ඉතිහාසයේ මතක – FIFA පාපන්දු ලෝක කුසලානය (1986 – 1994)

214
FIFA World Cup – Journey through History

1982 වසරේ දී පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉතාලිය ඉදිරි වසර 4ක කාලය සඳහා පාපන්දු ලොවේ කිරුළ තමන් සතුකර ගන්නට සමත් විය.

1970 වසරේ දී බ්‍රසීල කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් සමඟ ‘ජූල්ස් රිමෙට්’ කුසලානය සදාකාලයටම ඔවුන් සතුව තබා ගැනීමේ අයිතිය ඔවුන්ට හිමි වූ අතර ඒ අනුව 1974 වසරේ සිට පාපන්දු ලෝක කුසලාන තරගාවලි සඳහා නව කුසලානයක් හඳුන්වා දෙනු ලැබීය.

ඉතිහාසයේ මතක – FIFA පාපන්දු ලෝක කුසලානය (1998-2002)

1986, 1990 හා 1994 FIFA පාපන්දු ලෝක කුසලාන පිළිවෙළින් ආර්ජෙන්ටිනාව, බටහිර ජර්මනිය හා බ්‍රසීලය දිනා ගන්නා ලදි.

1974 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ‘සම්පූර්ණ පාපන්දුව (Total Football)’ සංකල්පයේ ආභාසය ලැබූ ප්‍රබල නෙදර්ලන්ත කණ්ඩායම පරාජය කරමින් බටහිර ජර්මනිය සිය රටේ දීම ශූරයින් බවට පත්වන්නට සමත් වූ අතර අනතුරුව පැවති 1978 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී අඛණ්ඩව දෙවන වරටත් නෙදර්ලන්තයට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු වූයේ එවර ද සත්කාරක ආජන්ටිනාව ඔවුන්ව අභිබවමින් ශූරතාවය දිනා ගැනීමත් සමඟ යි.  

1982 ලෝක කුසලාන තරගාවලියේ දී 40 හැවිරිදි ගෝල රකින ක්‍රීඩක ඩීනෝ සොෆ්ගේ නායකත්වය යටතේ තරගාවලියට එක්වූ ඉතාලිය අවසන් මහා තරගයේ දී බටහිර ජර්මනිය පරාජයට පත්කරමින් තෙවන වරටත් පාපන්දු ලෝක කුසලානයකට හිමිකම් කියන්නට සමත් වූ අතර එහි දී පෝලෝ රෝසිගේ දක්‍ෂතා කැපී පෙනෙන්නට විය.

මැරඩෝනා ආජන්ටිනාවට කිරුළ හිමිකර දෙයි – 1986

(Image courtesy – FIFA.com)

තරගාවලිය පුරාවට ආජන්ටිනාවේ ඩියේගෝ මැරඩෝනා අති විශිෂ්ට දස්කම් දැක්වීම හේතුවෙන් 1986 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ‘මැරඩෝනාගේ ලෝක කුසලානය’ ලෙස ප්‍රසිද්ධියට පත්වන්නට විය.

ආර්ථික හේතූන් පදනම් කරගෙන 1982 වසරේ දී කොලොම්බියාව සත්කාරකත්වයෙන් ඉවත් වීමත් සමඟ 1986 ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමේ වරම් හිමි වූයේ මෙක්සිකෝවටයි. ඒ අනුව ලෝක කුසලාන තරගාවලි 2ක් සඳහා සත්කාරකත්වය දැරූ පළමු රට ලෙස ඔවුන් ඉතිහාසයට එක්විය.

ඔවුන් ඊට පෙර සත්කාරකත්වය දැරූ 1970 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනාගන්නට බ්‍රසීලය සමත් වුවත් මෙවර එහි දැඩි උණුසුම් හා උස තත්වයන් හමුවේ පැවති අභියෝග ජය ගනිමින් ලෝක කුසලානය දිනාගන්නට සමත් වූයේ ආජන්ටිනාව යි. ඒ අනුව මැරඩෝනා තරගාවලිය පුරාවට සිය අණසක පතුරුවන්නට සමත් වූ අතර එවන් දක්‍ෂතාවයක් ලෝක කුසලාන තරගාවලියක් තුළ මීට පෙර දක්වා තිබුණේ පේලේ පමණි. ඒ අනුව ඔහු මෙහි දී ආජන්ටිනාව තරගාවලිය තුළ වාර්තා කර ගනු ලැබූ ගෝල 14න් 5ක් වාර්තා කරගන්නට සමත් වූ අතර තවත් ගෝල 4ක් සඳහා පන්දුව පිරිනමනු ලැබීය.  

