ක්‍රිකට් ක්‍රීඩාංගණ ඇති අපට ජාත්‍යන්තර වරම් අහිමි ද?

2282

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩලය විසින් සියලු සාමාජික රටවල් සඳහා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙන පුවතක් පසුගිය දා දැනගන්නට ලැබුණි.

රටවල් 104කට ජාත්‍යන්තර විස්සයි විස්ස මට්ටම

ඉන්දියාවේ කොල්කටා හී පැවති අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම් මාලාවෙන් අනතුරුව..

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් ස්මිත් හට කැනඩාවේ  පැවැත්වෙන දේශීය ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වීමට ආරාධනා කර ඇත. ඔහු එම ආරාධනය පිළිගත්ත ද කැනඩාවේ මේපල් ලීෆ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු වරට ක්‍රීඩා කරනු ලබන ජාත්‍යන්තර ක්‍රීඩකයා වීමේ භාග්‍යය ඔහුට හිමි වන්නේ නැත. මන්දයත් ජාත්‍යන්තර තරග 22ක් පවත්වා ඇති එම ක්‍රීඩා පිටියේ මීට පෙර සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, මිස්බා උල් හක් හා සහීඩ් අෆ්රිඩි යන ක්‍රීඩකයින් තරග සඳහා සහභාගී වී ඇත.

ලොව ඇති ඉහළම තරගාවලි සඳහා සත්කාරකත්වය ලබා දී ඇති නමුත් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමිනොවූ රටවල් වල තිබෙන ක්‍රීඩාංග කිහිපයක් පිළිබඳව අප මෙතැන් සිට ඔබේ අවධානයට ගෙන එනවා.

සිංගප්පූරුව

අග්නිදිග ආසියාවේ කුඩා නමුත් අතිශයින් දියුණු ආර්ථිකයක් හිමි රටක් වන සිංගප්පූරුව සතුව අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණ දෙකක් පවතිනවා.

වර්තමානයේ පැඩෝන් ක්‍රීඩා පිටිය ලෙස හඳුන්වන ක්‍රීඩාංගණය සිංගප්පූරු ක්‍රිකට් සමාජය හා සම්බන්ධය. වර්ෂ 1837 දී ආරම්භ කරන ලද එම ක්‍රීඩාංගණයේ දී වරක් අළු බඳුන තරගාවලියක් ද පවත්වා තිබෙනවා.   

එමෙන්ම ශ්‍රී ලංකාව, ඉන්දියාව හා පාකිස්තානය අතර වර්ෂ 1996 අප්‍රේල් මස 1 වැනිදා සිට 7 වනදා දක්වා පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වයද දරන ලද්දේ ද මෙම

ක්‍රීඩා පිටියයි. එහි දී තරගාවලියේ ශුරතාවය දිනා ගනු ලබුවේ පාකිස්තානු කණ්ඩායම වන අතර අනුශුරතාවය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

මේ තරගාවලියේ මෙන්ම ලෝක ක්‍රිකට් වංශ කතාවේ ඉතාමත් වැදගත් ස්ථානයක් බවට මෙම ක්‍රීඩාංගණය පත්වුනේ මාස්ටර් බ්ලාස්ටර් නොහොත් සනත් ජයසූරිය එම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පන්දු 17ක දී අර්ධ ශතකයක් ලබා ගැනීමයි. එය එවකට ලොව වේගවත්ම අර්ධ ශතකය බවට පත්වූ අතර පසුකාලීනව (2015) එම වාර්තාව දකුණු අප්‍රිකාවේ ඒ. බී. ඩිවිලියස් විසින් තම නමට ලියා ගත්තේය.

>> 2021 ශූරයින්ගේ කුසලානය නෑ

සිංගප්පූරුව සතු අනෙක් අන්තර්ජාතික ක්‍රිකට් පිටිය නම් කැලෝන්ග් ක්‍රීඩාංගණයයි. එහි දී පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය පවත්වා ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතරයි. අනතුරුව මෙම පිටියේ ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා නවසීලන්තය යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් සිංගප්පූරු අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්විණි.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ශූරතාවය හිමි වූ මේ තරගාවලිය පැවති ක්‍රීඩා පිටියේ 4 හා 6 සීමා තරමක් ළඟ පිහිටි නිසාවෙන් දෝ සචින් ටෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, ඇන්ඩි ෆලවර් යන ක්‍රීඩකයින්ගේ එහි එක් තරගයක දී ලබා ගත් 6 පහරවල් හි සාමාන්‍යය 12.75ක් පමණ විය.

