ඉතිහාසයේ මතක; FIFA ලෝක කුසලානය (1950 – 1958)

65

දෙවෙනි ලෝක යුද්ධය හේතුවෙන් 1938 වසරේ ලෝක කුසලානයෙන් පසු නැවතත් ලෝක කුසලානයක් දැක බලා ගැනීමට ක්‍රීඩාලෝලි ප්‍රේක්ෂකයින්ට වසර 12ක් බලා සිටින්නට සිදු වුනා.

දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස අවසන් වරට ලෝක ශූරයින් වූ ඉතාලිය වසර 16ක් කුසලානයට හිමිකම් කීමට සමත් වුනා. 1934 සිට 1950 දක්වා ලෝක කුසලානය ඉතාලියේ රැඳුණු අතර FIFA හි උප සභාපති වූ ඔටෝරිනෝ බරාස්සි (Dr. Ottorino Barassi) සිය නිදියහන යට සුරක්ෂිත පෙට්ටියක ලෝක කුසලානය සඟවා තැබූ බව පැවසෙනවා. ලොව පුරා පාපන්දු ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත්කරමින් 1950 දී FIFA පාපන්දු කුසලානය නැවතත් ආරම්භ වුනා.

‘ජාතියක් හැඬවූ ගෝලයක්’ – 1950

උරුගුවේ, 1950 ලෝක කුසලානයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කරමින් (Getty Images)

විනාශකාරී ලෝක යුද්ධයක් අවසානයේ වසර 12කට පසු ලෝක කුසලාන තරගාවලියක් නැවත සංවිධානය වූ අතර දකුණු ඇමරිකාවට සත්කාරකත්වය ලබා දෙමින් බ්‍රසීලය සත්කාරක දේශය ලෙස තෝරා ගන්නා ලදි. පාපන්දු ක්‍රීඩාවට මහත් සේ ඇලුම් කළ පාපන්දුවට ‘පිස්සු වැටුණු’ ක්‍රීඩාලෝලීන් පිරිසක් සිටි බ්‍රසීලයට මෙය ඉතා වටිනා අවස්ථාවක් විය.

ඉතිහාසයේ මතක ; FIFA පාපන්දු ලෝක කුසලානය (1930 – 1938)

ලොව වැඩිම පිරිසකගේ අවධානය දිනා ගන්නා පාපන්දු ලෝකයේ පාපන්දු මෞලි මංගල්‍යය…

සියලු දෙනාටම අවස්ථාවක් ලැබෙන පරිදි (round robin) නව තරගාවලි ආකෘතියක් හඳුන්වා දුන් අතර මේ තීරණයට හේතුව වූයේ යුද්ධය නිසා හා වෙනත් හේතු නිසා පරිහානියට පත්වූ ක්‍රීඩාංගණ හා අනෙකුත් යටිතල පහසුකම් සඳහා විශාල මුදලක් වැය කිරීමයි.1934 හා 1938 වසරවල දී පැවති ලෝක කුසලානවල දී පිළිමළුන් පිටුදැකීමේ තරග ආකෘතියක් අනුගමනය කළ අතර එහි දී ක්‍රියාත්මක වූයේ තරග 16කට ආසන්න ප්‍රමාණයකි. නමුත් තරගාවලියට වැය කිරීමට සිදු වූ විශාල මුදල ආපසු උපයා ගැනීමේ අරමුණින් තරග වැඩි, කාණ්ඩ දෙකකින් යුතු, සෑම කණ්ඩායමක්ම තමන්ගේ කාණ්ඩයේ අනෙක් සෑම කණ්ඩායමක් සමගම ක්‍රීඩා කරන, නව ආකෘතියක තරගාවලියක් සංවිධානය කිරීමට සංවිධායකයින් පියවර ගත්හ.   