නගර 11ක් තුළ පැවති ක්‍රීඩාංගණ 12ක් කේන්ද්‍ර කර ගනිමින් තරග පවත්වනු ලැබූ අතර එහිදී අවසන් මහා තරගය පවත්වනු ලැබූ ‘Estadio Azteca’ ක්‍රීඩාංගණය ලෝක කුසලාන අවසන් මහා තරග 2ක් පවත්වනු ලැබූ පළමු ක්‍රීඩාංගණය ලෙස ද වාර්තා පොත් අතරට එක්විය. එමෙන්ම පසුව ලොව පුරා ප්‍රචලිත වූ ‘Mexican Wave’ සැමරුම ද කරළියට පැමිණියේ මෙම ලෝක කුසලාන තරගාවලියේ දී ය.

Denmark shocked West Germany with a 2-0 win (Image courtesy – Getty Images)

තරගාවලියේ පළමු වටයේ දී හිටපු ශූරයින් වූ ඉතාලිය හමුවේ පැවති තරගයක් ගෝල 1-1ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් කරගන්නට බල්ගේරියාව සමත් වූ අතර එම කාණ්ඩය යටතේ පැවති තරගයක දීම ආජන්ටිනාව ගෝල 3-1ක් ලෙස දකුණු කොරියාව පරාජයට පත්කිරීමට සමත් විය. ආජන්ටිනාව සහ ඉතාලිය අතර පැවති තරගය ගෝල 1-1ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

පළමු වරට ලෝක කුසලාන තරගාවලියක් සඳහා එක්වූ ඩෙන්මාර්කය විශිෂ්ට දස්කම් දක්වමින් තරගාවලියේ පැවති අසීරුම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. එහි දී ඔවුන් ස්කොට්ලන්තය ගෝල 1-0ක් ලෙසත්, උරුගුවේ ගෝල 6-1ක් ලෙසත් සහ ප්‍රබල බටහිර ජර්මනිය ගෝල 2-0ක් ලෙසත් පරාජයට පත්කිරීමට සමත් විය. එහි දී ස්කොට්ලන්තය සහ උරුගුවේ අතර පැවති තරගයේ මිනිත්තුවක් ගතවන්නටත් පෙර ගෝඩෝන් ස්ට්‍රාචන් හමුවේ සිදු කළ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් බැටිස්ටා හට විනිසුරුවරයා විසින් රතු කාඩ්පතක් නිකුත් කරනු ලැබූ අතර එය ඉතිහාසයට එක්වුණේ ලෝක කුසලාන තරගයක නිකුත් කරන ලද වේගවත්ම රතු කාඩ්පත ලෙසයි.

මෙහි දී සිය කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට මොරොක්කෝව සමත් වුනේ 1966 වසරේ දී උතුරු කොරියාවෙන් පසුව කාණ්ඩයක පළමු ස්ථානය දිනා ගත් යුරෝපයෙන් සහ දකුණු ඇමරිකාවෙන් බැහැර පළමු කණ්ඩායම බවට පත්වෙමිනි. වසර 20ක කාලයකින් පසුව පළමු වරට ලෝක කුසලානයක් සඳහා එක්වූ පෘතුගාලය මෙහි දී ‘Saltillo Affair’ යනුවෙන් හැඳින්වෙන සිද්ධීන් දාමයක් පදනම් කරගෙන තරගාවලිය අතරතුර වර්ජනයක නිරත වූ අතර ඒ අනුව ක්‍රීඩකයින් තරග අතරතුර සිය පුහුණුවීම් කටයුතුවල නිරතවීම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. කෙසේ නමුත් මොරොක්කෝව සමඟ පැවති තරගය පරාජයට පත්වීමත් සමඟ ඔවුන්ට තරගාවලියෙන් ඉවත්ව යාමට සිදු විය.

Maradona against England (Image courtesy – Getty Images)

අනතුරුව පැවති පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ දී ප්‍රංශය ගෝල 2-0ක් ලෙස ලෝක ශූර ඉතාලිය පරාජය කරමින් ඔවුන්ගේ ලෝක කුසලාන සිහින බොඳ කරන්නට සමත් විය. එහි දී මිචෙල් ප්ලැටිනි සහ යැනික් ස්ටෝපිරා ගෝල වාර්තා කර ගනිමින් ප්‍රංශය වෙනුවෙන් දක්‍ෂතා දැක්වීමට සමත් විය. ආජන්ටිනාව ගෝල 1-0ක් ලෙස උරුගුවේ කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත් වූ අතර ස්පාඤ්ඤය විසින් ගෝල 5-1ක් ලෙස ඩෙන්මාර්කය පරාජය කිරීමත් සමඟ අවසානයේ ඔවුන්ට තරගාවලියෙන් ඉවත්ව යාමට සිදු විය. එම තරගයේ දී එමීලියෝ බුට්‍රාගුවේනෝ විසින් ගෝල 4ක් වාර්තා කරගන්නට සමත් විය.     

