බ්‍රසීල පාපන්දු පිටිය කම්පා කරමින් ගිනි රකුසාට 10ක් බිලි

223

මුළු මහත් පාපන්දු ලොවම කම්පා කළ පුවතක් පසුගිය සිකුරාදා බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවරින් වාර්තා වුනා.

රියෝ ද ජැනයිරෝ හී ප්‍රකට පාපන්දු කණ්ඩායමක් වූ ෆ්ලැමෑගෝ (Flamengo) පාපන්දු කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයින් රැඳී සිටි ක්‍රීඩා සමාජ පුහුණු භූමියේම නවාතැන් පොලක ඇතිවූ ගින්නක් නිසා ළාබාල යොවුන් ක්‍රීඩකයින් 10කට දිවි අහිමි වී තිබුණා. තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් අනතුරට පත් වී තිබුණු අතර ඉන් එක් අයෙකුට අසාධ්‍ය බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මියගිය ක්‍රීඩකයින් සියලු දෙනාම වයස අවුරුදු 14ත් 16ත් අතර වීම ඉතා කණගාටුදායක කරුණක්. එම ක්‍රීඩකයින් සියලු දෙනාම පාහේ ෆ්ලැමෑගෝ ක්‍රීඩා සමාජයේ යොවුන් කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් හෝ එම කණ්ඩායමට ඇතුළු වීමට තේරීම් තරග සඳහා පැමිණි ක්‍රීඩකයින් බව සඳහන්.

අනතුරට පත් වී දිවි බේරා ගෙන තිබූ ක්‍රීඩකයින් තිදෙනා වහා රෝහල්ගත කර තිබූ බවත් ඉන් එක් ක්‍රීඩකයෙකුගේ ශරීරයෙන් 30%ක් පමණ පිළිස්සී ඇති නිසා ඔහුගේ ජීවිතය අවදානම් බවත් ෆ්ලැමෑගෝ ක්‍රීඩා සමාජය නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වුනා.

රියෝ හී නගරාධිපති කාර්යාලය පවසා තිබුණේ ක්‍රීඩකයින්ට නවාතැන් සඳහා ලබා දී තිබුණු ගොඩනැගිල්ල අවසරයකින් තොරව සකස් කළ එකක් බවයි.

“මේ ප්‍රදේශයේ සැලැස්මට අනුව මේ ඉඩම වෙන් කර ඇත්තේ වාහන නවත්වන ස්ථානයක් ලෙස.” නගරාධිපති කාර්යාලය පවසා තිබුණි.” මේ ස්ථානයේ ලැගුම් හලක් ඉදි කරන්න කිසිම අවසරයක් ඉල්ලා නැහැ.”

(ෆ්ලැමෑගෝ ක්‍රීඩා සමාජයේ ප්‍රේක්ෂකයින් විසින් ජිවිතක්ෂයට පත් වූ ක්‍රීඩකයින් පිළිබඳව තබා තිබූ සටහනක්)

Ninho do Urubu නම් මෙම සිදුවීම ඇතිවූ ෆ්ලැමෑගෝ ක්‍රීඩා සමාජයේ නවතම ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානය නැවත නවීකරණය කර විවෘත කෙරුණේ මීට මාස දෙකකට පෙරයි.

විදෙස් වාර්තාවලට අනුව ගින්න හටගෙන ඇත්තේ මධ්‍යස්ථානයේ පැරණි කොටසින්. එම කොටස් කඩා දැමීමට නියමිතව තිබූ බවත් සඳහන්. ගිනි අනතුරු සංඥා උපාංග යොදා තිබුණු බව තවමත් නිශ්චිත නොමැති අතර ගොඩනැගිල්ලේ යකඩ වහලය ගින්නෙන් ඇඹරි ගොස් තිබුණි.

මිනිසුන් 13 දෙනෙක් ගින්නෙන් බේරී ගොඩනැගිල්ලෙන් ඉවතට යෑමට සමත් වී තිබුණු අතර ගින්න ඉතා දරුණු වූ නිසා ගිනි නිවන භටයින්ට ගිනි නිවීම හෝ එම ගොඩනැගිල්ලට පිවිසීම ඉතා අපහසු වී ඇත.

“මේ වසර 123ක ෆ්ලැමෑගෝ ඉතිහාසයේ ශෝකජනකම අවස්ථාවයි” ක්‍රීඩා සමාජයේ සභාපති Rodolfo Landim අදහස් දක්වමින් පවසා සිටියා.

ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැතත් එක් යොවුන් ක්‍රීඩකයෙක් තමන්ගේ කාමරයෙන් ගින්න ඇරඹුණු බව පවසා තිබෙනවා.

“මගේ කාමරයේ තිබුණු වායු සමීකරණය එක්වරම ගිනි ගත්තා, වහාම මම එළියට දිව්වා ” දිවි ගලවා ගත් 17න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ Felipe Cardoso පවසා තිබුණා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<