1934 හා 1938 මෙන් නොව එක තරගයකින් ඉවත්ව යෑම වෙනුවට, සෑම කණ්ඩායමකටම අඩුම තරමේ තරග තුනක් හෝ ක්‍රීඩා කිරීමට ලැබෙන අතර එම කරුණ යුරෝපීය කණ්ඩයම් බ්‍රසීලයට ගෙන්වා ගැනීමට ද උපක්‍රමයක් ලෙස භාවිතා විය. මුල දී FIFA හි නිලධාරීන් මෙම ආකෘතිය ප්‍රතික්ෂේප කළ නමුත් බ්‍රසීලය සත්කාරකත්වයෙන් ඉවත් වන බවට තර්ජනය කළ නිසා ඔවුන් එම ආකෘතියට සිය කැමැත්ත පල කළහ.

පාපන්දු ලෝලීන්ගේ මහගෙදර බඳු, එවකට ලොව විශාලම ක්‍රීඩාංගණය ලෙස සලකන ලද බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ හි ‘මරකානා’ ක්‍රීඩාංගණය ලෝක කුසලානය වෙනුවෙන්ම ගොඩනැගූ අතර සාඕ පාවුලෝ (Sao Paulo), බේලෝ හොරිසොන්ටේ (Belo Horizonte), කර්ටිබා (Curitiba), පෝර්ටෝ අල්ග්රේ (Porto Alegre) අනෙක් සත්කාරක නගර විය.    

කණ්ඩයම් 16ක් මෙම තරගාවලියට සුදුසුකම් ලැබුව ද එයට සහභාගී වූයේ කණ්ඩයම් 13ක් පමණි. තුර්කිය, ස්කොට්ලන්තය හා ඉන්දියාව තරගාවලියෙන් ඉවත් විය. සිය මවුබිමේ පැවති තරගාවලියක ජයග්‍රහණයක් පිළිබඳ ස්කොට්ලන්ත පාපන්දු බලධාරීන් හා ක්‍රීඩකයින්ගේ ස්ථාවරය හේතුවෙන් ස්කොට්ලන්තය තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ අතර ආර්ථික තත්වය යහපත් නොවීම හේතුවෙන් තුර්කිය හා ඉන්දියාව තරගාවලියෙන් ඉවත් විය. ඒ වන විට ප්‍රවාහන ගාස්තු, කණ්ඩායම් තෝරා ගැනීමේ කටයුතු සඳහා වියදම්, කණ්ඩයමේ පුහුණු කටයුතු සඳහා වන වියදම් හා නොයෙක් අනෙකුත් වියදම් නිසා FIFA ලෝක කුසලානයක් සඳහා කණ්ඩායමකට වැය වන මුදල ඔලිම්පික් උළෙල සඳහා කණ්ඩායමක් යැවීමට වැය වන මුදලටත් වඩා වැඩි මට්ටමක පැවතුණි.

තරගාවලියට සහභාගී වන බව ප්‍රකාශ කළත් තරගාවලිය ආසන්නයේ ප්‍රංශය තරගාවලියෙන් ඉවත් වූ අතර එබැවින් සිය මංගල ලෝක කුසලානය ලෙස මෙම  තරගාවලියට එක්වූ එකම රට එංගලන්තය බවට පත්විය.

1950 උරුගුවේ කණ්ඩායම (Getty Images)

ඉතාලිය සිය අපරාජිත වාර්තාව ඉක්මනින්ම අහිමි කර ගත් අතර පළමු වටයේ දී ම ස්වීඩනය ගෝල 3-2ක් ලෙස ඉතාලිය පරාජය කිරීමට සමත් විය. යෝධයින් සේ වටයෙන් වටය සිය සියලු තරග ජය ගනිමින් බ්‍රසීල කණ්ඩයම ලෝක කුසලාන ජය සොයමින් ඉදිරියට ඇදුණු අතර මෙක්සිකෝව (4-0), ස්වීඩනය (7-1) හා ස්පාඤ්ඤය (6-1) ඔවුන් අතින් සුනුවිසුනු විය.