බටහිර ජර්මනිය සහ මොරොක්කෝව අතර පැවති තරගයේ දී බටහිර ජර්මනියේ ලෝතා මැතවුස් විසින් 87 වන මිනිත්තුවේ දී වාර්තා කර ගත් ගෝලයක් හරහා ඔවුන් තරගයේ ජයග්‍රහණය හිමි කර ගන්නට සමත් වූ අතර බල්ගේරියාව සහ සත්කාරක මෙක්සිකෝව අතර පැවති තරගය එහි දී මැනුවෙල් නෙග්රේටේ වාර්තා කර ගත් ‘scissor-kick’ ගෝලය හේතුකරගෙන ලෝක ප්‍රචලිත වන්නට විය. එය පසුව ‘Estadio Azteca’ ක්‍රීඩාංගණයේ දී සමරු ඵලකයක් හරහා ගෞරවයට ද පාත්‍ර විය.

එහි දී පැවති අර්ධ අවසන් පූර්ව තරග 4ම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර ඉන් 3කම ප්‍රතිඵලය තීරණය වූයේ දඬුවම් පහර වට හරහා ය. ඒ අනුව ප්‍රංශය සහ බ්‍රසීලය අතර පැවති තරගය සම්පූර්ණ කාලය තුළ ගෝල 1-1ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය. එහි දී බ්‍රසීලයේ සීකෝ හට තරගය අතරතුර දී ලැබුණු දඬුවම් පහර අවස්ථාවක් මඟහැරී ගිය අතර ඒ හරහා බ්‍රසීලයට තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට තිබූ අගනා අවස්ථාවක් ගිලිහී ගියේය. අනතුරුව දඬුවම් පහර වටය 4-3ක් ලෙස ජයග්‍රහණය කළ ප්‍රංශය තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

තවදුරටත් බටහිර ජර්මනිය සහ මෙක්සිකෝව අතර තරගයේ සහ බෙල්ජියම සහ ස්පාඤ්ඤය අතර තරගයේ තීරණය ද දඬුවම් පහර වට වලින් තීරණය වූ අතර ඒ අනුව එම තරග ජයග්‍රහණය කරනු ලැබුවේ බටහිර ජර්මනිය සහ බෙල්ජියම යි.

එහි දී පැවති ආජන්ටිනාව සහ එංගලන්තය අතර තරගය මැරඩෝනා විසින් වාර්තා කර ගනු ලැබූ ගෝල 2ක් හේතුවෙන් ප්‍රසිද්ධියට පත්විය. ඒ අතරින් පළමු ගෝලය නීති විරෝධී ගෝලයක් වන අතර එය ඔහුගේ අත භාවිතා කර ගනිමින් වාර්තා විය. කෙසේ නමුත් තරගය අවසානයේ ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ඔහුගේ හිස සහ අත් දෙකම භාවිතා කරමින් ඔහු එම ගෝලය වාර්තා වූ බවයි. එම ගෝලය වාර්තා කර ගැනීම සඳහා අත භාවිතා කිරීම හේතුවෙන් එය ‘Hand of God’ ගෝලය යනුවෙන් ප්‍රචලිත විය.

ඉන් මිනිත්තු 4කට පසුව ඔහු එහි දෙවන ගෝලය වාර්තා කර ගත් අතර එය සියවසේ ගෝලය ලෙස ප්‍රචලිත වන්නට විය. එහි දී මීටර 60ක දුරක් ඔහු තනිව පන්දුව රැගෙන ගොස් අවසානයේ ගෝල රකින ක්‍රීඩකයා ද ඇතුළුව එංගලන්ත ක්‍රීඩකයින් පස්දෙනෙක් පසුකර ගොස් එම විශිෂ්ට ගෝලය වාර්තා කර ගන්නට ඔහු සමත් විය.

එම ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වූ ගැරී ලිනේකර් පසුව ‘BBC’ය සමඟ ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “මම ප්‍රතිවාදී කණ්ඩායමට අත්පොළසන් දිය යුතුයි කියලා මගේ ජීවිතේ හිතුණ එකම අවස්ථාව තමයි මැරඩෝනා එහි දී වාර්තා කර ගත් දෙවැනි ගෝලය. නමුත් මම එහෙම කළේ නැහැ. මොකද ඒ වන විට අපේ බලාපොරොත්තු කඩවෙලා තිබුණේ. ඒත් කිසිම සැකයකින් තොරව මම දැකපු විශිෂ්ටතම ගෝලය තමයි ඒක.”

