තිසර ඉතිහාසගත ජයග්‍රහණයකට සැරසෙයි

රෙක්ස් ක්ලෙමන්ටයින් ඉන්දියාවේ සිට වාර්තා කරයි

221

මේ වන විට කණ්ඩායමේ නායකත්වය දරන තිසර පෙරේරා එම ධුරයේ කෙතරම් කාලයක් කටයුතු කරනු ඇත්ද යන්න තවමත් නිශ්චිත නොමැති අතර කෙසේ නමුත් පෙනී යන අන්දමට චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන ගැන තීරණයක් ගන්නා තෙක් තිසර කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.

මොහාන් ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති පුටුවට

2017 දෙසැම්බර් 6 වනදා සිට මොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති..

කුමක් වුවත් ඔහු මේ වන විට මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රිකට් නායකයෙක් ලබා ගැනීමට අපොහොසත් වූ ජයග්‍රහණයක් ලබා ගැනීමේ අභියසට පැමිණ ඇත. එනම් ඉන්දියාවේ දී තරගාවලියක් ජයග්‍රහණය කිරීමයි. අද (13) මොහාලි හිදී දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දී හෝ විශාකාපට්නම් හිදී පැවැත්වෙන තෙවන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට තිසර සමත් වුවහොත් ඔහුට අනිවාර්යයෙන්ම 2019 වසර දක්වා කණ්ඩායමේ නායකත්වය හිමි වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම 1997 වසරේ දී පැවති ‘Independence Cup’ තරගාවලිය ජයග්‍රහණය කරනු ලැබුවත් එය සිව්කොන් තරගාවලියක් විය. එමෙන්ම එහි දී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක අතර තරග 3ක් පවත්වා තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායම තීරණය කෙරුණු අතර එය පැවැත්වුණේ ද පාකිස්තාන කණ්ඩායම සමඟ විය. ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී පැවති එක්දින තරගාවලියක දී වාර්තා කර ගත් ඉහළම දක්‍ෂතාවය එම වසරේම අග භාගයේ දී වාර්තා වූ අතර එහි දී තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1-1ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

“අපිට තරගාවලිය ජයග්‍රහණය කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. කිසිම ශ්‍රී ලංකා කණ්ඩායමකට ඉන්දියානු කණ්ඩායමක් ඉන්දියාවේ දී පරාජයට පත්කරන්න මේ වෙනකං පුළුවන් වෙලා නැහැ. අපි මේ තරගය ජයග්‍රහණය කරලා තරග 2-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් පළමු තරගය ගැන අමතක කරලා හොඳ අවධානයකින් යුතුව ඊළඟ තරගයේ දී හොඳින් ක්‍රීඩා කළ යුතුයි.”

ඔහු ඊයේ (12) අදහස් දක්වමින් පැවසීය.

දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලියේ 3 වන තරගයේ දී ශතකයක් වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා එහි දී ආබාධයකට ලක්වීමෙන් අනතුරුව ඔහුට එක්දින තරගාවලියේ පළමු තරගය ද අහිමි වූ අතර ඔහු මේ වනතුරුත් ඉන් සුවය ලබා නොමැත.

එමෙන්ම පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කණ්ඩායම් ධරම්සාලා නුවරින් මොහාලි නුවර දක්වා පිටත්වීම දිනකින් ප්‍රමාද වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මොහාලි නුවර බලා පැමිණියේ ඊයේ උදෑසන ය. කෙසේ නමුත් ඔවුන් එහි දී පුහුණු සැසියක් ද පවත්වන ලදි.

මෙම තරගය අඳුරු කාලගුණ තත්වයක් යටතේ පැවැත්වීමට සිදුවුවත් එය ඉහළ සංඛ්‍යාවක් වාර්තා වන තරගයක් වනු ඇති බවට තමන් විශ්වාස කරන බව තිසර අදහස් දක්වමින් පැවසීය.

නව තරගාවලියට සුපිරි සංචිතයක්; නායකයා චන්දිමාල්

මේ මස 14 වැනිදා සිට 17 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්යේ දී පැවැත්වීමට නියමිත..

“මම මෙහේ තියෙන තත්වය ගැන දන්නවා. මම දිගු කාලයක ඉඳන් ‘Kings XI Punjab’ කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. හැමදාම වගේම මෙහේ තියෙන්නේ පිතිකරණයට හිතකර තණතිල්ලක්. ඒ නිසා මේ තරගය ඉහළ ලකුණු ප්‍රමාණයක් වාර්තා වන තරගයක් වෙයි. කොහොම වුනත් අපි මෙහේ තියෙන තත්වය යටතේ හොඳින් ක්‍රීඩා කළ යුතුයි.”

තරගාවලියේ පැවති පළමු එක්දින තරගයේ දී ඉන්දියානු පිතිකරුවන් ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඔවුන්ට මෙම තරගයේ දී දැඩි පීඩනයක් එල්ල වනු ඇත. එහි දී ඔවුන්ගේ පළමු කඩුලු 7 ලකුණු 29ක් තුළ බිඳ වැටුණු අතර ඉන් අනතුරුව මහේන්ද්‍ර සිං දෝනි ක්‍රීඩා කළ ඉනිම හේතුවෙන් ඔවුන්ට ලකුණු 112ක් දක්වා යාමට හැකි විය.

“මෙම තරගයේ දී අපට පීඩනයක් නැහැ. හැමෝම දන්නවා වගේ අපි හෙට තරගය ජය ගත්තොත් අපිට තරගාවලියේ ජයග්‍රහණයත් හිමි වෙනවා. අපි මේ තරගයේ දීත් අපට පුළුවන් උපරිමයෙන් ක්‍රීඩා කරනවා. සාමාන්‍යයෙන් මම කැමතියි කලින් තරගය ජයග්‍රහණය කළ කණ්ඩායමෙන්ම මේ තරගයටත් ක්‍රීඩා කරන්න. කෙසේ නමුත් අපි තරගයට කලින් තත්වය බලලා ඒ ගැන අවසන් තීරණය ගන්නවා.”

තිසර පවසා සිටියේ ය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම දඟපන්දු යවන ක්‍රීඩක සචිත් පතිරණ වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කණ්ඩායමට ඇතුළත් කිරීමේ අදහසින් පසුවෙයි.   

 >> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<