අවසාන කණ්ඩයම් හතරට බ්‍රසීලය, ස්වීඩනය, ස්පාඤ්ඤය හා 1930 ලෝක කුසලානය දිනූ උරුගුවේ ඇතුලත් විය. තරගාවලිය ‘round robin’ ආකාරයට ක්‍රියාත්මක වූ නිසා සෑම කණ්ඩායමක් ම අනෙක් කණ්ඩායම් සියල්ල සමඟ තරග වැදුණු අතර ‘de facto final’ ලෙස හැඳින්වුණු තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය වූ තරගය බ්‍රසීලය හා උරුගුවේ අතර පැවැත්විය. එම තරගය ජය පරාජයෙන් අවසන් වුවහොත් බ්‍රසීලයට තරගාවලියේ ජය හිමි වන අතරම එම තරගයේ ජය, උරුගුවේ දේශයට තරගාවලිය ජය ගැනීමට අත්‍යවශ්‍යම කරුණක් විය.

අවසාන තරගයේ අවස්ථාවක් (FIFA.com)

1950 වසරේ ජූලි 16 වැනිදා 199,854 ජනකායක් බ්‍රසීල කණ්ඩායමේ ලෝක කුසලාන ජය දැක බලා ගැනීමේ අරමුණින් රියෝ හි මරකානා ක්‍රීඩා පිටියට එක්රැස් වූ අතර රැස්වූ බොහෝ දෙනා මෙන්ම ලොව පුරා සියලු දෙනා බ්‍රසීල ජය බලාපොරොත්තු වූ නිසා සත්කාරක බ්‍රසීල කණ්ඩයම දැඩි පීඩනයක් යටතේ තරගයට ක්‍රීඩා කිරීම උරුගුවේ කණ්ඩායමට වෙස්වලාගත් ආශීර්වාදයක් විය.    

දෙවන අර්ධය ආරම්භ වී දෙවන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කර ගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට බ්‍රසීල කණ්ඩායම සමත් වූ නමුත් 66 වන මිනිත්තුවේ දී ගෝල සමකරන්නට උරුගුවේ කණ්ඩායම සමත් විය. තරගයේ අවසානයට මිනිත්තු 11ක් ඉතිරිව තිබිය දී මරකානා ක්‍රීඩාංගණයේ ලක්ෂ දෙකක ප්‍රේක්ෂකයින් හා බ්‍රසීලය පුරා ලක්ෂ ගණනක් ප්‍රේක්ෂකයින් හඬවමින් උරුගුවේ රාජ්‍යයේ ගිගියා (Ghiggia), බ්‍රසීල රකින්නා මගහරිමින්, ගෝල කණු අතරින්, දැල තුලට පන්දුව යැවීමට සමත් වූ අතර ක්ෂණයකින් නිශ්ශබ්ද වූ බ්‍රසීලය පුරා ඇසුණේ දෙවන වරටත් ලෝක කුසලානයක් දිනූ උරුගුවේ ක්‍රීඩකයින් නැගූ ජය ඝෝෂා පමණි.

බ්‍රසීලයට අත්වූ අපේක්ෂා නොකළ පරාජය නිසා ‘Maracanazo’ ලෙස වදනක් බ්‍රසීල ව්‍යවහාරයට එක්වූ අතර එම වදනේ අර්ථය අපේක්ෂා නොකළ පරාජය යන්නයි. තරග 22ක දී 88ක් වාර්තා වූ අතර බ්‍රසීලයේ ඇඩේමීර් (Ademir) ගෝල අටක් සමඟින් වැඩිම ගෝල ලාභියා බවට පත්විය.