අවසන් පූර්ව වටයේ දී බටහිර ජර්මනිය ගෝල 2-0ක් ලෙස ප්‍රංශය පරාජයට පත්කළ අතර ආජන්ටිනාව ද ගෝල 2-0ක් ලෙස බෙල්ජියම පරාජයට පත්කිරීමට සමත් විය. එහි දී ද එම ගෝල ද්විත්වයම වාර්තා කර ගනු ලැබුවේ මැරඩෝනා විසිනි.

Jorge Burruchaga scoring the winner for Argentina (Image courtesy – Getty Images)

ජූනි මස 09 වන දින ‘Estadio Azteca’ ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ දී ගෝල 5ක් වාර්තා විය. ජෝස් බ්‍රවුන් සහ ජෝර්ජේ වැල්ඩානෝ ගෝල වාර්තා කර ගනිමින් ආජන්ටිනාව තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් වුවත් තරගයේ 74 වන සහ 80 වන මිනිත්තුවල දී ගෝල 2ක් වාර්තා කර ගත් බටහිර ජර්මනිය තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. එම ගෝල වාර්තා කර ගනු ලැබුවේ නායක කාල්-හයින්ස් රුමේනිගේ සහ රූඩි වොලර් විසිනි.

කෙසේ නමුත් එම තත්වය මිනිත්තු 3ක කාලයක් සඳහා පමණක් පැවති අතර මැරඩෝනා ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝල රාමුව තුළට යොමු කළ ජෝර්ජේ බුරුචාගා ආජන්ටිනාවට තරගයේ ජයග්‍රහණය හිමි කර දෙන්නට සමත් විය. ඒ අනුව තරගය නැරඹීමට රැස්ව සිටි 115,000කට අධික ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාවක් හමුවේ මැරඩෝනා ප්‍රමුඛ ආජන්ටිනාව දෙවන වරටත් පාපන්දු ලෝක කුසලානය ඔසවන්නට සමත් වූ අතර අනෙක් පසින් බටහිර ජර්මනියට අඛණ්ඩව දෙවන වරටත් අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

එහි දී කාල්-හයින්ස් රුමේනි අවසන් තරග ද්විත්වයක සිය කණ්ඩායම පරාජයට පත්වනු දුටු පළමු නායකයා ලෙස ඉතිහාසයට එක්විය. එංගලන්තයේ ගැරී ලිනේකර් තරගාවලිය තුළ ගෝල 6ක් වාර්තා කර ගනිමින් රන් සපත්තුවට හිමිකම් කියන්නට සමත් වූ අතර රන් පන්දුවට හිමිකම් කියනු ලැබුවේ ඩියේගෝ මැරඩෝනා විසිනි.

බටහිර ජර්මනිය; ‘තෙවන වර වාසනාවන්තයෝ’ – 1990

1982 වසරේ සිට අඛණ්ඩව ලෝක කුසලාන තරගාවලි වල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා අනුශූරතාවයෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදු වූ බටහිර ජර්මනිය 1990 වසරේ දී පසුගිය තරගාවලියේ අවසන් මහා තරගයේ පරාජයේ පළිය ලබාගනිමින් ආජන්ටිනාව පරදවා ඉතිහාසයේ ඔවුන්ගේ තෙවන පාපන්දු ලෝක කුසලානයට හිමිකම් කියන්නට සමත් විය.

ගෝල අඩුවෙන්ම වාර්තා වූ ලෝක කුසලාන තරගාවලිය ලෙස ඉතිහාසයට එක්වන මෙම තරගාවලිය තුළ තරගයක් තුළ වාර්තා වූ ගෝල සාමාන්‍ය 2.1ක් ලෙස දැක්වේ. එමෙන්ම මෙහි දී රතු කාඩ්පත් 16ක වාර්තාගත සංඛ්‍යාවක් නිකුත්වීම ද කැපී පෙනෙන්නට විය.  

මේ ආකාරයට තරගාවලිය තුළ අඩු ගෝල සංඛ්‍යාවක් වාර්තා වූයේ කණ්ඩායම් අනුගමනය කරනු ලැබූ සෘණාත්මක උපාය මාර්ග හේතුවෙනි. ඒ අනුව ඔවුන් මිනිත්තු 120ක කාලය ආරක්‍ෂාකාරීව ක්‍රීඩා කොට දඬුවම් පහර වටයේ දී සිය වාසනාව උරගා බැලීමේ ක්‍රීඩා රටාවක් අනුගමනය කරන ආකාරය තරගාවලිය පුරාවට දිස්විය. ඒ අනුව වාර්තාගත දඬුවම් පහර වට 4ක් (2006 ලෝක කුසලාන තරගාවලියේ දී මෙම වාර්තාව සම වන ලදි.) මෙහි දී පවත්වනු ලැබූ අතර තවත් තරග 8ක තීරණය අතිරේක කාලයේ දී තීරණය වන්නට විය.

1934 වසරෙන් පසුව ලෝක කුසලානයක් සඳහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව මෙවර ඉතාලියට හිමිව තිබූ අතර ඒ අනුව ඔවුන් මෙක්සිකෝවට පසුව ලෝක කුසලාන තරගාවලි ද්විත්වයක් සඳහා සත්කාරකත්වය දැක්වූ පළමු රට ලෙස ඉතිහාසයට එක්විය. නගර 12ක් තුළ පැවති ක්‍රීඩාංගණ 12ක් කේන්ද්‍ර කරගනිමින් තරග පවත්වනු ලැබූ අතර ඒ අතරින් ‘Stadio San Nicola’ සහ ‘Stadio Delle Alpi’ ක්‍රීඩාංගණ මෙම ලෝක කුසලාන තරගාවලිය උදෙසාම අලුතින් ඉදිකරනු ලැබූ ක්‍රීඩාංගණ විය.

Sergio Goycochea won consecutive penalty shootouts for Argentina (Image courtesy – FIFA.com)

තරගාවලියේ ආරම්භක තරගය පැවතියේ ලෝක ශූර ආජන්ටිනාව සහ කැමරූන් කණ්ඩායම අතර යි. එහි දී තරගය අවසාන වන විට කැමරූන් කණ්ඩායමට ක්‍රීඩකයින් 09 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදුවුවත් ඔවුන් එම තරගය ගෝල 1-0ක් ලෙස ප්‍රබල ආජන්ටිනාව පරාජයට පත්කරමින් ජයග්‍රහණය කරනු ලැබුවේ ලොව පුරා පාපන්දුලෝලීන් පුදුමයට පත්කරමිනි. සත්කාරක ඉතාලිය ඔවුන් සහභාගී වූ පළමු තරගය ඔස්ට්‍රියාව පරාජයට පත්කරමින් ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එහි දී ජයග්‍රාහක ගෝලය වාර්තා කර ගනු ලැබුවේ ආදේශක ක්‍රීඩකයෙක් ලෙස තරගයට පැමිණි සැල්වතෝර් ශිලාසි විසිනි.

රොමේනියාවට එරෙහිව ගෝල ද්විත්වයක් වාර්තා කර ගනු ලැබූ කැමරූන්හි රොජර් මිලා ලෝක කුසලාන ඉතිහාසයේ වයස්ගතම ගෝල ලාභියා ලෙස ඉතිහාසගත විය. (1994 ලෝක කුසලානයේ දී මෙම වාර්තාව ඔහු විසින්ම බිඳ හෙලන ලදි.) බටහිර ජර්මනිය ඔවුන්ගේ කාණ්ඩයේ පෙරමුණ ලබාගත්තේ යුගොස්ලාවියාව, කොලොම්බියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අභිබවමිනි.

පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ දී ලෝක ශූර ආජන්ටිනාව ගෝල 1-0ක් ලෙස බ්‍රසීලය පරාජයට පත්කරමින් ඊළඟ වටයට සුදුසුකම් ලබා ගත් අතර නෙදර්ලන්තය පරාජයට පත්කළ බටහිර ජර්මනිය ද ඊළඟ වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය. එම බටහිර ජර්මනිය සහ නෙදර්ලන්තය අතර පැවති තරගයට කණ්ඩායමකට ක්‍රීඩකයින් 3 දෙනා බැගින් ‘Milan’කණ්ඩායම් නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයින් 6 දෙනෙක් සහභාගී විය. ඒ අනුව බටහිර ජර්මනිය නියෝජනය කළ අන්ඩ්‍රේයාස් බ්‍රෙහ්මේ, ලෝතාර් මැතවුස් සහ ජර්ගන් ක්ලින්ස්මන් ඒ වන විට ‘Inter Milan’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලැබූ අතර නෙදර්ලන්තය නියෝජනය කළ මාකෝ වෑන් බැස්ටන්, රූඩ් ගුලිට් සහ ෆ්‍රෑන්ක් රිජ්කාඩ් ඒ වන විට ‘AC Milan’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලැබීය.

කැමරූන් කණ්ඩායම අතිරේක කාලය තුළ දී වාර්තා කර ගනු ලැබූ ගෝල 2ක් හරහා කොලොම්බියාව පරාජයට පත්කරමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේ එවැනි දස්කමක් දැක්වූ පළමු අප්‍රිකානු කණ්ඩායම බවට පත්වෙමිනි. කෙසේ නමුත් අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ඔවුන් එංගලන්තය හමුවේ පරාජයට පත්විය.

ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබුවේ ලෝක ශූර කණ්ඩායම් 4කි. ඒ ඉතාලිය, ආජන්ටිනාව, බටහිර ජර්මනිය සහ එංගලන්තය යි. 1970 වසරෙන් පසුව මෙවන් සිදුවීමක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි.

පැවති අවසන් පූර්ව තරග ද්විත්වයම දඬුවම් පහර වටයෙන් තීරණය විය. ඒ අනුව බටහිර ජර්මනිය සහ එංගලන්තය අතර පැවති තරගය සම්පූර්ණ කාලය තුළ දී ගෝල 1-1ක් ලෙස ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වීමෙන් අනතුරුව දඬුවම් පහර වටය ගෝල 4-3ක් ලෙස ජය ගත් බටහිර ජර්මනිය අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය. අනෙක් පසින් අඛණ්ඩව දෙවන දඬුවම් පහර වටයත් එම ගෝල සංඛ්‍යාව යටතේම ජයග්‍රහණය කළ ආජන්ටිනාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත් අනෙක් කණ්ඩායම විය.

ඒ අනුව ආජන්ටිනාවේ ගෝල රකින ක්‍රීඩක නෙරී පුම්පීඩෝ වෙනුවට තරගාවලිය අතරතුර කණ්ඩායමට එක්වූ සර්ජියෝ ගෝයිකොචෙයා අර්ධ අවසන් පූර්ව වටයේ දී යුගොස්ලාවියාව හමුවේ සහ අවසන් පූර්ව වටයේ දී ඉතාලිය හමුවේ දැක්වූ දක්‍ෂතා හමුවේ කැපී පෙනෙන්නට විය.

Argentina and West Germany before the 1990 finals (Image courtesy – Getty Images)

ආජන්ටිනාව සහ බටහිර ජර්මනිය අතර අවසන් මහා තරගය ජූලි මස 08 වන දින රෝම නුවර ‘Stadio Olimpico’ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

පෙර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කරනු ලැබූ කණ්ඩායම් දෙකම මෙවර ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් විය. කෙසේ නමුත් මෙම අවසන් තරගය ලෝක කුසලාන ඉතිහාසයේ අඩුම ප්‍රමිතියෙන් යුතු අවසන් තරගය ලෙස බොහෝ දෙනා හඳුන්වනු ලබති. තරගය ආරම්භ වන්නට පෙර ආජන්ටිනාවේ ජාතික ගීය වාදනය වන අවස්ථාවේ දී ඉතාලි ක්‍රීඩාලෝලීන් ‘හූ’ කියමින් හැසිරෙන්නට වූයේ ඔවුන් අවසන් පූර්ව තරගයේ දී අත්විඳි පරාජය හේතුකොට ගෙනයි.

එම තරගය තරමක් දරුණු අවසන් තරගයක් වන්නට විය. තරගයේ 65 වන මිනිත්තුවේ දී ක්ලින්ස්මන් හමුවේ සිදු කළ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් පෙඩ්රෝ මොන්සෝන් හට විනිසුරුවරයා විසින් රතු කාඩ්පතක් නිකුත් කළ අතර ලෝක කුසලාන අවසාන මහා තරගයක දී රතු කාඩ්පතක් හිමි වූ පළමු ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක්විය. තරගයේ 84 වන මිනිත්තුව දක්වා කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කරගැනීමට අපොහොසත් වූ අතර කෙසේ නමුත් එහිදී රූඩි වොලර් හමුවේ රොබර්ටෝ සෙන්සීනි සිදු කළ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් බටහිර ජර්මනියට තරමක් මතභේදාත්මක දඬුවම් පහරක් පිරිනැමීමට විනිසුරුවරයා තීරණය කළේය. එම දඬුවම් පහර සාර්ථක කර ගනිමින් බටහිර ජර්මනිය ගෝල 1-0ක් ලෙස තරගයේ පෙරමුණට රැගෙන යන්නට අන්ඩ්‍රේයාස් බ්‍රෙහ්මේ සමත් විය.

මිනිත්තු කිහිපයකට අනතුරුව ගුස්ටාවෝ ඩෙසෝටි හට ද රතු කාඩ්පතක් නිකුත් වූ අතර ඒ අනුව මෙම තරගය තුළ පිටියෙන් ඉවත්ව යාමට සිදු වූ දෙවැනි ආජන්ටීනියානු ක්‍රීඩකයා ඔහු විය.

ලෝක කුසලාන අවසන් මහා තරග 2ක් අඛණ්ඩව පරාජයට පත්වීමෙන් අනතුරුව මෙම තරගය ගෝල 1-0ක් වශයෙන් ජයග්‍රහණය කළ බටහිර ජර්මනිය අවසානයේ ඉතිහාසයේ තෙවන වරට පාපන්දු ලෝක කුසලානයක පහස විඳගන්නට සමත් විය.        

ඉතාලියේ සැල්වතෝර් ‘ටෝටෝ’ ශිලාසි ගෝල 6ක් සමඟින් තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත්වූ අතර තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය ද ඔහුට පිරිනැමුණි. 1974 වසරේ දී බටහිර ජර්මන් කණ්ඩායමේ නායකත්වය දරමින් ඔවුන්ව ලෝක කුසලානය කරා මෙහෙය වූ ෆ්‍රාන්ස් බෙකන්බෝර් මෙවර ශූරතාවය දිනා ගත් කණ්ඩායමේ පුහුණුකාර වරයා ලෙස කටයුතු කළ අතර ඒ අනුව ක්‍රීඩකයෙක් මෙන්ම පුහුණුකරුවෙක් ලෙස ද ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ දෙවන ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක්විය. එම දක්ෂතාවය දැක්වූ පළමු පුද්ගලයා වන්නේ බ්‍රසීලයේ මරියෝ සගාලෝ ය.

වසර 24කට පසුව බ්‍රසීලය නැවතත් පෙරමුණට – 1994

Brazil dedicate their victory to the late F1 champion Ayrton Senna (Image courtesy – Getty Images)

1994 වසරේ දී පැවති ඉතිහාසයේ 15 වෙනි පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පවත්වනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ දීය. එය ඇමෙරිකාවේ පවත්වමින් ලෝක පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වූයේ ඒ හරහා ක්‍රීඩාවට ඇති ලැදියාව වර්ධනය වනු ඇති බවයි. ඔවුන් හට එහි දී කොන්දේසියක් ද පැවරුණු අතර, එනම් වෘත්තීය පාපන්දු ලීගයක් ඇමෙරිකාවේ ස්ථාපිත කිරීමයි. ඒ අනුව ‘Major League Soccer’ පාපන්දු ලීගය ආරම්භ වන්නේ ඒ හරහා ය.

කණ්ඩායම් අනුගමනය කරනු ලැබූ සෘණාත්මක ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව දුරස් කිරීම අරමුණු කරගෙන ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු 2ක් වෙනුවට ලකුණු 3ක් ලබා දීමේ ක්‍රියාදාමය ලෝක කුසලාන තරගාවලි සඳහා හඳුන්වා දෙනු ලැබුවේ මෙම තරගාවලියේ දී ය. එමෙන්ම සජීවී විස්තර විචාරකයින් හට ක්‍රීඩකයින්ව පහසුවෙන් හඳුනා ගැනීම උදෙසා ඔවුන්ගේ නම් තම ‘ජර්සියේ’ පිටිපස මුද්‍රණය කරනු ලැබීම ද මෙහි දී ආරම්භ කරන ලදි.

Oleg Salenko netted 5 goals against Cameroon (Image courtesy – Getty Images)

ඉහළම ප්‍රේක්ෂක සහභාගීත්වයක් පැවති ලෝක කුසලාන තරගාවලිය ලෙස මෙම තරගාවලිය ඉතිහාසයට එක්වන අතර ඒ අනුව මෙහි එක් තරගයක් නැරඹීම සඳහා එක්ව සිටි ක්‍රීඩාලෝලීන්ගේ සාමාන්‍ය 69,000ක තරම් ඉහළ අගයක් ගනු ලැබීය. ක්‍රීඩාංගණ 9ක් කේන්ද්‍ර කර ගනිමින් තරග පවත්වනු ලැබූ අතර ඒ අතරට ලෝක කුසලාන තරගයක් පවත්වනු ලැබූ පළමු ගෘහස්ථ ක්‍රීඩාංගණය වන ‘Pontiac Silverdome’ ක්‍රීඩාංගණය ද අයත් වේ.

තරගාවලියේ පළමු වටයේ දී මැරඩෝනාගේ ලෝක කුසලාන දිවියේ අවසානය සනිටුහන් වූයේ තහනම් උත්තේජකවලට අදාළ පරීක්ෂණයක් සමත් වීමට ඔහු අපොහොසත් වීමත් සමඟ ඔහුව තරගාවලියෙන් තහනම් කිරීමත් සමඟ යි.

සුදුසුකම් ලබා ගැනීමේ වටයේ දී විශිෂ්ට දස්කම් දැක්වූ කොලොම්බියාව ලෝක කුසලාන තරගාවලිය තුළ ද ඉහළ දස්කම් දක්වනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්‍ෂා කළත් එය එසේ වූයේ නැත. ඊට ඔට්ටු ඇල්ලීම් වල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් වල බලපෑම බෙහෙවින් ඉවහල් විය. අන්ඩ්‍රේස් එස්කොබාර් ඊට සාක්‍ෂි සපයයි.

