මේවෙදර් ගහගන්න වගේම පොරකන්නත් සූදානම්

352

අපරාජිත වෘත්තීය බොක්සිං ශූර ෆ්ලොයිඩ් මේවෙදර් පසුගිය වසරේ පැවති මේවෙදර් – මැක්ග්‍රෙගර් බොක්සිං සටනෙන් පසුව තමන් බොක්සිං වළල්ලෙන් සමුගන්නා බව පවසා සිටියත්, මේ වන විට ඔහු පවසන්නේ තමන් මිශ්‍ර සටන් කලා (MMA) පිටියට පා තැබීමට සූදානම් බවයි.

ජපානයේ ‘RIZIN සටන් පදනමසමඟින් ගිවිසුම්ගත වීමත් සමඟ මේවෙදර් මෙය තහවුරු කර තිබේ. එමෙන්ම 20 හැවිරිදි ජපන් කික් බොක්සිං ක්‍රීඩකයෙකු වන ටෙන්ෂින් නසුකාවා ඔහුගේ පළමු වෘත්තීය MMA ප්‍රතිවාදියා වන බව ද සඳහන් වේ.

මිශ්‍ර සටන් කලා ශූරයෙකු වන කොනර් මැක්ග්‍රෙගර් වෘත්තීය බොක්සිං වළල්ල තුළ දී මේවෙදර් හා සටන් වැදී පරාජය වීමත් සමඟ, දෙදෙනා මිශ්‍ර සටන් කලා පිටියේ දී හමුවනු දැකීම ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවක් විය.

cdn.vox-cdn.com – මේවෙදර් – මැක්ග්‍රෙගර් බොක්සිං සටනේ දසුනක්

මේවෙදර් – මැක්ග්‍රෙගර් සටනින් පසුව වාර්තා වූයේ මේවෙදර් මිශ්‍ර සටන් කලා හදාරමින් සිටින බවයි. මැක්ග්‍රෙගර් සමඟින් මිශ්‍ර සටන් කලා පිටියට බසින්නට සැලසුම් සකස් කරන මේවෙදර්ගේ පළමු පියවර ලෙසයි ජපානයේ දී ඔහු සහභාගී වන MMA තරගය පිළිගත හැක්කේ.

මට පොඩි පොරයක් දාන්න පුළුවන්, පොඩ්ඩක් ගහගන්න පුළුවන්. මං හිතුවොත් මට ඕන දෙයක් කරන්න පුළුවන්.” මේවෙදර් රොයිටර් හමුවේ එසේ පවසා තිබිණි.

බොක්සිං ක්‍රීඩාවේ දී ක්‍රීඩකයෙකුට පහර දීම සඳහා භාවිත කළ හැක්කේ දෑත් පමණි. එහෙත් මිශ්‍ර සටන් කලා තුළ දී හිස හැර අන් ඕනෑම ශරීර කොටසකින් ප්‍රතිවාදියාට පහර දිය හැකි අතර ඊට පොරබැදීම් සහ විලංගු දැමීම් (submissions) ද භාවිතා කළ හැකිය. එබැවින් මේවෙදර් කෙතරම් දක්ෂ බොක්සිං ශූරයෙකු වුවද ඔහුට හොඳ පුහුණුවීමක් අත්‍යාවශ්‍ය වනු ඇත.

ඉකුත් මාසයේ දී කොනර් මැක්ග්‍රෙගර් සහ කබීබ් නමගොමෙඩොව් අතර පැවති මිශ්‍ර සටන් කලා සටන ලොව පුරා කතාබහට ලක්වූයේ තරගයෙන් අනතුරුව පුහුණු කාර්යමණ්ඩල සහ ක්‍රීඩකයන් ගැටුමකට මුලපිරූ බැවිනි. පසුව කබීබ්ද මේවෙදර්ට එරෙහිව බොක්සිං සටනක් ඉල්ලා සිටියේය. ඒ සඳහා මේවෙදර් විසින් ඉල්ලා සිටි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100කි. පසුගිය වසරේ මැක්ග්‍රෙගර්ට එරෙහි සටනින් පසුව ඇමරිකානු ඩොලර් ලක්ෂ 700කට වඩා මුදලක් උපයා ගැනීමට මේවෙදර් සමත් විය. කබීබ් තමන්ට අභියෝග කළ බැවින් ඔහුට එරෙහිව බොක්සිං සටනක් ලබා දීමට එකඟ වන බව ද මේවෙදර් පවසා තිබුණි.

වෘත්තීය බොක්සිං සටන් 50ක් තුළ දී අපරාජිත ශූරයෙකු වන, එමෙන්ම 2017 වසරේ වැඩිම ආදායමක් සහිත ක්‍රීඩකයා වන ෆ්ලොයිඩ් මේවෙදර්ගේ වාර්ෂික වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ද ඉක්මවා තිබිණි. ජපානයෙන් අරඹන ඔහුගේ මිශ්‍ර සටන් කලා දිවිය සාර්ථක වුවහොත් ලොව ප්‍රමුඛතම මිශ්‍ර සටන් කලා ප්‍රවර්ධකයා වන UFC කරා යෑමට සහ එය මුදල් වලින් උතුරවා දැමීමට ඔහුට හැකි වනු ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<