‘ගෝල සැණකෙළියක්’ – 1954

ජයග්‍රාහී බටහිර ජර්මන් කණ්ඩායමේ නායක ෆ්‍රිට්ස් වෝල්ටර් හා පුහුණුකරු සෙප් හර්බර්ගර් (Getty Images)

1954 ලෝක කුසලානය, ස්විස්ටර්ලන්තයේ පැවැත්වුණු අතර ස්විස්ටර්ලන්තය ලෝක කුසලානයකට සත්කාරකත්වය දැක්වූ කුඩාම රට විය. තරගාවලිය ගෝල සැණකෙළියක් වූ අතර ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා වූ ලෝක කුසලානය හා එක තරගයකට වාර්තා වූ ගෝල මධ්‍යන්‍ය වැඩිම ලෝක කුසලානය ලෙස ඉතිහාසයට එක්විය.   

තරග 26ක් පුරා ගෝල 140ක් දැල වෙතට යොමු කිරීමට ක්‍රීඩකයෝ සමත් වූ අතර එක තරගයකට ගෝල සංඛ්‍යාව 5.38ක් විය. නගර හයක් ලෝක කුසලානයට සත්කාරකත්වය දැරූ අතරම අවසාන මහා තරගයට බර්න් හි වෑන්ක්ඩොර්ෆ් ක්‍රීඩාංගණය සූදානම් කෙරිණි.

‘බර්න් හි මහා සටන’ (Getty Images)

සන්ඩෝර් කොක්සිස්ගේ මූලිකත්වයෙන් බලගැන්වුණු හංගේරියාව තරගාවලියේ ‘ගෝල මැෂිම’ වූ අතර සැන්ඩෝර් ගෝල 11ක් වාර්තා කිරීමට සමත් විය. හංගේරියාවේ පුරාවෘත්තයක් බඳු වූ ෆෙරෙන්ක් පුස්කාස් (Ferenc Puskas) හංගේරියාව ලෝක කුසලාන අවසාන මහා තරගය දක්වා මෙහෙයවීමට සමත් වුනා. ප්‍රතිවාදී ගෝල රකින්නන් අන්ත අසරණ කළ ඔවුන් දකුණු කොරියාව (9-0), බටහිර ජර්මනිය (8-3), බ්‍රසීලය (4-2) ලෙස පරාජය කළ අතර ‘බර්න් හි මහා සටන’ ලෙස හැඳින්වූ  හංගේරියා-බ්‍රසීල තරගය තරගයක් නොව සටනක්ම බවට පත්වුණේ තරගය පුරා රතු කාඩ්පත් තුනක් හා වාර්තාගත නිදහස් පහර 42ක් ලබා දීමට විනිසුරුවන්ට සිදු වූ නිසාවෙනි.

උපක්‍රමශීලී වූ සෙප් හර්බර්ගර්, උපක්‍රමශීලී ‘සූදුවක’ නිරත වූ අතර සිය පරාජය බලාපොරොත්තු වෙමින් හංගේරියාව සමඟ තරගයට සිය ප්‍රබල ක්‍රීඩකයින් විවේක ගන්වමින් දුර්වල කණ්ඩයමක් යැවීමට ඔහු තීරණය කළේය. අපේක්ෂා කළ පරිදීම ඔවුන් පරාජය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අමතර තේරීම් තරගයකට තුර්කිය සමඟ සහභාගී වීමට සිදුවුවත් එම තරගය ගෝල 7-2ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගැනීමට ඔවුන්ට හැකි වුනා.

බටහිර ජර්මන් කණ්ඩයම අවසාන මහා තරගයේ (Foto-net)

තරග 32ක් අපරාජිතව සිටිමින් හංගේරියානු කණ්ඩායම ලෝක කුසලාන අවසාන මහා තරගයට ප්‍රවිෂ්ට වූ අතර පළමු වටයේ දී සිය ‘තුරුම්පු’ සඟවා ක්‍රීඩා කළ ජර්මනිය අනෙක් කණ්ඩයම ලෙස අවසාන මහා තරගයට සහභාගී විය. අවසන් මහා තරගය දිනයේ වර්ෂාව ජර්මනියට වෙස්වලාගත් ආශීර්වාදයක් වෙමින් බර්න් හි වෑන්ක්ඩොර්ෆ් ක්‍රීඩාංගනය තෙමන්නට පටන්ගත් අතර තෙත් සහිත තත්ත්ව වලදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන ජර්මන් නායක ෆ්‍රිට්ස් වොල්ට්ස් වර්ෂාව නිසා ඉමහත් සතුටට පත්වූ බව නොරහසකි.   