කොලොම්බියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පැවති පළමු වටයේ තරගයේ දී ඔහු විසින් ප්‍රතිවාදී පිළට ගෝලයක් වාර්තා වූ අතර එය කොලොම්බියා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීමට ඉවහල් විය. ඊට දින 10කට පසුව ‘Medellin’ ප්‍රදේශයේ දී ඔහුව වෙඩි තබා ඝාතනය කෙරුණු අතර මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඔහු අතින් වාර්තා වූ එම ගෝලය හේතුවෙනි.  

1938 වසරෙන් පසුව පළමු වරට ජර්මනිය එක්සත් ජර්මනියක් ලෙස තරගාවලියට එක්වූ අතර කෙසේ නමුත් ඔවුන්ට බල්ගේරියාව හමුවේ ගෝල 1-2ක අනපේක්‍ෂිත පරාජයකට මුහුණ දීමට සිදු විය.

Despair for Robert Baggio (Image courtesy – AFP)

කැමරූන් කණ්ඩායමට එරෙහිව පැවති තරගයක දී රුසියාවේ ඔලෙග් සැලෙන්කෝ ගෝල 5ක් වාර්තා කර ගන්නට සමත් වූ අතර ඒ අනුව ඔහු ලෝක කුසලාන තරගාවලියක දී ගෝල 5ක් වාර්තා කර ගත් පළමු සහ එකම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්විය. කෙසේ නමුත් ඔහු එම තරගයෙන් පසුව ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වූයේ නැත. ඒ වන විට ගෝල 6ක් වාර්තා කරගෙන සිටි ඔහු තරගාවලිය අවසානයේ රිස්ටෝ ස්ටොයිච්කොව් සමඟින් තරගාවලියේ වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගන්නට ද සමත් වූ අතර ඒ අනුව සැලෙන්කෝ අදටත් තරගාවලියේ පළමු වටයෙන් ඉවත් වූ කණ්ඩායමක් නියෝජනය කරමින් රන් සපත්තුව දිනා ගනු ලැබූ එකම ක්‍රීඩකයා වේ.

එම තරගයේ දී ම කැමරූන් කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කරගත් රොජර් මිලා ලෝක කුසලානයක ගෝලයක් වාර්තා කර ගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙස ඔහු විසින්ම පිහිටුවා තිබූ වාර්තාව අලුත් කරන්නට සමත් විය. (අවු. 42 මාස 1 දින 8)

‘Pasadena’හි ‘Rose Bowl’ ක්‍රීඩාංගණයේ දී ජූලි මස 17 වන දින පවත්වනු ලැබූ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ බ්‍රසීලය සහ ඉතාලිය යි. තරගයේ මිනිත්තු 120ක කාලය පුරාවට කණ්ඩායම් දෙකම එකඳු ගෝලයක් හෝ වාර්තා කරගැනීමට අපොහොසත් වූ අතර ඒ අනුව තරගයේ තීරණය දඬුවම් පහර වටයකට යොමු විය. දඬුවම් පහර 4ක් ලබාගෙන අවසන් වන විට 3-2ක් වශයෙන් පෙරමුණේ සිටියේ බ්‍රසීලය යි.

ඒ අනුව ඉතාලිය වෙනුවෙන් තීරණාත්මක 5වන දඬුවම් පහර ලබාගැනීමේ අවස්ථාව හිමි වූයේ රොබර්ටෝ බැගියෝ හටයි. පාදයේ ආබාධයකින් පෙළීම නිසා ඔහුගේ දකුණු පාදය ඒ වන විටත් වෙළුම් පටිවලින් ඔතා තිබූ අතර එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඇදී ගියේ බ්‍රසීලයට තරගාවලියේ ශූරතාවය හිමි කර දෙමිනි. ඒ අනුව වසර 24කට පසුව ලෝක කුසලානයකට හිමිකම් කියන්නට ඔවුන්ට අවස්ථාව හිමි වූ අතර මෙය ඔවුන් දිනාගත් සිව්වැනි පාපන්දු ලෝක කුසලානය විය. මෙම ජයග්‍රහණය 1970 වසරේ දී ඔවුන් විසින් පරාජයට පත්කළ ඉතාලිය හමුවේම නැවතත් වාර්තා වීම සුවිශේෂී සිදුවීමක් විය.

Brazil dedicate their victory to the late F1 champion Ayrton Senna (Image courtesy – Getty Images)

බ්‍රසීලයේ රොමාරියෝ තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව දිනාගැනීමට සමත් විය. මෙම ලෝක කුසලාන ජයග්‍රහණය ඊට මාස කිහිපයකට පෙර දරුණු අනතුරකින් මියගිය බ්‍රසීල ජාතික ‘Formula 1’ ශූර ඒටෝන් සෙන්නා හට වෙන්කිරීමට ඔවුන් තීරණය කරනු ලැබීය.    

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<