සුජාන්ගේ වීර ක්‍රියා හමුවේ උතුරු කොරියාවට නොසිතූ අභියෝගයක්

77

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට හා 2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය, අද (10) ලෝක ශ්‍රේණිගත කිරීම්වල 118 වන ස්ථානයේ පසුවන ප්‍රබල උතුරු කොරියාව සමඟින් කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ඉතා තියුණු තරගයකින් අනතුරුව ගෝල 1-0ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට උතුරු කොරියාව සමත් විය. කෙසේ නමුත් තරගය පුරාවට උතුරු කොරියාවට ඔවුන් බලාපොරොත්තු නොවූ අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරාගේ මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ද සටන්කාමී ක්‍රීඩා විලාශය කැපී පෙනෙන්නට විය.

ශ්‍රී ලංකාව ටර්ක්මෙනිස්තානය හමුවේ අසාර්ථක වෙයි

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට හා 2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේ….

මෙම වටයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පසුගිය දා සහභාගී වූ පළමු තරගය ටර්ක්මෙනිස්තාන කණ්ඩායම හමුවේ ගෝල 0-2ක් ලෙස පරාජයට පත්වීම නිසා මෙම තරගයේ තීරණය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වන්නට විය. 

ඒ අනුව පෙර තරගය ක්‍රීඩා කළ මොහොමඩ් ආකීබ්, සුන්දරාජ් නිරේෂ් සහ චරිත රත්නායක වෙනුවට මෙම තරගයේ ආරම්භක සංචිතය සඅඳහා පිළිවෙළින් දිලීප් පීරිස්, අමාන් ෆයිසර් සහ මනරම් පෙරේරා ඇතුළත් කර තිබුණි. 

උතුරු කොරියානු ක්‍රීඩකයින් තරගයේ ආරම්භයේ සිටම පන්දුව තමන් සතුව තබා ගනිමින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර අනෙක් පසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් දියත් කරන අතරතුර ඉක්මන් අවස්ථාවන් හරහා ගෝල වාර්තා කරගන්නට උත්සාහ දැරීය. 

ඒ අනුව 09 වැනි මිනිත්තුවේ දී නායක කවිදු ඉෂාන් හට ඉක්මන් අවස්ථාවක් හරහා උතුරු කොරියානු ක්‍රීඩකයින් අභිබවමින් පන්දුව ලැබුනත් එහි දී ‘offside’ නීතිය උල්ලංඝනය වූ බවට විනිසුරුවරයා සංඥා කිරීම නිසා එම අවස්ථාව ගිලිහී යන්නට විය. 

අනතුරුව 15 වැනි මිනිත්තුවේ දී උතුරු කොරියානු කණ්ඩායමේ නායක Jong Il Gwan ගෝල රාමු කලාපය පිටත සිට එල්ල කළ පහර ඉතා විශිෂ්ට ලෙස පිටියෙන් ඉවතට යොමු කරන්නට ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා සමත් විය. 

පරාජය ගැන පාපන්දු පුහුණුකරු අදහස් දක්වයි!

2022 FIFA ලෝක කුසලානය හා 2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේ දෙවන….

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිදු කළ ‘foul’ කිරීම් හරහා උතුරු කොරියානු ක්‍රීඩකයින් හට නිදහස් පහර අවස්ථාවන් කිහිපයක් ම හිමිවුවත්, ඔවුන් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත. 

එහි දී මනරම් පෙරේරා සිදු කළ ‘foul’ කිරීමක් හරහා ලැබුණු නිදහස් පහර අවස්ථාවක දී පන්දුව ප්‍රතිවාදී නායක Il Gwan හට යොමු වූ අතර එහි දී ඔහු පන්දුවට හිසින් එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට යොමු කරන්නට ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයින් සමත් විය. 

පසුව 27 වැනි මිනිත්තුවේ දී හර්ෂ ප්‍රනාන්දු පිටියේ වම් අන්තයේ සිට ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවක් හරහා කවිඳු හට ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු නිසි පරිදි පන්දුව පාලනය කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් එම අවස්ථාව ගිලිහී ගියේය.

අනතුරුව 31 වැනි මිනිත්තුවේ දී Ri Un Chol ගෝල රාමු කලාපය පිටත සිට එල්ල කළ පහරක් හමුවේ නැවත වරක් ක්‍රියාත්මක වූ සුජාන් එහි දී ද ඉතා විශිෂ්ට ගෝල රැකීමක් ප්‍රදර්ශනය කරමින් පන්දුව ගෝල රාමුවෙන් ඉවතට යොමු කරන්නට සමත් විය. 

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගයේ 34 වන මිනිත්තුවේ දී කවිඳු හට ඉක්මන් අවස්ථාවක් හරහා උතුරු කොරියානු ක්‍රීඩකයින් අභිබවමින් නැවත වරක් පන්දුව යොමුවුවත් එහි දී ඔහු පන්දුව ඉදිරියට රැගෙන යනවා වෙනුවට ගෝල රාමු කලාපය පිටත සිට පහරක් එල්ල කරන්නට යොමු වූ නමුත් එය නිසි පරිදි එල්ල කිරීමට ඔහු අසමත් වීම හේතුවෙන් එය ඉතා පහසුවෙන් රැකගන්නට ප්‍රතිවාදී ගෝල රකින ක්‍රීඩක An Tae Song සමත් විය. 

පසුව 40 වැනි මිනිත්තුවේ දී Il Gwan හට පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගන්නට පහසු අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඇදී යන්නට විය. 

පළමු අර්ධයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළත් උතුරු කොරියානු ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගන්නට දැඩි උත්සාහයක් දියත් කළත් ඔවුන්ට ඒ සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදෙන්නට ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩකයින් වගබලා ගත්තේය. 

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 00 – 00 උතුරු කොරියාව

දෙවන අර්ධයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ නිසා උතුරු කොරියානු ක්‍රීඩකයින් හට ප්‍රතිවාදී අන්තයේ රැඳෙමින් ගෝලයක් වාර්තා කරගන්නට උත්සාහ දරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් එල්ල කරන්නට අවස්ථාව හිමි විය. 

එ අනුව 54 වැනි මිනිත්තුවේ දී Sim Hyon Jin ගෝල රාමුව ආසන්නයට යොමු කළ පන්දුවක් හරහා Il Gwan හට ගෝලයක් වාර්තා කරගන්නට පහසු අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු පන්දුවට හිසින් එල්ල කළ පහර ගෝල රාමුවට ඉහතින් ඇදී යන්නට විය. 

ඉන් මිනිත්තු 3කට පමණ පසුව උතුරු කොරියානු ආරක්ෂක ක්‍රීඩකයිනගේ දුර්වල පන්දු හුවමාරු කිරීම හේතුවෙන් ගෝල රාමු කලාපය ඉතා ආසන්නයේ දී දිලීප් පීරිස් හට පන්දුව යොමුවුවත් එහි දී ඔහු නිසි පරිදි එය පාලනය කරගන්නට අපොහොසත් වීම හේතුවෙන් ප්‍රතිවාදීන් නැවතත් පන්දුව සිය ග්‍රහණයට නතු කර ගනිමින් එම අවස්ථාව ව්‍යර්ථ කරදමන්නට සමත් විය. 

තරගය ඉදිරියට යත්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ විඩාබර බව හොඳින් ප්‍රදර්ශනය වන්නට වූ අතර ඉන් උපරිම ඵල නෙළාගත් ප්‍රතිවාදී ක්‍රීඩකයින් 67 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට පැමිණෙන්නට සමත් විය. 

එහි දී Ri Chang Ho පිටියේ වම් අන්තයේ සිට ගෝල රාමු කලාපය තුළට යොමු කළ පන්දුවට හිසින් පහරක් එල්ල කළ Jang Kuk Chol එය පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරමින් එම ගෝලය වාර්තා කර ගනු ලැබීය. 

71 වැනි මිනිත්තුවේ දී උතුරු කොරියාවට ගෝල රාමු කලාපය ඉතා ආසන්නයේ නිදහස් පහර අවස්ථාවක් හිමිවුවත් එහි දී Il Gwan එල්ල කළ පහර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ වැදී ඉවතට යොමුවන්නට විය. 

අනතුරුව 77 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉදිරියට යොමු කළ දිගු පන්දුවක් හරහා උතුරු කොරියානු ක්‍රීඩකයින් අතර ඇතිවූ අත්වැරදීමක් හේතුවෙන් ධනංජ මදුෂාන් අසලට පන්දුව යොමුවුවත් එහි දී ඉදිරියට පැමිණි ප්‍රතිවාදී ගෝල රකින ක්‍රීඩක Tae Song පන්දුව සිය ග්‍රහණයට ලබා ගනිමින් එම අවස්ථාවේ ගෝලයක් ලබා ගැනීම වළකාලන්නට සමත් විය. 

පළමු තරගයට පෙර සූදානම ගැන පකීර් අලී අදහස් දක්වයි

2022 දී කටාර් රාජ්‍ය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ…

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට යොමුවුවත් එහි දී ඔවුන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන්නට ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයින් වගබලාගත් අතර අනෙක් පසින් උතුරු කොරියානු ක්‍රීඩකයින් හට ලැබුණු අවස්ථා ද සාර්ථකව ව්‍යර්ථ කරදමන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. 

ඒ අනුව තරගය අවසානයේ ගෝල 0-1ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගන්නට උතුරු කොරියානු ක්‍රීඩකයින් සමත් වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගයේ දී දියත් කළ සටන්කාමී ක්‍රීඩා විලාශය කාගේත් ඇගයීමට ලක්වන්නට විය. 

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 00 – 01 උතුරු කොරියාව

ගෝල ලාභීන් 

  • උතුරු කොරියාව – Jang Kuk Chol 67’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<