අයි. සී. සී. චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) උදෑසන එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබුණි. ජුනි මස පළමු වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය සඳහා සති දෙකක පමණ කාලයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යන්නේ එහි දී පුහුණු තරග කිහිපයකට සහභාගී වීමට සහ කාලගුණ තත්ත්වයට හැඩගැසීම සඳහා ද කාලය වෙන් කර ගනිමිනුයි.

ශූරයින්ගේ කුසලානය උණුසුම් කෙරූ ආරංචිය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අට වන වරටත් සංවිධානය කරනු ලබන ශූරයින්ගේ කුසලානය සඳහා.

තරගාවලියට සහභාගී වීම සඳහා පිටත්ව යාමට පෙර ඊයේ (17) පස්වරුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ පරිපාලකයන් මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සහභාගී විය. කොළඹ දී පැවතී මේ මාධ්‍ය සාකච්ඡාවට පෙර කණ්ඩායමේ නිල ඡායාරූපය ගැනීම ද සිදු කරන ලදි.

SL TEAM

මෙම මාධ්‍ය සාකච්ඡාව ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ තරගාවලියට සූදානම් වීම සඳහා ක්‍රීඩකයන් හට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළ බවයි. එමෙන්ම ඉතිහාසයේ පළමු වරට කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා ඉහල වටිනාකමකින් යුතු රක්ෂණාවරණයක් ලබා දීමට ද කටයුතු කර තිබෙන බවයි ක්‍රිකට් සභාපතිවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කලේ.

>> ඡායාරූප ඇල්බමය <<

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියකට පෙර සහභාගී නොවන ආකාරයේ ඉතා විධිමත් සහ ඵලදායී පුහුණු සැසි කිහිපයක්  සංවිධාන කරන්නට මෙරට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබූ අතර ලසිත් මාලිංග හැර චැම්පියන්ස් කුසලාන සංචිතයේ සියලු ක්‍රීඩකයන් සම්බන්ධ කර ගනිමින්, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ අලුතින් ඉදි කෙරුණු විශිෂ්ටතා මධ්‍යස්ථානයේ පැවති නේවාසික පුහුණු කඳවුර ඉතා ප්‍රයෝජනවත් වූ බව ThePapare.com වෙත අදහස් දැක්වූ බොහෝ ක්‍රීඩකයන්ගේ මතය විය.

මේ වන විට අයි. පී. එල්. තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින ලසිත් මාලිංග එම තරගාවලිය අවසන්වීමත් සමඟ එංගලන්තයේ දී කණ්ඩායම සමඟින් එක් වනු ඇති.

තරගාවලිය සඳහා සිය කණ්ඩායමේ ඇති සූදානම පිළිබඳ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ මෙවන් අදහසක්.

චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා ‘බී’ කාණ්ඩයෙන්  තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු වටයේ ප්‍රතිවාදීන් වන්නේ, ජගත් එක්දින කණ්ඩායම් වර්ගීකරණයේ ප්‍රමුඛයන් වන දකුණු අප්‍රිකාව, පසුගිය චැම්පියන්ස් කුසලාන ශූරයන් වන ඉන්දියාව සහ පකිස්තානයයි.

2002 වසරේ අවසන් මහා තරගය සඳහා වෙන් කර තිබූ දින දෙකම වර්ෂාවට සේදී යාම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ ඉහළම ජයග්‍රහණය ලෙස සඳහන් කර හැකි වන්නේ එම තරගාවලියේ සම ශූරයන් ලෙස අභිෂේක ලැබීමයි. අවසන් වරට පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන්නට සමත් විය.

එංගලන්තයේ දී ICC චැම්පියන්ස් කුසලාන තරගාවලිය ආරම්භයට පෙර ලබන 21 සහ 23 දෙදින තුල ස්කොට්ලන්තය සමග පුහුණු තරග දෙකකට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ නිල පුහුණු තරග දෙක සඳහා ක්‍රීඩා කරන්නේ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමග පිළිවෙළින් මයි 26 සහ 30 දිනවල දී යි.

ICC චැම්පියන්ස් කුසලානයට සොයා එංගලන්තයට පියාසර කරන ශ්‍රී ලංකා සේනාංකය මෙසේයි.

ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල් , ලසිත් මාලිංග, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න, චාමර කපුගෙදර, සුරංග ලක්මාල්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්,

පුහුණු/ සහාය කාර්ය මණ්ඩලය සහ නිලධාරීන් – අසංක ගුරුසිංහ (ක්‍රිකට් කළමනාකරු), රංජිත් ප්‍රනාන්දු (තරගාවලිය  කළමනාකරු),  ග්‍රැහැම් ෆෝර්ඩ් (ප්‍රධාන පුහුණුකරු) ඇලන් ඩොනල්ඩ් (වේග පන්දු පුහුණු උපදේශක), නික් පෝතස් (පන්දු රැකීමේ පුහුණුකරු), නික් ලී (ශාරීරික යෝග්‍යතා පුහුණුකරු), අජන්ත වත්තේගම (භෞත චිකිත්සක) ශ්‍රීරාම් සොමයාජුල (පරිඝනක දත්ත විශ්ලේෂක), රොහාන් ප්‍රියදර්ශන (සම්බාහක)

2017 ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට නියමිත තරග.

  • ජුනි 03 –  දකුණු අප්‍රිකාව සමඟ (ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණය)
  • ජුනි 08 – ඉන්දියාව සමඟ (ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණය)
  • ජුනි 12 – පකිස්තානය සමඟ (කාඩිෆ් නුවර කාඩිෆ් වේල්ස් ක්‍රීඩාංගණය)

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට