ඉතිහාසයේ මතක – FIFA පාපන්දු ලෝක කුසලානය (1998-2002)

383

1986, 1990 හා 1994 FIFA පාපන්දු ලෝක කුසලාන පිළිවෙළින් ආර්ජෙන්ටිනාව, බටහිර ජර්මනිය හා බ්‍රසීලය දිනා ගන්නා ලදි.

1986 මෙක්සිකෝවේ පැවති ලෝක කුසලානය ආර්ජෙන්ටිනාවේ සුපිරි තරුව ඩියෙගෝ මැරඩෝනා සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණයට ගත්තේ ගෝල පහක් දැල තුලට යොමු කරමින් ආර්ජෙන්ටිනාවට ලෝක කුසලානය ද දිනා දෙමින්ය.

1986 දී ලද පරාජයන් වලට පළිය ගැනීමට 1990දී බටහිර ජර්මනිය සමත් වූයේ ආර්ජෙන්ටිනාව පරාජය කරමිනි. මේ බටහිර ජර්මනිය ලෝක කුසලානය දිනා ගත් තෙවන අවස්ථාවයි. 1994 දී ඩුන්ගාගේ නායකත්වය යටතේ වසර 24කට පසු ලෝක කුසලානයක් දිනා ගැනීමට බ්‍රසීලය සමත් වූ අතර ඔවුන් හමුවේ අවසාන මහා තරගයේ දී ඉතාලිය දඬුවම් පහර වලින් පරාජය විය.  

ප්‍රංශය පළමු වතාවට ලෝක කුසලානයක පහස විඳියි – 1998

Didier Deschampsගේ නායකත්වයෙන් සටන් වැදුණු සුපිරි ක්‍රීඩක සිනඩින් සිඩෑන්ගෙන් බලගැන්වුණු ප්‍රංශ පාපන්දු කණ්ඩායම ජූලි 12 වැනිදා Stade de France ක්‍රීඩාංගණයේ දී, රොනාල්ඩෝ සමඟ සටන් වැදුණු බ්‍රසීල කණ්ඩායම පරාජය කළේ පළමු වතාවට ලෝක කුසලානයක් තමන් සතු කරගනිමින්.  

ප්‍රංශය සත්කාරකත්වය දැක්වූ 1998 ලෝක කුසලානය වඩාත් ජනප්‍රිය වූයේ එහි තේමා ගීතය වූ රිකි මාටින් ගායනා කළ ‘Cup of Life’ ගීතය නිසයි.

ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට තරගාවලිය කණ්ඩායම් 32කක් සඳහා විවෘත වූ අතර නගර දහයක ක්‍රීඩාංගණ දහයක් තරගාවලිය සඳහා සුදානම් කෙරිණි. ක්‍රොඒෂියාව, ජැමෙයිකාව, ජපානය හා දකුණු අප්‍රිකාව පළමු වතාවට ලෝක කුසලානයකට සුදුසුකම් ලබන ලදි.

තරගාවලියේ කාණ්ඩ අදියර හෙවත් පළමු අදියර පෙරළි රැසකගෙන් සමන්විත වූ අතර ඒ වන විට ශූරයින් වූ බ්‍රසීල කණ්ඩායම ස්කොට්ලන්තය හා මොරොක්කෝව පරාජය කරමින් තරගාවලිය ආරම්භ කළ ද නොසිතූ ලෙස ගෝල 2-1ක් ලෙස නෝර්වේ හමුවේ පරාජය වන්නට ඔවුන්ට සිදු විය.

78 වන මිනිත්තුවේ දී ගෝල 1-0ක් ලෙස ජය පෙනෙන මානයේ සිටි බ්‍රසීලයට නොසිතූ විරු අභියෝගයක් එල්ල කළ නෝර්වේ කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ විශිෂ්ටතම හඹා යාමක් වේදිකාගත කරමින් අවසාන මිනිත්තු කිහිපයේ ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් විය.  

සත්කාරක ප්‍රංශය පළමු වටය සාර්ථක ලෙස ආරම්භ කළ අතර දකුණු අප්‍රිකාව (3-0), සවුදි අරාබිය (4-0) හා ඩෙන්මාර්ක් කණ්ඩායම (2-1) ඔවුන් හමුවේ පරාජයට පත්විය. D කාණ්ඩයේ ක්‍රීඩා කළ නයිජීරියාව තරගාවලියේ තවත් පෙරළියක් කළේ ස්පාඤ්ඤ කණ්ඩායම ගෝල 3-2ක් ලෙස පරාජය කරමිනි. බල්ගේරියාව ගෝල 6-1ක් ලෙස පරාජය කළ ද ස්පාඤ්ඤයට පිළිමළුන් පිටුදැකීමේ වටයට ගමන් කිරීමේ වරම් හිමි වුයේ නැත.

නයිජීරියාවේ අඩිපාරේ ගිය රෝමානියාව ද එංගලන්ත කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් ඔවුන්ගේ කාණ්ඩයේ පෙරමුණ ගත් අතර ජපානය හා ජැමෙයිකාව පරාජය කරමින් ආර්ජෙන්ටිනාව දෙවන වටයට සුදුසුකම් ලැබුවේ Gabriel Batistutaගේ ගෝල ලබා ගැනීම් වල පිහිටෙනි. ජැමෙයිකාවට එරෙහිව Gabriel Batistuta ලබාගත් ගෝල ත්‍රිත්වයත් සමඟ පිට පිට ලෝක කුසලාන දෙකක දී ගෝල වාර්තා කළ එකම ක්‍රීඩකයා බවට පත්වීමට ඔහු සමත් විය.  

ඩේවර් සුකර්ගේ දක්ෂතා නිසා සිය මංගල ලෝක කුසලානය ක්‍රීඩා කළ ක්‍රොඒෂියාව සිය කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගත් අතර දේශපාලන අර්බුද මධ්‍යයේ වුවත් ඇමරිකාව හා ඉරානය සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ ක්‍රීඩාවේ අගය මනාව පිළිබිඹු කරමිනි.

16 දෙනාගේ වටය ඉතා උණුසුම් වූ අතර ආර්ජෙන්ටිනා එංගලන්ත සටන ඉතාම තියුණු විය. Batistuta සහ Alan Shearer දඬුවම් පහර මගින් ගෝල රැස් කිරීමත් සමඟ තියුණු තරගයකට දොර විවර වුන අතර තරුණ Michael Owen 16වන මිනිත්තුවේ දී විශිෂ්ට ගෝලයක් වාර්තා කළේ තරගයේ උණුසුම තවත් ඉහල දමමින්.  

පසු පාදයට වැටුණු ආර්ජෙන්ටිනාව නැවත ගෙන ඒමට Javier Zanetti සමත් වූයේ පළමු අර්ධය අවසානයට ප්‍රථම ගෝල සමකරමිනි. තරගයේ තීරණාත්මකම අවස්ථාව වූයේ Diego Simeone හට අනවශ්‍ය බාධා කිරීමක් කළ නිසා සුපිරි ක්‍රීඩක David Beckham හට රතු කාඩ්පතක් හිමි වූ අවස්ථාවයි.

(එම රතු කාඩ්පත එංගලන්තයේ පරාජයට හේතුවක් විය)  

මිනිත්තු 120කට පසු ගෝල සමවීම නිසා දඬුවම් පහර මගින් තරගයේ තීරණය ලබා දීමට විනිසුරුවන් ක්‍රියාත්මක වූ අතර ආර්ජෙන්ටිනා ගෝල රකින ක්‍රීඩක Carlos Roaගේ දක්ෂතා නිසා දඬුවම් පහර 4-3ක් ලෙස තරගය ජය ගැනීමට ආර්ජෙන්ටිනාව සමත් විය.  

අර්ධ අවසන් පූර්ව තරගවල දී නියමිත කාලය අවසන් වීම නිසා ඉතාලිය හා ප්‍රංශය දඬුවම් පහර සඳහා මුහුණ දුන් අතර 1994 වසරේ දී මෙන්ම දඬුවම් පහර හමුවේ ඉතාලිය පරාජය විය.

නන්ටෙස් හිදී පැවති තියුණු තරගයක දී ගෝල 3-2ක් ලෙස බ්‍රසීලය හමුවේ ඩෙන්මාර්කය පරාජය විය. Martin Jorgensen තරගයේ දෙවන මිනිත්තුවේ දී ගෝල ලබා ගැනීම ආරම්භ කළ අතර 11වන මිනිත්තුවේ දී Bebeto විසින් ගෝල සමකරන ලදි. පළමු අර්ධය අවසන් වීමට ප්‍රථම Rivaldoගේ ගෝලයෙන් බ්‍රසීලය පෙරමුණ ගත් අතර Brian Laudrup 50වන මිනිත්තුවේ දී ගෝල සම කළේය. ඊට මිනිත්තු දහයකට පසු Rivaldo සිය දෙවන ගෝලයත් වාර්තා කරගත්තේ තරගයේ ජය බ්‍රසීලයට හිමිකර දෙමිනි.    

Dennis Bergkampගේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසා ගෝල 2-1ක් ලෙස ප්‍රබල ආර්ජෙන්ටිනාව පරාජය කරන්නට නෙදර්ලන්තය සමත් විය.

තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් වූ ක්‍රොඒෂියාව නොසිතූ ලෙස ජර්මනිය ගෝල 3-0ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටය සඳහා පිවිසුණු අතර පසුව ඔවුන් තෙවන ස්ථානය දිනා ගත්තේ සිය මංගල ලෝක කුසලානයක් ක්‍රීඩා කළ කණ්ඩායමක් වාර්තා කළ ඉහලම දස්කම වාර්තා කරමින්.  

(පෙරළිකාර ක්‍රොඒෂියාවේ Davor Suker ලෝක කුසලානයේ වැඩිම ගෝලලාභියා බවට පත්විය)

අවසන් පූර්ව වටයන් හිදී බ්‍රසීලය ගෝල 4-2ක් ලෙස නෙදර්ලන්තය පරාජය කළේ ගෝල 1-1ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් පසු දඬුවම් පහර වලින්ය. ප්‍රංශය ක්‍රොඒෂියාව ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් අවසන් තරගයේ සිය අසුන වෙන්කර ගැනීමට සමත් විය.

බ්‍රසීලය අවසන් මහා තරගයට පිවිසුණේ සත්කාරක ප්‍රංශයට එරෙහිවයි. අවසන් මහා තරගයේ දී ගෝල 3-0ක් ලෙස බ්‍රසීලය පරාජය කළ ප්‍රංශය සිය මංගල ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.

Zidane සිය හිසෙන් අලංකාර ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර Emmanuel Petit තෙවන ගෝලයත් වාර්තා කළේ Stade de France ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයින් අමන්දා නන්දයට පත් කරමින්.   

(Zidane ප්‍රංශයට ජය ගෙන ආවේය)

ප්‍රංශය සිය මංගල ලෝක කුසලානයේ පහස විඳිද්දී ක්‍රොඒෂියාවේ Davor Suker සිය ගෝල හය වෙනුවෙන් රන් පාවහන දිනා ගන්නා ලදි. බ්‍රසීලයේ රොනාල්ඩෝ රන් පාපන්දුව දිනාගත්තේ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වෙමින්.  


බ්‍රසීල හමුදාව පෙරදිග ආක්‍රමණය කරයි – 2002

1998 ලෝක කුසලානයේ ලද පරාජයේ පළිය සාර්ථකව ලබාගත් බ්‍රසීල ක්‍රීඩකයින් ජර්මනිය පරාජය කරමින් පස්වන වතාවටත් ලෝක ශූරයින් වන්නට සමත් විය.   

දකුණු කොරියාව හා ජපානය ලෝක කුසලානයට සත්කාරකත්වය දැක්වූ පළමු ආසියානු රටවල් බවට පත්වුයේ 2002 17 වන ලෝක කුසලානයේ සම සත්කාරකයින් බවට පත්වෙමින්. ‘Golden Goal’ නීතිය ක්‍රියාත්මක වූ අවසාන ලෝක කුසලානය ද මේ ලෝක කුසලානයයි.

යෝකොහොමා ක්‍රීඩාංගණයේ දී අවසාන මහා තරගය පැවැත්වීමට කටයුතු සංවිධානය වූ අතර ජපානය හා දකුණු කොරියාවේ ක්‍රීඩාංගණ 10ක් තරගාවලිය සඳහා සූදානම් කෙරිණි.

කාණ්ඩ අදියරේ දී ඩෙන්මාර්කය, සෙනගාලය හා උරුගුවේ හමුවේ ඒ වන විට ශූරයින් වූ ප්‍රංශයට ලෝක කුසලානයෙන් ඉවත් වන්නට සිදු විය. උරුගුවේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් ප්‍රංශ කණ්ඩායමට සෙනගාලය හා ඩෙන්මාර්කය හමුවේ ඔවුන්ට පරාජය වීමට සිදු විය. තරගාවලිය පුරා එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට ප්‍රංශ ක්‍රීඩකයෝ සමත් නොවූ අතර ඒ, ඒ වන විට ලෝක ශූර කණ්ඩායමක් ලෝක කුසලානයේ දැක්වූ දුර්වලතම දක්ෂතාව විය.  

උරුගුවේ හා සෙනගාල තරග ඉතා උණුසුම් වූ අතර 3-0ක් ලෙස ඉදිරියෙන් සිටි සෙනගාලය හඹා ආ උරුගුවේ කණ්ඩායම ගෝල 3-3ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. තවද සවුදි අරාබිය ට එරෙහිව ගෝල 8-0ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ජර්මනිය සමත්වූ අතර ස්වීඩනය හමුවේ ජයපරාජයෙන් තොරව තරගය අවසන් වීම හා එංගලන්තය හමුවේ 1-0ක් ලෙස පරාජය වීම නිසා ආර්ජෙන්ටිනාවට ද පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු විය.

(මෙය ප්‍රංශයේ අසාර්ථකම ලෝක කුසලානය විය )

පිිළිමළුන් පිටුදැකීමේ වටයන් හිදී තුර්කිය ගෝල 1-0ක් ලෙස ජපානය පරාජය කළ අතර ස්වීඩන් සෙනගාල් ගැටුම 1-1ක් ලෙස ගෝල සමවිමත් සමඟ golden goal ආකාරයට ගෝලයක් වාර්තා කළ Henri Camara සෙනගාලයට ජය හිමිකර දීමට සමත් විය.   

Ronaldinhoගේ නිදහස් පහරෙන් ගෝල 2-1ක් ලෙස එංගලන්තය හමුවේ බ්‍රසීලය ජය ගත් අතර පෙරළි රැසක් සිදු වූ තරගයකින් ස්පාඤ්ඤය පරාජය කළ දකුණු කොරියාව අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය. මේ තරගයේ දී ස්පාඤ්ඤ ගෝල දෙකක් විනිසුරුවන් විසින් නිශ්ප්‍රභ කරන ලදි. දකුණු කොරියාව අවසන් පූර්ව වටයකට පිවිසුණු ප්‍රථම ආසියානු කණ්ඩායමයි.

අවසන් පූර්ව වටයේ දී Michael Ballackගේ අලංකාර ගෝලයකින් දකුණු කොරියාව පරාජය කළ ජර්මනියට අවසන් මහා තරගයට පාර කැපුණු අතර අවාසනාවන්තම සිදුවීම වූයේ මේ තරගයේ දී ඔහුට කහ කාඩ්පතක් හිමි වීම හා පෙර හිමි වූ කහ කාඩ්පත් නිසා ඔහුට අවසාන මහා තරගය අහිමි වීමයි.  

රොනාල්ඩෝ ගේ හුදෙකල ගෝලයෙන් තුර්කිය පරාජය කළ බ්‍රසීලයට පිට පිට සිය තෙවන අවසන් මහා තරගයට දොරගුළු විවර වූ අතර තෙවන ස්ථානය සඳහා වූ තරගයේ දී  තුර්කියේ Hakan Sukur තරගය ආරම්භයෙන් තත්පර 11කට පසු ගෝලයක් වාර්තා කළේ ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ගෝලය වාර්තා කරමින්. ගෝල 3-2ක් ලෙස සත්කාරක කොරියාව පරාජය කළ තුර්කියට තෙවන ස්ථානය හිමි විය.

2002 ජුනි 30 වැනිදා බ්‍රසීලය හා ජර්මනිය යෝකොහොමා ක්‍රීඩාංගණයේ දී ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය තරග වැදුණු අතර ඒ වන විටත් ගෝල හයක් රැස්කරගෙන සිටි  සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ ගේ විශිෂ්ට ගෝල ද්විත්වයෙන් සිය පස්වැනි ලෝක ලෝක කුසලානය දිනා ගැනීමට බ්‍රසීලය සමත් විය.

රොනාල්ඩෝ ගෝල අටක් සමඟින් රන් පාවහන දිනා ගත් අතර ජර්මනියේ සුපිරි ක්‍රීඩක Oliver Kahn රන් පාපන්දුව දිනා ගන්නා ලදි.  

1986 දී ආර්ජෙන්ටිනාවට පසු තරගාවලිය පුරා දඬුවම් පහර වලින් තොරව ලෝක කුසලානයක් දිනා ගත් පළමු කණ්ඩායම බවට පත්වීමට බ්‍රසීලය සමත් වූ අතර 1970 වසරට පසු  තරගාවලියේ තමන් මුහුණ දුන් සියලුම තරග ජය ගත් කණ්ඩායම බවට පත්වීමට ද බ්‍රසීලය සමත් විය. වැඩිම ගෝල පරතරයක් (+14) සමග ලෝක කුසලානයක් දිනූ කණ්ඩායම බවට පත්වන්නට ද බ්‍රසීලය සමත් විය.

සිය තෙවන ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කළ බ්‍රසීල නායක CAFU ලෝක කුසලානය සිය දෑතට ගත්තේ පාපන්දුවේ නිජබිමටත් වඩා පා පන්දුවට ආදරය කළ බ්‍රසීල ප්‍රේක්ෂකයින් අමන්දා නන්දයට පත් කරමින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<