඳහා ThePapare.com අපි, මහනුවර මහා නගර සභාවේ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවත් ඔවුන්ගේ කාර්යාලයීය මෙන්ම පෞද්ගලික දුරකථන අංක හරහා ද ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට අපට නොහැකි විය.  

ඉන් අනතුරුව මෙම ගැටලුව අපි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත රැගෙන ගිය අතර ඔහු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අරුණ ද සිල්වා මහතා සම්බන්ධ කර ගනිමින් මෙම ගැටලුවට කෙටි කාලීන විසඳුමක් ලෙස දිගන ක්‍රීඩාංගණයේ දී පාපන්දු තරග පැවැත්වීමට කටයුතු සම්පාදනය කර දුන්නේය. එමෙන්ම මෙම ගැටලුවට දිගු කාලීන විසඳුමක් ලබා දීමට පියවර ගැනීමට ද ඔහු පොරොන්දු විය.

මෙම වටිනා ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා බලධාරීන් ලබා දුන් පොරොන්දු ඔවුන් අකුරටම ඉටු කරනවා දැයි ThePapare.com නිරන්තර අවධානයෙන් පසු වේ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<