මොරොක්කෝව

උතුරු අප්‍රිකාවේ පිහිටා ඇති මොරොක්කෝ රාජ්‍යය ද තම රට තුල ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට කටයුතු කළ රටකි. එහි ඇති ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගය ටැන්ගීර් හි පිහිටා තිබේ. එකවර ප්‍රේක්ෂකයින් 5000කට පමණ අසුන් ගත හැකි මේ පිටිය වර්ෂ 2002 දී සාදා නිම කොට ඇති අතර එම වසරේම අගෝස්තු මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරග 7ක් එහි පවත්වා තිබුණ ද (මොරොක්කෝ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය) ඉන්පසුව එකඳු ජාත්‍යන්තර තරගයක් හෝ එහි පවත්වා නොමැත.  

මොරොක්කෝ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව හා පාකිස්තානය තරග වැදුණු අතර අවසන් තරගයේ දී දකුණු අප්‍රිකාව ලකුණු 27කින් පරාජය කළ ශ්‍රී ලංකාව එහි ශූරතාවය දිනා ගත්තේය. එම තීරණාත්මක තරගයේ දී නායක සනත් ජයසූරිය ලකුණු 71ක් ලබා ගන්නා ලදි. එය උතුරු අප්‍රිකාවේ පැවති පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ද වනවා. ලකුණු 299ක් රැස්කොට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට සනත් ජයසූරිය පත් වන විට, මුත්තයියා මුරලිදරන්, වකාර් යූනිස් හා ඇලන් ඩොනල්ඩ් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුනා.

සාර්ථක පුහුණු කඳවුර ගැන ඇන්ජෙලෝගේ ප්‍රශංසාව

ශ්‍රී ලංකා කණ්ඩයමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය පිළිබඳ සැකසංකා මතුව තිබියදීත්, ශ්‍රී ලංකා ක්‍රිකට්…

මැලේසියාව

DLF කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2006 වසරේ දී ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් හා ඕස්ට්‍රේලියාව යන රටවල සහභාගිත්වයෙන් තුන්කොන් තරගාවලියක් ලෙස මැලේසියාවේ අගනුවර වන කවාලම්පූර් හි පිහිටි කින්රා ඕවල් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

මෙහි අවසන් මහා තරගය සඳහා ඕස්ට්‍රේලියාව හා කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලබා ගත් අතර එම තරගය ලකුණු 127කින් ජයග්‍රහණය කිරීමට රිකී පොන්ටිං ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. තරගයේ වීරයා ලෙස වේගපන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී සම්මාන දිනා ගත්තේය.

මේ තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවති තරගයක් අතරතුර එවකට 24 හැවිරිදි මිචෙල් ජොන්සන් සිය 7 වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරමින් ඉන්දීය මුල් පෙළ ප්‍රබල කඩුලු 4ක් ද පන්දු 8ක් තුල දවා ගැනීමට ඔහු සමත් විය.

ඇමරිකා එක්සත් ජනපදය

ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම වර්ෂ 1844 සැප්තැම්බර් මස 24 වැනිදා පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කරනු ලැබුවේ කැනඩා ක්‍රිකට් කණ්ඩායම සමඟයි. එය ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෆිලඩෙල්ෆියා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එය බෙල්මන්ට් ක්‍රිකට් සමාජයේ සත්කාරක ක්‍රීඩා පිටිය වන අතර ඇමරිකාව සතුව ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගණ 13ක් පමණ ඇත.

සෙන්ට්‍රල් බ්රෝඩ් පාර්ක් ක්‍රීඩා පිටියේ ඇති ඇමරිකානු ධජය // Getty

ඒ අතරින් සෙන්ට්‍රල් බ්රෝඩ් පාර්ක් ක්‍රීඩා පිටිය ප්‍රේක්ෂකයින් 20,000කට පමණ අසුන් ගැනීමට හැකි ෆ්ලොරීඩා ප්‍රාන්තයට අයත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වේ. මෙම ක්‍රීඩා පිටිය බටහිර ඉන්දීය කොදෙව් දේශය විසින් සංවිධානය කරන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියක් සඳහා සත්කාරකත්වය දක්වා ඇති අතර ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 6ක් ද එහි පවත්වා තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව ද එම පිටියේ තම මංගල විස්සයි විස්ස තරගය නවසීලන්තය සමඟ ක්‍රීඩා කරන ලදි.