ඇඩොල්ෆ් ඩැස්ලර් (Adidas හි නිර්මාතෘ) තරගයට සහභාගී වූ ක්‍රීඩකයින්ට පාවහන් සඳහා අනුග්‍රහය දැක්වූ අතර පළමු වටයේ දී 8-3ක පරාජය ජයග්‍රහණයක් බවට පත්කර ගනිමින් සිය ‘තුරුම්පු’ සියල්ල ක්‍රීඩා කරවූ බටහිර ජර්මනිය ගෝල 3-2ක් ලෙස හංගේරියාව වික්ෂිප්ත කරමින් ‘බර්න් හි ප්‍රාතිහාර්ය’ පාන්නට සමත් විය.   

කෙසේ වුවත් අවසාන මහා තරගය පිළිබඳව නොවිසඳුණු මතභේදාත්මක සිදුවීම් කිහිපයක් ද පැවති. ගෝල 2-2ක් ලෙස ජර්මනිය ගෝල සමකළ අවස්ථාවේ ජර්මන් ක්‍රීඩක හෑන්ස් (Hans Schäfer) හංගේරියානු ගෝල රකින්නා (Gyula Grosics) ට බාධා කළ බවත්, පසුව 87 වන මිනිත්තුවේ දී හංගේරියානු නායක පුස්කාස්ගේ ගෝලය ‘Off side’ ලෙස  තීරණය කිරීමත් යන අවස්ථා දෙක අදටත් ඉතිහාසයේ මත භේදාත්මක සිදුවීම් ලෙස සැලකේ.

2010 වසරේ දී 1954 ලෝක කුසලානය දිනූ ජර්මන් කණ්ඩායමට එරෙහිව තහනම් උත්තේජක චෝදනා එල්ල වූ අතර කෙසේ නමුත් පාපන්දු ලෝකයාට 1954දී නව ලෝක ශූර කණ්ඩයමක් දැක බලා ගැනීමට හැකි විය. අවාසනාවන්ත ලෙස හංගේරියානු කණ්ඩායමට ඉතිහාසයේ දෙවන වතාවටත් අනුශූරයින් ලෙස සෑහීමට පත්වන්නට සිදු විය.

නව වාර්තා කිහිපයක් මේ තරගාවලියේ දී බිහි වූ අතර හංගේරියාව ලෝක කුසලාන තරගාවලියක් තුල දී ගෝල 27ක් වාර්තා කර ගනිමින් තරගාවලියක් තුල දී වාර්තා වූ වැඩිම ගෝල ගණනේ වාර්තාව තමන් සතු කරගත්තේය. ජයග්‍රාහී ජර්මනිය ගෝල 25ක් වාර්තා කර ගනිමින් ජයග්‍රාහි කණ්ඩයමක් වාර්තා කර ගත් වැඩිම ගෝල ගණනත්, දකුණු කොරියානු කණ්ඩයම ප්‍රතිවාදීන්ට වැඩිම ගෝල ගණනක් ලබා දුන් (ගෝල 16) කණ්ඩායම බවටත් පත්විය. ඔස්ට්‍රියාව හා ස්විස්ටර්ලන්තය අතර තරගය වැඩිම ගෝල ගණනක් වාර්තා වූ තරගය ලෙස ඉතිහාසයට එක්විය (7-5).

පළමු වතාවට ලෝක කුසලානයක සජීව රූපවාහිනි වර්තාකරණයක් ප්‍රේක්ෂකයින්ට දැකබලා ගැනීමට හැකි වූ අතර විශේෂිත කාසි හා සිහිවටන ද ලෝක කුසලානය සිහිවීම උදෙසා නිකුත් කරන ලදි. පළමු වටයේ තරගයක් පරාජය වූ ලෝක කුසලානයක් දිනූ එකම රට බවට එවකට බටහිර ජර්මනිය පත්විය.

ජර්මනියට පාපන්දු ලීගයක් නොතිබුණු අතර ජර්මන් කණ්ඩයමේ බොහෝ ක්‍රීඩකයෝ ආධුනික ක්‍රීඩකයෝ විය. ආධුනික කණ්ඩායමක් FIFA ලෝක කුසලානයක් දිනූ පළමු වතාව මෙය වූ අතර හංගේරියානු නායක පුස්කාස් තරගාවලියේ වීරයා ලෙස ද පසුකලක දී ගෝල 84ක් වාර්තා කර ගනිමින් හංගේරියාවේ වැඩිම ගෝල ලාභියා බවට ද පත්විය. රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු තරග 180ක දී ගෝල 156ක් වාර්තා කර ගැනීමට සමත් විය.

‘නව තරුවක් සමඟින් බ්‍රසීලය ජයග්‍රහණයේ පහස විඳි – 1958’

බ්‍රසීල කණ්ඩායම; නායක හිල්ඩේරාල්ඩෝ බෙල්ලිනි ලෝක කුසලානය සමග (Getty Images)

බ්‍රසීල කණ්ඩයම 1958 දී සිය පළමු ලෝක කුසලානය ස්වීඩනයේ දී දිනා ගැනීමට සමත් විය. පළමු වටයේ සෝවියට් රුසියාව සමග තරගයේ දී නව ක්‍රීඩකයින් දෙපලක් හඳුන්වා දීමට ඔවුන් කටයුතු කළ අතර ඉන් පළමුවැන්නා ‘ගරින්චා’ (Garrincha) ලෙස හැඳින්වූ 17 හැවිරිදි මැනුවෙල් ෆ්‍රැන්සිස්කෝ ඩොස් සන්ටෝස් සිය. අනෙක් ක්‍රීඩකයා තරගාවලිය උඩුයටිකුරු කිරීමට සමත් වූ ක්‍රීඩකයා වූ එඩිසන් අරන්ටෙස් ඩො නසිමෙන්ටෝ හෙවත් ‘පේලේ’ සිය. ප්‍රංශයට විශිෂ්ට ආක්‍රමණශීලී ක්‍රීඩකයෙකු සිටි අතර ජස්ට් ෆොන්ටෙන් නම් වූ ඔහු මෙම තරගාවලියේ දී ගෝල 13ක් වාර්තා කර ගැනීමට සමත් විය.    

පළමු වටයේ බ්‍රසීල-එංගලන්ත ගැටුම ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ගොතෙන්බර්ග් හිදී ලෝක කුසලාන තරගාවලියක පළමු ගෝල රහිත තරගය වාර්තා විය. එංගලන්ත කණ්ඩායම දුර්වල කරමින්, මියුනිච් හිදී සිදු වූ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ගුවන් අනතුර නිසා වටිනා ජාතික ක්‍රීඩකයින් තිදෙනෙක්ට දිවි අහිමි වූ අතර නවක තරුවක වූ ඩන්කන් එඩ්වර්ඩ්ස් ද ඒ අතර විය.

ආර්ජෙන්ටිනාවට සිය දරුණුතම පරාජය අත්කර දෙමින් චෙකොස්ලොවැකියාව ගෝල 6-1ක් ලෙස ආර්ජෙන්ටිනාව තරගාවලියෙන් ඉවතට ඇද දැමීමට සමත් විය. ඒ වන විට ගෝල 6ක් වාර්තා කරගෙන සිටි ජස්ට් ෆොන්ටෙන් ප්‍රමුඛ ප්‍රංශ කණ්ඩයම ඉවතට ඇද දැමීමට පේලේගේ ගෝල ත්‍රිත්වයෙන් බලගැන්වුණු බ්‍රසීල කණ්ඩායමට හැකි විය. (5-2)

තෙවන ස්ථානය සඳහා වූ තරගයේ දී ෆොන්ටෙන් තවත් ගෝල හතරක් වාර්තා කළ අතර අදටත් එක් තරගාවලියක් තුල වැඩිම ගෝල වෙමින් ඔහු ගෝල 13ක් රැස්කරගෙන සිටියි.

1958 අවසාන මහා තරගය ( Foto-net)

ස්වීඩනය පුරා ක්‍රීඩාංගණ 12ක් පුරා ලෝක කුසලානය දියත් වූ අතර ස්ටොක්හෝල්ම් හි රුසන්ඩා ක්‍රීඩාංගණය බ්‍රසීලය හා සත්කාරක ස්වීඩනය අතර අවසන් මහා තරගයට සත්කාරකත්වය දැක්විය. දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කළ බ්‍රසීල කණ්ඩායම ගෝල 5-2ක් ලෙස සිය පළමු ලෝක කුසලානය දිනා ගත් අතර පේලේ නැවත වතාවක් ක්‍රියාත්මක වෙමින් අවසන් තරගයේ දී ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් විය.  

1950 ලෝක කුසලානයේ මෙන්ම ඊටත් වඩා ප්‍රේක්ෂකයාට ලෝක කුසලානය සමීප කරමින් පළමු වතාවට අන්තර්ජාතික රූපවාහිනී වාර්තාකරණයක් ලබා දුන් අතර 1956 දී ලෝක කුසලානයේ නිර්මාතෘ ජුල්ස් රිමෙට් මියයාමෙන් අනතුරුව ඔහු නොමැතිව පැවැත්වූ පළමු ලෝක කුසලානය ද මෙය විය. පළමු සහ අවසාන වතාවට බ්‍රිතාන්‍ය රටවල් හතරම ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ අතර ඉතාලිය ඉවතට ඇද දමමින් වේල්සය හා උතුරු අයර්ලන්තය ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට සමත්විය.

සිය ප්‍රබල ක්‍රීඩක ලෙව් යෂින් (Lev Yashin) සමඟින් සෝවියට් රුසියාව ද පළමු වතාවට ලෝක කුසලානයක ක්‍රීඩා කළ අතර නව ක්‍රීඩා ශෛලියක් අනුගමනය කළ බ්‍රසීලය 4-2-4 ආකාරයට ක්‍රීඩා කරමින් නව මුහුණුවරකින් තරගාවලියට ක්‍රීඩා කළේය. අනෙක් කණ්ඩයම් පුදුමයට පත් කරමින් නිදහසේ ක්‍රීඩා කළ බ්‍රසීල ආක්‍රමණශීලී ක්‍රීඩකයින් සිව්දෙනා අති සාර්ථක වූ අතර ලෝක කුසලාන තරගයක ගෝලයක් වාර්තා කළ ළාබාලම ක්‍රීඩකයා, ලෝක කුසලාන අවසාන මහා තරගයක ගෝලයක් වාර්තා කළ ළාබාලතම ක්‍රීඩකයා හා ලෝක කුසලානයක් දිනූ ළාබාලම ක්‍රීඩකයා වීමේ වාසනාව පේලේ හට හිමි විය.

පේලේ නම් වූ ඒ විශිෂ්ටයා (Getty Images)

ස්වීඩනයේ නායක නිල්ස්, (Nils Liedholm) ලෝක කුසලාන තරගාවලියක් ගෝලයක් වාර්තා කළ වයස්ගතම ක්‍රීඩකයා වූ අතර අවසාන මහා තරගය ක්‍රීඩා කරන විට ඔහුට වයස අවුරුදු 35ක් වූ අතර බ්‍රසීලයේ ගෝල 5-2 ජයග්‍රහණය තවමත් ලෝක කුසලාන අවසන් තරගයක ඉහළම ලකුණු මට්ටම වේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<