ඉතිහාසයේ මතක ; FIFA පාපන්දු ලෝක කුසලානය (1930 – 1938)

3055
FIFA

ලොව වැඩිම පිරිසකගේ අවධානය දිනා ගන්නා පාපන්දු ලෝකයේ පාපන්දු මෞලි මංගල්‍යය, 2018 FIFA පාපන්දු ලෝක කුසලානය ලබන මාසයේ රුසියාවේ දී ආරම්භ වීමට නියමිතයි.

සෑම පාපන්දු ක්‍රීඩකයෙකුගේම සිහිනය වන පාපන්දු ලෝක කුසලානයේ ඉතිහාසය සොයා යන්නට ThePapare.com අප දරන වෑයමකි මේ.

වසන්ත ඔලිම්පික් උළෙලට  පසු වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ප්‍රේක්ෂකයින් ගණනක් සහභාගී වන පාපන්දු ලෝක කුසලානයට තෝරා ගන්නේ රටවල් 32ක් පමණක් වුවත් ලොව වටා කණ්ඩායම් 211ක් ලෝක කුසලාන වරම් වෙනුවෙන් සටන් කරයි.

වසර 1928 තරම් ඈත අතීතයට දිව යන පාපන්දු ලෝක කුසලානය එම වසරේ දී අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කළ ජුල්ස් රිමෙට් මහතාගේ වෑයමක ප්‍රතිඵලයකි. ඒ වන විට ඔලිම්පික් ශූරයින්ව සිටි කණ්ඩායමට පළමු ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දීමේ අවස්ථාව හිමි වූ අතර 1930 දී ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ පළමු ලෝක කුසලානය තිරගත විය.

මංගල ලෝක කුසලානය උරුගුවේ දිනාගනී – 1930

ජුල්ස් රිමෙට් මහතා උරුගුවේ පාපන්දු සම්මේලන සභාපති ආචාර්ය පෝල් ජූඩ් මහතාට ප්‍රධානය කරමින් (ඡායාරූප– Popper Foto)

මංගල ලෝක කුසලානය රටවල් 13ක සහභාගිත්වයෙන් පැවති අතර උරුගුවේහි මොන්ටෙවීඩො අගනුවර හි පැවති තරගාවලිය එස්ටඩියෝ කොන්ටෙනාරියෝ, එස්ටාඩියෝ පොසිටෝස් හා එස්ටාඩියෝ පාර්ක් සෙන්ට්‍රල් යන ක්‍රීඩාංගණවල දී පැවැත්විය.   

කණ්ඩයම් 13ක් කාණ්ඩ හතරක් ඔස්සේ තරග වැදුණු අතර එක් එක් කාණ්ඩයේ ජයග්‍රාහකයින් අවසාන පූර්ව  වටයට සුදුසුකම් ලබන ලදි. තරගාවලිය ජූලි මස 13 වැනිදා ආරම්භ වූ අතර එදින තරග දෙකක් ක්‍රියාත්මක විය.

ප්‍රංශ කණ්ඩයම, මෙක්සිකෝ කණ්ඩායම ගෝල 4-1ක් ලෙස පරාජය කිරීමට සමත් වූ අතර ප්‍රංශ ජාතික ලුසියන් ලෝරන්ට් ලෝක කුසලනයක දී පළමු ගෝලය වාර්තා කරමින් ඉතිහාසයට එක්වන්නට සමත් විය. තරගයේ 19 වන මිනිත්තුවේ දී එම ගෝලය වාර්තා වූ අතර එස්ටාඩියෝ පාර්ක් සෙන්ට්‍රල් පිටියේ පැවති ඇමරිකා එක්සත් ජනපදය ගෝල 3-0ක් ලෙස බෙල්ජියම පරාජය කරද්දී ඇමරිකානු ගෝල රකින ක්‍රීඩක ජිමි ඩග්ලස් කිසිදු ලෝක කුසලාන තරගයක ගෝලයක් ලබා නොදුන් පළමු දැල්පන්දු රකින්නා බවට පත්වීමට සමත් විය.   