මෙම තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් හැරෙන්නට එකඳු පිතිකරුවෙක්ට හෝ සාර්ථක වීමට අවස්ථාව නොලැබුනත් තරගාවලියේ දෙවන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක ජයක් ලබා ගත්තේය. නුවන් කුලසේකර හා ලසිත් මාලිංග එහි දී කඩුලු 3 බැගින් දවා ගනිමින් සිය දස්කම් දැක්විය.

සෙන්ට්‍රල් බ්රෝඩ් පාර්ක් පිටියේ මෙතෙක් වාර්තා වී ඇති තියුණුම විස්සයි විස්ස ජය (එක් ලකුණක ජයක්) ලබාගෙන ඇත්තේ කොදෙව් දේශයයි. ඒ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව වන අතර 2016 වර්ෂයේ පැවති මේ තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 245ක් ලබා ගත්තා.

ලෝක විස්සයි විස්ස කණ්ඩායමට තවත් දෙන්නෙක්

ඉන්දියානු තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා හා කඩුලු රකින පිතිකරු දිනේෂ් කර්තික් ICC ලෝක…

කැනඩාව

කැනඩාවේ කිං සිටි හි පිහිටි මේපල් ලීෆ් ක්‍රිකට් ක්‍රීඩාංගණය එක්දින ජාත්‍යන්තර තරගයකට සිය සත්කාරකත්වය ලබා දුන්නේ 2008 වර්ෂයේ ජුනි 28 වැනිදා යි. එම තරගය කැනඩාව හා බර්මියුඩාව අතර පැවැත්විය. මෙම ක්‍රීඩා පිටියේ ද ශ්‍රී ලංකා සන්නාමය ඉහළින්ම ලියවී ඇත්තේ එහි මංගල විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වූ නිසයි. තරගය කඩුලු 5කින් ජය ගැනීමට ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඉන්දියාව හා පාකිස්තානය අතර සහරා මිත්‍රත්ව කුසලානය වෙනුවෙන් සත්කාරකත්වය දරන ලද ටොරෙන්ටෝ ක්‍රිකට් පිටිය කැනඩාවේ ඇති වැඩිම ප්‍රේක්ෂකයින් ගණනකට අසුන් ගැනීමට හැකි එකම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යි. හි දී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 5ක් පැවැත්වූ අතර ඉන් තරග 4-1ක් ලෙස තරගාවලියේ ජය ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

සහරා මිත්‍රත්ව කුසලානය දිනූ පාකිස්තාන කණ්ඩායම ටොරෙන්ටෝ පිටියේ දී සිය ජය සමරමින් // Getty

වර්ෂ 1996 සිට වර්ෂ 1999 දක්වා කාලය තුළ ටොරෙන්ටෝ ක්‍රිකට් පිටිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් කාර්ය බහුල පිටියක් බවට පත්ව තිබිණි. පසුව වර්ෂ 7ක නිහැඩියාවකින් අනතුරුව 2006 වසරේ දී කැනඩාව හා කෙන්යාව අතර එක්දින තරගයක් පැවැත්වීමට ඊට අවස්ථාව ලැබිණි. මෙම ක්‍රීඩාංගනයේ අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ 2011 වර්ෂයේ දී කැනඩාව හා ඇෆ්ගනිස්තානය අතරයි.

ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත වෙමින් පවතින රටවල් කිහිපයක්ම මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරගයක් පවත්වා ගැනීමට උචිත ක්‍රීඩාංග ද, කණ්ඩායම් ද නිර්මාණ කරගෙන ඔවුන් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලැබෙන තුරු දෑස් දල්වා බලා සිටී.

රටවල් 104කට ජාත්‍යන්තර විස්සයි විස්ස මට්ටම

ඉන්දියාවේ කොල්කටා හී පැවති අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම් මාලාවෙන් අනතුරුව…

ඔවුන් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසුගිය දා මෙවන් ආකාරයක සුබ පණිවිඩයක් නිකුත් කරන ලදි.  

“ඉන්දියාවේ කොල්කටා හී පැවති අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම් මාලාවෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩලය ICC විසින් සියලු සාමාජික රටවල් සඳහා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා.”

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<