සුජාන්ගේ දක්‍ෂතා හමුවේ ශ්‍රී ලංකාවෙන් තවත් දුර්වල තරගයක්

104

2022 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය හා 2023 ආසියානු පාපන්දු ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දෙවැනි වටය යටතේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සහභාගී වූ සිව්වැනි තරගය අද (15) කොළඹ තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී පැවති අතර ඉන් ගෝල 3-0ක පරාජයක් අත්විඳින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. 

දකුණු කොරියාවෙන් දරුණු සංග්‍රහයක්

2022 FIFA ලෝක කුසලාන තරගාවලිය හා 2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ…………….

දිනය පුරා ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් තරගය පවත්වන්නට සිදු වූයේ දැඩි තෙත බරිත, ජලයෙන් පිරී තිබූ ක්‍රීඩා පිටියක් තුළ ය. මෙම තත්වය ලෙබනන් ක්‍රීඩකයින් හට ආවේණික එකක් වූ බැවින් ඔවුන්ට ඊට අනුගත වීමට සැලකිය යුතු කාලයක් ගත වනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කරනු ලැබුවත් ඊට ඉක්මනින් අනුගත වූ ඔවුන් තරගය ආරම්භයේ පටන් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට විය.

අනෙක් පසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට ක්‍රීඩාපිටිය පුරාවට තිබූ තෙත බරිත තත්වයට අනුගත වීමට කාලය ගතවෙද්දී දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් දියත් කළ ඔවුන් දීර්ඝ පන්දු හරහා ගෝලයක් වාර්තා කරගන්නට අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට උත්සාහ දැරීය.

10 වැනි මිනිත්තුවේ දී ලෙබනන් කණ්ඩායමේ නායක Hassan Maatouk හට ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු ගෝල රාමු කලාපය තුළ එල්ල කළ පහර පහසුවෙන් රැකගන්නට ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා සමත් විය.

අනතුරුව 14 වැනි මිනිත්තුවේ දී හර්ෂ ප්‍රනාන්දු විසින් Mohamed Zein Taman හමුවේ ගෝල රාමු කලාපය තුළ සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් ලෙබනන් කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් ලබා දීමට විනිසුරුවරයා තීරණය කළ අතර එය ලබා ගත් නායක Maatouk එය සාර්ථක කරගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය. 

දකුණු කොරියා සහ ලෙබනන් පාපන්දු සංග්‍රාමයට පෙර!

2022 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය හා 2023 ආසියානු පාපන්දු ශූරතාව සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ…………..

20 වන මිනිත්තුවේ දී දිලිප් කුරුකුලසූරිය හට ඉක්මන් අවස්ථාවක් හරහා ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් නිර්මාණය වුවත් එහි දී ඔහු ‘offside’ නීතිය උල්ලංඝණය කළ බවට විනිසුරුවරයා විසින් සංඥා කිරීමත් සමඟ එම අවස්ථාව අහිමිව යන්නට විය. 

පසුව 37 වැනි මිනිත්තුවේ දී චලන චමීර විසින් ලෙබනන් ක්‍රීඩක Rabih Ataya හමුවේ ගෝල රාමු කලාපය තුළ සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් ඔවුන්ට තවත් දඬුවම් පහර අවස්ථාවක් පිරිනැමිණ. මෙවර එය ලබාගත් Hilal Alhelwe එය සාර්ථක ක රගනු ලැබුවේ ඔවුන්ගේ දෙවන ගෝලයට හිමිකම් කියමිනි.

පළමු අර්ධය: ලෙබනනය 2 – 0 ශ්‍රී ලංකාව   

දෙවන අර්ධය ආරම්භයේ දී Alhelwe හට ඉක්මන් අවස්ථාවක් හරහා ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී ක්‍රියාත්මක වූ සුජාන් එය ව්‍යර්ථ කර දමන්නට සමත් විය.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරමක් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් වාර්තා කරගන්නට උත්සාහ දැරුවත් ඒ සඳහා පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. තවදුරටත් ඔවුන් දීර්ඝ පහරවල් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගැනීමට දැරූ උත්සාහය ද සාර්ථක වූයේ නැත.

ශ්‍රී ලංකාව සමඟ තරග කරන දකුණු කොරියානු හා ලෙබනන සංචිත

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හා 2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ…………..

තරගයට ඉදිරියට යත්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ විඩාබර බව ඉස්මතු වන්නට වූ අතර ඉන් ප්‍රයෝජන ගත් ලෙබනන් ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගන්නට පහසු අවස්ථාවන් කිහිපයක් ම නිර්මාණය කර ගනු ලැබුවත් එහි දී එම අවස්ථාවන් හිමිවූ Houssein Rizk, Maatouk සහ Ataya ඒවා සාර්ථක කරගැනීමට සමත් වූයේ නැත. එමෙන්ම මෙහි දී සුජාන් පෙරේරා නැවත වරක් දියත් කළ විශිෂ්ට ගෝල රැකීම ද කැපී පෙනෙන්නට විය. 

කෙසේ නමුත් 81 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Alhelwe ගෝල රාමු කලාපය තුළ සිට විශිෂ්ට පහරක් එල්ල කරමින් තරගයේ සිය දෙවන ගෝලයට හිමිකම් කියමින් ලෙබනන් කණ්ඩායමට මෙම තරගයෙන් ගෝල 3-0ක ජයක් තහවුරු කර දෙන්නට සමත් විය. 

සම්පූර්ණ කාලය: ලෙබනනය 3 – 0 ශ්‍රී ලංකාව

ගෝල ලාභීන් 

  • ලෙබනනය – Hilal Alhelwe 38’ (P), 81’, Hassan Maatouk 16’ (P)   

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<