පසුව පැවති තරගයක දී ඇමරිකානු ඉදිරිපෙළ ක්‍රීඩක බර්ට් පෙටනුඩ් පැරගුවේ කණ්ඩායමට එරෙහිව, ලෝක කුසලාන තරගාවලියට වාර්තා වූ පළමු ගෝල ත්‍රිත්වය වාර්තා කරමින් ඇමරිකානු කණ්ඩයම ගෝල 3-0ක ජයග්‍රහණයක් සඳහා රැගෙන යාමට සමත් විය. ප්‍රංශය මුහුණ දුන් අවසාන තරගය චිලි දේශය හා පැවති අතර, එහි දී ලෝක කුසලානයක පළමු දඬුවම් පහර චිලි දේශයට හිමි විය. 30 වන මිනිත්තුවේ දී වාර්තා වූ එම දඬුවම් පහර කර්ලොස් විඩාල් ලබාගත් නමුත් ප්‍රංශ ගෝල රකින ක්‍රීඩක ඇලෙක්ස් තෙපොට් එම දඬුවම් පහර නැවැත්වීමට සමත් විය.

මෙක්සිකෝවට එරෙහිව පැවති තරගයක දී ආර්ජෙන්ටිනාවේ ගුඅර්ලෙමෝ ස්ටබිලේ (Guillermo Stábile) ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ආර්ජෙන්ටිනා නායක මැනුවෙල් ෆෙරෙයිරා නීති පාඨමාලාවක විභාගයක් සඳහා නැවත ආර්ජෙන්ටිනාවට ගිය ද මෙක්සිකෝව ගෝල 6-3ක් පරාජය කිරීමට ආර්ජෙන්ටිනාව සමත් විය.

ආර්ජන්ටිනා කණ්ඩායම, 1930 (Getty Images)

සත්කාරක උරුගුවේ කණ්ඩයමේ ක්‍රීඩා පිටිය වූ එස්ටාඩියෝ සෙන්ටනාරියෝ ක්‍රීඩා පිටිය අලුත්වැඩියා කෙරෙමින් තිබූ නිසා උරුගුවේ කණ්ඩයම තරගාවලියේ පළමු තරගයට සහභාගී වූයේ තරගාවලිය ආරම්භ වී දින පහකට පසුවය. උරුගුවේ හා පීරු දේශය අතර තරගය එම පිටියේ මංගල තරගය වූ අතර උරුගුවේ ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමෙන් පසුව හරියටම වසර 100කට පසු එම තරගය පැවැත්වීම විශේෂත්වයකි.   

පළමු කාණ්ඩයෙන් ආර්ජෙන්ටිනාව අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, ප්‍රංශය (1-0), මෙක්සිකෝව (6-3) හා චිලී (3-1) ඔවුන් අතින් පරාජය විය. පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කරමින් බ්‍රසීල කණ්ඩයම 2-1ක් ලෙස පරාජය කිරීමට ද ඔවුන් සමත් විය. දෙවන කාණ්ඩයෙන් යුගොස්ලෝවියාව අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර බොලිවියාව (4-0)ක් ලෙස ඔවුන්ගේ අතින් පරාජය ලැබීය. උරුගුවේ පීරු රාජ්‍යය 1-0ක් ලෙස ද, රොමේනියාව 4-0ක් ලෙස ද පරාජය කළ කරමින් තුන්වැනි කාණ්ඩයේ පෙරමුණ ගත් අතර බෙල්ජියම හා පැරගුවේ රාජ්‍යය ගෝල 3-0කින් පරාජය කරමින් ඇමරිකා එක්සත් ජනපදය සිව්වැනි හා අවසාන අර්ධ අවසාන පූර්ව ස්ථානය දිනා ගැනීමට සමත් විය.

අවසාන පූර්ව වටයේ දී ආර්ජෙන්ටිනාව හා උරුගුවේ කණ්ඩයම් ඇමරිකාව හා යුගොස්ලෝවියාව ගෝල 6-1 බැගින් සමාන ලකුණු පුවරුවක් තරග දෙකේම ඉතිරි කරමින් අවසාන මහා තරගයට පිවිසීමට සමත් විය.           

ආර්ජන්ටිනා කණ්ඩයම හා උරුගුවේ කණ්ඩයම 1930 ලෝක කුසලාන අවසාන මහා තරගයට පිවිසෙමින් (Getty Images)

මංගල ලෝක කුසලාන අවසාන මහා තරගය ජුලි මාසයේ තිස් වෙනිදා පැවති අතර අසල්වැසි රටවල් එකිනෙකාට එරෙහිව ක්‍රීඩා පිටියට පිවිසීම නිසා තරගයේ උණුසුම ඉතා ඉහළ මට්ටමක පැවතුනි.

පළමු අර්ධයට අවසානයේ ආර්ජෙන්ටිනාව ගෝල 2-1ක් ලෙස පෙරමුණ ගත් අතර දෙවන අර්ධයේ සුපිරි දස්කම් පෙන්වූ උරුගුවේ කණ්ඩයම දෙවන අර්ධයේ ගෝල 3ක් වාර්තා කර ගනිමින් ගෝල 2-4ක් ලෙස අවසාන මහා තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය. නායක ජොසේ නසාස්සි ජුල්ස් රිමෙට් කුසලානය සිය මව්බිමේ ම සියතට ගනිමින් මංගල ලෝක කුසලානය උරුගුවෙහිම තබා ගැනීමට සමත් විය.

ලෝක කුසලාන අවසාන මහා තරගය (www.fifa.com)

ඇමරිකාව හා යුගොස්ලෝවියාව පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනාගත් අතර, ආර්ජෙන්ටිනාවේ ගුඅර්ලිමෝ ස්ටබිලේ ගෝල අටක් සමඟින් රන් සපත්තුව කුසලානය (Golden boot) දිනා ගත්තේය. ලෝක කුසලානයට සහභාගී වූ ක්‍රීඩකයින්ගෙන් වැඩිම කාලයක් ජීවත්ව සිටි ක්‍රීඩකයා වූ ආර්ජෙන්ටිනාවේ ෆ්‍රැන්සිස්කෝ වැරල්ලෝ අවසර 100ක් ආයු වළඳා 2010 දී ලෝක කුසලානයට වසර 80කට පසු සිය දිවියෙන් සමුගත්තේය.    


ඉතාලිය ලෝක කුසලානය යුරෝපයට රැගෙන යයි – 1934

ජයග්‍රාහී ඉතාලි කණ්ඩයම ( Popper Foto)

දෙවන ලෝක කුසලානය ඉතාලියේ දී පැවැත්වූ අතර පළමු ලෝක කුසලානයේ දී ඉතාලිය උරුගුවේ රාජ්‍යයට  සංචාරය කිරීමට අකමැත්ත පල කළ නිසා ගියවර ශූරයින් වූ උරුගුවේ කණ්ඩායම දෙවන ලෝක කුසලානයට සහභාගී වීමෙන් වැළකුණි.

ආර්ජෙන්ටිනා කණ්ඩායම අසීරු තත්වයට පත්කරමින් ආර්ජෙන්ටිනා කණ්ඩයමේ ප්‍රබල ක්‍රීඩකයින් සිව්දෙනෙක් ඉතාලි කණ්ඩායමට ක්‍රීඩා කිරීම ඔවුන්ට දැඩි අවාසියක් විය.

ලුයිස්ටෝ මොන්ටි, වසර හතරකට පෙර ලෝක කුසලාන අවසාන මහා තරගයට ආර්ජෙන්ටිනාව නියෝජනය කළ අතර මෙවර ලෝක කුසලානයේ දී ඔහු අටිලියෝ ඩි මරියා, එන්රිකෝ ගයිටා හා රයිමුන්ඩෝ ඔර්සි යන ආර්ජෙන්ටිනා ක්‍රීඩකයින් සමඟින් ඉතාලි කණ්ඩායමට ක්‍රීඩා කළේය. ලෝක කුසලානයට සහභාගී වූ පළමු අප්‍රිකානු රට වෙමින් ඊජිප්තුව ඉතාලියට පැමිණි අතර අර්බුදකාරී සිදුවීම් රැසක් කරළියට ගෙන එමින් ඉතාලියේ ඒකාධිපති ආඥාදායක බෙනිටෝ මුසොලිනි ද සිය අදහස් මුදාහරින්නට ලෝක කුසලානය වේදිකාවක් කර ගත්තේ ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ අප්‍රසාදය මාධ්‍යයේ ය.  

ඉතාලිය හා ඔස්ට්‍රියාව අතර අවසාන පුර්ව තරගය ( AP)

ඉතාලියේ නගර අටක් පුරා පැවති දෙවන ලෝක කුසලානයට කණ්ඩයම් 16ක් සිය දායකත්වය දැක්වූ අතර පිළිමළුන් පිටුදැකීමේ ආකෘතියට අනුව තරගාවලිය පැවැත්විය.

ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට දෙවන වටයේ කණ්ඩයම් අට තුලට එක්වූ සියලු කණ්ඩයම් යුරෝපීය කණ්ඩයම් වූ අතර ආර්ජෙන්ටිනා, බ්‍රසීල, ඇමරිකා හා ඊජිප්තු කණ්ඩයම් පළමු වටයෙන්ම ඉවතට විසි විය. අවසාන පූර්ව වටයේ දී ඉතාලිය ගෝල 1-0ක් ලෙස ඔස්ට්‍රියාව පරාජය කළ අතර චෙකොස්ලොවැකියාව ගෝල 3-1ක් ලෙස ජර්මනිය පරාජය කරන ලදි.

අවසාන තරගය පැවැත්වූ ක්‍රීඩාංගනය (www.fifa.com)

ජාතික ෆැසිසිට් පක්ෂයේ පාපන්දු ක්‍රීඩාංගණයේ දී ඉතාලිය හා චෙකොස්ලොවැකියාව අතර අවසාන මහා තරගය පැවත්වූ අතර මිනිත්තු 20 දී 1-0ක් බවට පත්වූ තරගය 81 වන මිනිත්තුවේ දී ඉතාලියේ රයිමුන්ඩෝ ඔර්සි විසින් 1-1ක් බවට පත් කළේය.

තරගය අතිරේක කාලය සඳහා ඉදිරියට ක්‍රියාත්මක වූ අතර එහි දී ක්‍රියාත්මක වූ ඉතාලියේ ඇන්ජෙලෝ චියාවියෝ ඉතාලිය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය දැල තුලට යොමු කිරීමට සමත් විය. ඉතාලිය ලෝක කුසලාන තරගාවලියක් දිනූ දෙවන සත්කාරක රට බවට පත්වෙද්දී ඉතාලි නායක ජියාන්පිරෝ කොම්බි ලෝක කුසලානයක් දිනූ පළමු දැල් රකින නායකයා බවට පත්විය. චෙකෝස්ලෝවැකියාවේ ඔල්ඩ්රිච් නේජර්ඩ්ලි (Oldřich Nejedlý) ගෝල පහක් සමඟින් තරගාවලියේ වැඩිම ගෝල ලබාගත් ක්‍රීඩකයා බවට පත්විය.     

ඉතාලිය හා චෙකොස්ලොවැකියාව අතර අවසාන මහා තරගය (Getty Images)

ඉතාලිය පිට පිටම ලෝක කුසලාන දෙකක් ජයගනී – 1938

විටෝරියෝ පොස්සෝ ජුල්ස් රිමෙට් කුසලානය සමග, විටෝරියෝ ලෝක කුසලානය දෙවරක් දිනු එකම කළමනාකරුවා යි. (Getty Images)

1938 ලෝක කුසලානයේ සත්කාරකත්වය ප්‍රංශයට හිමි වූ අතර වාද විවාද මැද සත්කාරත්වය දකුණු ඇමරිකාවෙන් අහිමි කළ නිසා ආර්ජෙන්ටිනාව හා උරුගුවේ ලෝක කුසලානය වර්ජනය කිරීමට පියවර ගත්තේය.

පළමු වතාවට ගියවර ශූරයින් වූ ඉතාලියත්, සත්කාරකයින් වූ ප්‍රංශයත් නිතරගයෙන්ම ලෝක කුසලානයට සුදුසුකම් ලැබිය. 2006 වන තුරුම ගියවර ශූරයින්ට ලෝක කුසලානයට නිතරගයෙන් වරම් හිමි වුවද 2006 සිට එම අවස්ථාව කණ්ඩායම්වලට අහිමි කෙරිණි.

1938 ලෝක කුසලානයට සහභාගී වූ කණ්ඩායම් 15න් නෙදර්ලන්ත නැගෙනහිර ඉන්දීය දූපත් හෙවත් වර්තමාන ඉන්දුනීසියාව ලෝක කුසලානයට සහභාගී වූ පළමු ආසියානු රට විය.

1934 මෙන්ම මෙවර ලෝක කුසලානයේ ද පිළිමළුන් පිටුදැකීමේ ආකෘතියට තරග ක්‍රියාත්මක වූ අතර නියමිත මිනිත්තු 90 දී තරගය ජය පරාජයෙන් තොරව තිබුණහොත් තවත් මිනිත්තු තිහක අමතර කාලයක් තරගය ක්‍රීඩා කිරීමට අවශ්‍ය කටයුතු යෙදිනි. එම කාලයේදීත් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ හොත් තරගය නැවත ක්‍රීඩා කෙරිණි.

පෝලන්තයට එරෙහිව බ්‍රසීලය  (AFP)

1934 හා 1938 ලෝක කුසලානයන් ආරම්භයේ සිටම පිළිමළුන් පිටුදැකීමේ ආකෘතියට ක්‍රියාත්මක වූ අවසාන ලෝක කුසලානයන් විය. පෝලන්තයේ අර්නස්ට් විල්මොව්ස්කි බ්‍රසීලය සමඟ තරගයේ දී ගෝල හතරක් වාර්තා කර ගනිමින් ලෝක කුසලානයක ගෝල හතරක් දැල්ගත කළ පළමු ක්‍රීඩකයා බවට පත්වූ නමුත් ඔහුගේ උත්සාහය අපතේ යවමින් බ්‍රසීලය ගෝල 6-5ක් ලෙස තරගය ජය ගන්නට සමත් විය.

ප්‍රංශ නගර දහයක් පුරා ක්‍රීඩාංගණ 11ක් මෙවර ලෝක කුසලානයට සත්කාරකත්වය දැක්වූ අතර පැරිස් නගරයේ ස්ටෙඩ් ඔලිම්පික් ඩි කොම්බෙස් ක්‍රීඩාංගණය ඉතාලිය හා හංගේරියාව අතර අවසාන මහා තරගයේ සත්කාරකත්වය දැක්විය. දෙවන ලෝක කුසලානයත් ඉතාලියට රැගෙන යමින් ගෝල 4-2ක් ලෙස හංගේරියාව පරාජය කිරීමට ඉතාලි කණ්ඩයම සමත් විය.    

වසරේ සිට 1939 වසර දක්වා අපරාජිතව සිටි අතර ඉතාලි කළමනාකරු වූ විටෝරියෝ පොස්සෝ ලෝක කුසලාන දෙකක් දිනූ එකම කළමනාකරු බවට පත්වීමට සමත් විය.  

ඉතාලිය ලෝක කුසලාන ජය සමරමින් (Getty Images)

බ්‍රසීලයේ කළු දියමන්තිය ලෙස විරුදාවලිය ලත් ලියොනිඩාස් වැඩිම ගෝල ලාභියා වෙමින් ගෝල හතක වාර්තා කිරීමට සමත් විය .ජියෝවන්නි ෆෙරාරි, ගුයිඩෝ මාසේට්ටි, එරාල්ඩෝ මොන්සේග්ලියෝ සහ නායක ජියුසේප්පේ මෙස්සා (Giovanni Ferrari,Guido Masetti, Eraldo Monzeglio, Giuseppe Meazza) ලෝක කුසලාන දෙකම දිනූ කණ්ඩයම් දෙකේම සාමාජිකත්වය දැරීය. මෙස්සා ඉතාලියේ ඉන්ටර්නැෂනාලේ (Internazionale) ක්‍රීඩා සමාජයේ කළමනාකරු ලෙස කටයුතු කළ අතර සිය ක්‍රීඩා දිවියේ වැඩි කලක ද එම ක්‍රීඩා සමාජයේම ක්‍රීඩා කරන ලදි.

ඒ සි මිලාන් හා ඉන්ටර්නැෂනාලේ යන කණ්ඩයම් දෙකම සිය නිවහන ලෙස භාවිතා කරන සැන්සිරෝ ක්‍රීඩාංගණය 198 දී මේ විශිෂ්ට ක්‍රීඩකයා නමින් නම් කළේය.

1938 පසු 1982 වනතුරුම ඉතාලි කණ්ඩායමට නැවත ලෝක කුසලානයක් දිනා ගැනීමට නොහැකි විය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<