ෆීජී ජාතික පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ විශ්වාසයෙන්

849
Fereti Verebula

ශ්‍රී ලංකා රග්බි පරිපාලකයන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ෆීජී ජාතික ෆෙරටි වර්බුලා පත් කළේ ලබන 14 වැනිදා සිට 20 වැනිදා දක්වා මැලේසියාවේ පැවැත්වෙන ආසියානු ශූරතා රග්බි තරගාවලිය ඉලක්ක කර ගනිමිනුයි.

මීට පෙර පැපුවා නිව් ගිනීයා සත් සාමාජික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති වර්බුලා පසුගිය වසරේ සිට යුද හමුදා රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස වගකීම භාර ගන්නා ලදි. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ යුද හමුදා ක්‍රීඩකයන් පසුගිය ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලි දෙක පුරාවටම විශිෂ්ට ගණයේ ක්‍රීඩාශීලීත්වයක් ප්‍රදර්ශනය කරනු දක්නට ලැබුණි.

ත්‍රිත්වයන් පරාජිතයි; රාජකීයයන් ජය ගනියි

සිංගර් පාසල් රග්බි ලීගයේ තවත් සතියක් ඊයේ (29) සවස නිමාවුණු අතර 28 වැනි දා සහ ඊයේ පැවති තරගවල දී ජය ලැබුවේ..

ThePapare.com වෙත අදහස් දක්වමින් වර්බුලා මෙලෙස පැවසීය. ”කුඩා කාලයක් තුල තරගාවලියක් සඳහා පුහුණුවීම ඉතා අපහසු කාර්යයක්. මම හිතන්නේ අපි අන්තර් සමාජ රග්බි තරග වාරයෙන් පසු උවමනාවට වඩා දිගු විවේකයක් ලැබුවා. අපි දැන් කණ්ඩායම සමඟ ගත කරන තුන් වන සතිය. නමුත් මම හිතනවා හැමදේම මේ වන විට හොඳින් සිදු වෙන බව.”

ධනුෂ්ක රංජන්, රිචර්ඩ් ධර්මපාල, ජේසන් දිසානායක, සුහිරු ඇන්තනි සහ හිටපු නායක ෆාසීල් මරීජා වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කිරීම පිළිබඳ අප විමසා සිටි විට වර්බුලා පැවසුවේ මෙවැන්නක්. ”ඔව්, අත්දැකීම් සහිත ක්‍රීඩකයන් පිරිසක් සිටීම සැමවිටම ප්‍රයෝජනවත්, මරීජා තම අවසන් තරග සංචාරයේ දී කණ්ඩායමට ලබා දෙන සහය ඉතා වැදගත්. යොවුන් ක්‍රීඩකයන් හට එවැනි ප්‍රවීණයන්ගෙන් ගත හැකි දේ බොහොමයි.” රංජන්, රිචර්ඩ්, ජේසන් යන ක්‍රීඩකයන් සත් සාමාජික සංචිතයේ ප්‍රබල සාමාජිකයන් වන අතර ඔවුන්ගේ පැමිණීම සංචිතය ශක්තිමත් කිරීම සඳහා ඉතා වැදගත් වන අතරම ශ්‍රී ලංකා රග්බි බලධාරීන් ක්‍රීඩා තරග රටාව අනුව ක්‍රීඩකයන් වෙන් කිරීමට ගෙන ඇති තීරණය ඉතා ප්‍රයෝජනවත් වැඩ පිළිවෙළක්.”

තවද වර්බුලා ඉතා නිහතමානී ලෙස පැවසුවේ මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලාංකිකයෙක් පත් වන්නේ නම් ඔහුට සහය වීමට තමන් කැමති බවයි. එමෙන්ම ඉහළ දස්කම් කළමනාකරු ඉන්ති මරික්කාර්, සහාය පුහුණුකරු රජීව් පෙරේරා සහ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු නික් ග්රූබ්ගෙන් ලැබෙන සහයෝගය අගය කිරීමට ද ඔහු අමතක කලේ නැත.

මෙම රූප සටහනෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මැලේසියාව හමුවේ ලකුණු 42 – 17ක දරුණු පරාජයකට මුහුණ දුන් ආකාරයයි. මෙවර ද පළමු කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමේ වැඩි වාසි පවතින්නේ මැලේසියානු කණ්ඩායම සතුව බව නොරහසක්. ෆීජී ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කණ්ඩායමට ඇතුළත් කර ගැනීමේ වරම හේතුවෙන් ඔවුන් ශාරීරික යෝග්‍යතාවයෙන් ඉතා ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව සිටියි. ඔවුන්ගේ ශක්තිය සහ ශාරීරික යෝග්‍යතාව ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති ප්‍රධාන තර්ජනයයි. ”ඔවුන්ට සිටින දැවැන්ත ෆීජී ක්‍රීඩකයන් සමඟින් අපේ ආරක්ෂක පෙළ බිඳ දැමීමට හැකියාව පවතිනවා. අපි වැඩ කරනවා අපගේ ආරක්ෂක ක්‍රම සවිමත් කර ගැනීම සඳහා. අවසානයේ මෙය ඔවුන්ගේ ක්‍රීඩකයන් 15 දෙනා සහ අපේ ක්‍රීඩකයන් 15 දෙනා අතර මානසික ශක්තිය පිළිබඳ සටනක් බවට පත් වේවි. එමෙන්ම අපිට පිලිපීන කණ්ඩායමේ සහ මෙවර පළමු කාණ්ඩයට උසස් වූ එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ශක්තිය පිළිබඳවත් අවතක්සේරු කළ නොහැකියි. ඔවුන්ව පරාජය කිරීමත් අභියෝගයක්.”

ශ්‍රී ලංකාවේ උපත ලද ඉමාඩ් රියාල් එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවකි. පසුගිය වසරේ  තරගාවලිය තුල දී ඔහු තම වේගවත් පාද චලන උපයෝගී කර ගනිමින් උත්සාහක දිනුම් වාර්තා කරන අයුරු දක්නට ලැබුණු අතර ශ්‍රී ලංකාව සමඟ මැයි 17 දින පැවැත්වෙන තරගයේ දී ඔහුගේ දස්කම් දැක බලා ගැනීමේ අවස්ථාව ද හිමි වනු ඇති.

මේ අතර ශ්‍රී ලංකාව සතු දක්ෂතම පාදයෙන් පන්දුව එල්ල කරන්නෙකු වන රීසා මුබාරක් ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් විවිධ හේතු මත සංචිතය සමඟ පුහුණුවීම් සඳහා එක්ව නැත. කෙසේ වෙතත් වර්බුලා පවසන්නේ සංචිතයේ ක්‍රීඩකයන් පිළිබඳ තමන් සෑහීමකට පත් වන බවයි.

මෙවර ලීග් ශූරයන් වන මහනුවර කණ්ඩායම සමඟ අති සාර්ථක තරග වාරයක් නිමා කළ රොෂාන් වීරරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා නම් කිරීමට වැඩි ඉඩ කඩක් පවතියි. ශ්‍රී ලංකා රග්බි සභාපති අසංග සෙනෙවිරත්න මහතා පසුගිය වසරේ කණ්ඩායම නම් කිරීමේ දී පැවසුවේ කණ්ඩායමට නායකත්වය දීම සඳහා රොෂාන්ගේ අවස්ථාව ඉදිරියේ දී උදා වනු ඇති බවයි.

ශ්‍රී ලංකා රග්බි ආයතනය ශ්‍රී ලංකා අවසන් සංචිතය ලබන සිකුරාදා දිනයේ දී ප්‍රකාශයට පත් කරනු ඇත.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට