එංගලන්තය ඉතිහාසය අලුතෙන් ලියයි; ස්විස්ටර්ලන්ත සිහින වියැකේ

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය

1001

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ සිව්වැනි හා අවසාන දිනය ඊයේ (3) ක්‍රියාත්මක වූ අතර දිනයේ පළමු තරගයේ දී ප්‍රබල ස්විස්ටර්ලන්තය ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් පෙරළිකාරී ස්වීඩනය අවසන් කණ්ඩායම් අට අතරට පිවිසීමට සමත් විය.

නේමාර්ගේ පිහිටෙන් බ්‍රසීලය ඉදිරියට යද්දී ජපන් හපනුන්ට ජයග්‍රහණය මග හැරේ

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ වටයේ තෙවන දිනය ඊයේ (2) ක්‍රියාත්මක වූ අතර….

දිනයේ දෙවන තරගයේ දී අවසාන අර්ධ අවසන් පූර්ව ස්ථානය සඳහා කොලොම්බියාව හා එංගලන්තය තරග වැදුණු අතර තියුණු තරගයකට පසුව දඬුවම් පහර 3-4ක් ලෙස ජය හිමි කර ගැනීමට එංගලන්තය සමත් විය. මේ එංගලන්තය ලෝක කුසලාන තරගාවලියක දඬුවම් පහර මගින් තරගයක් ජය ගත් පළමු අවස්ථාවයි.

PICKFORD කොලොම්බියාවේ ජයග්‍රහණය වළක්වයි

දිනයේ දෙවන තරගය හා 16 දෙනාගේ වටයේ අවසන් තරගය ලෙස කොලොම්බියාව හා ප්‍රබල එංගලන්තය මොස්කව් හි Spartak ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර නියමිත කාලය අවසානයේ තරගය ගෝල 1-1ක් ලෙස අවසන් වීම නිසා දඬුවම් පහර මගින් ගෝල 4-3ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට එංගලන්තය සමත් විය.

මේ එංගලන්තය දඬුවම් පහර මගින් තරගයක් ජය ගත් පළමු අවස්ථාවයි.  

කොලොම්බියානු සුපිරි ක්‍රීඩක James Rodriguez ආබාධයක් නිසා තරගය ආරම්භ නොකිරීම කොලොම්බියා කණ්ඩායමට ප්‍රබල අවාසියක් විය.

පළමු අර්ධයේ කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කර ගැනීමට නොහැකි වූ අතර ඉතා ආසන්න අවස්ථා වාර්තා කර ගැනීමට ද කිසිදු කණ්ඩායමක් සමත් වූයේ නැත. පන්දුව ළඟ තබා ගැනීමත් සම සමව දැක්වුණු අතර කණ්ඩායම් දෙකම ලබාගෙන තිබුණේ ඉලක්කගත පහරවල් දෙකක් පමණි.

පළමු අර්ධය: එංගලන්තය 00 – 00 කොලොම්බියාව

දෙවන අර්ධය ඉතා උණුසුම් වූ අතර කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතර උණුසුම් තත්වයන් ද විටින් විට දක්නට ලැබුණි.

විනිසුරු තීරණයට කොලොම්බියානුවෝ දැඩි විරෝධයක් පල කළහ

56 වන මිනිත්තුවේ දී C. SANCHEZ විසින් එංගලන්ත නායක හැරී කේන් හට අනවශ්‍ය බාධා කිරීමක් කළ බව පවසමින් විනිසුරු එංගලන්තයට දඬුවම් පහරක් නියම කළ අතර කොලොම්බියානු ක්‍රීඩකයින් එම තීරණයට ප්‍රබල විරෝධයක් දක්වන ලදි. කෙසේ වෙතත් එංගලන්ත නායක හැරී කේන් එම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ එංගලන්තය වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ගෝල ලාභින් අතර දෙවැන්නා බවට පත් වෙමිනි.

මේ හැරී කේන්ගේ මෙවර ලෝක කුසලානයේ හයවන ගෝලයයි

අනතුරුව කණ්ඩායම් දෙකම ඉතා ශාරිරික ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ අතර දිගින් දිගටම උණුසුම් තත්වයන් ඇති වීම නිසා කෙටි කාල සීමාවකදී විනිසුරු කොලොම්බියානුවන්ට කහ කාඩ්පත් හතරක් ලබාදීම විශේෂත්වයක් විය.

අනතුරුව කොලොම්බියා ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර ප්‍රබල එංගලන්ත ආරක්ෂක වළල්ල ඔවුන්ට ගෝල රැස්කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා දුන්නේම නැත.

කෙසේ වෙතත් 90+1 මිනිත්තුවේ දී කොලොම්බියානු ක්‍රීඩකයෙකු දඬුවම් පහර චතුරශ්‍රයේ පිටත සිට කළ විශිෂ්ට ප්‍රහාරයක් නැවැත්වීමට එංගලන්ත ගෝල රකින්නා සමත් විය.

MINA මෙවර ලෝක කුසලානයේ තෙවන වරටත් කොලොම්බියාවේ ආරක්ෂකයා විය

අනතුරුව කොලොම්බියාවට ‘corner’ අවස්ථාවක් හිමි වූ අතර ගුවනේ පාවී ආ පන්දුව 90+3 මිනිත්තුවේ දී එංගලන්ත ක්‍රීඩකයින් කිසිසේත් නොසිතූ මොහොතක Y MINA සිය හිසෙන් දැල වෙතට යොමු කළේ වියැකෙමින් තිබූ කොලොම්බියාවේ සිහින අමතර කාලය කරා රැගෙන යමිනි.

මේ මෙවර ලෝක කුසලානයේ MINA ගේ තෙවන ගෝලයයි, ඒ සමගම ඔහු ලෝක කුසලනයක වැඩිම ගෝල වාර්තා කළ ආරක්ෂක ක්‍රීඩකයාගේ වාර්තාව සම කරන්නට සමත්විය.

නියමිත කාලය අවසානයේ: කොලොම්බියාව 01 – 01 එංගලන්තය

අමතර කාලය සඳහා ද තරගය ක්‍රියාත්මක කිරීමට විනිසුරු තීරණය කළ අතර අමතර කාලයේ පළමු අර්ධයේ කොලොම්බියා ක්‍රීඩකයින් එංගලන්ත අර්ධයේම රැඳෙමින් එංගලන්ත ක්‍රීඩකයින්ට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කිරීමට සමත් විය.

කෙසේ වෙතත් ඔවුන් ඒ අවස්ථා එකක් වත් නිසි ඉලක්කයට යොමු කිරීමට සමත් වූයේ නැත.

අමතර කාලයේ පළමු අර්ධය: කොලොම්බියාව 01 – 01 එංගලන්තය

අමතර කාලයේ දෙවන අර්ධය එංගලන්ත ක්‍රීඩකයෝ සම්පූර්ණයෙන් සිය ග්‍රහණයට ගත් අතර ඉතා ආසන්න අවස්ථාවන් කිහිපයක්ම ළඟා කර ගැනීමට ඔවුන් සමත් විය.

කෙසේ වෙතත් ඔවුන් ද ගෝලයක් වාර්තා කර ගැනීමට සමත් නොවූ හෙයින් දඬුවම් පහර කරා ගන්නට විනිසුරුට සිදු විය.

අමතර කාලය අවසානයේ කොලොම්බියාව 01 – 01 එංගලන්තය

කොලොම්බියාව පළමුවෙන් දඬුවම් පහර ලබා ගැනීමේ අවස්ථාව හිමි කරගන්නා ලදි.

Radamel FALCAO කොලොම්බියාව වෙනුවෙන් පළමු දඬුවම් පහර ලබාගත් අතර PICKFORD හට එම ගෝලය වැළැක්වීමට හැකි වූයේ නැත.

හැරී කේන් එංගලන්තය වෙනුවෙන් පළමු දඬුවම් පහර ලබාගත් අතර ඔහු ඉතා පහසුවෙන් එම අවස්ථාව සාර්ථක කරගන්නා ලදි. (1-1)

CUADRADO දක්ෂ ලෙස දෙවන දඬුවම් පහර කොලොම්බියාව වෙනුවෙන් සාර්ථක කර දුන්නේය.

RASHFORD, OSPINA හට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් එංගලන්ත දෙවන දඬුවම් පහර සාර්ථක කර ගන්නා ලදි. (2-2)

MURIEL දක්ෂ ලෙස කොලොම්බියාව වෙනුවෙන් තෙවැනි දඬුවම් පහර සාර්ථක කරගද්දී, OSPINA දක්ෂ ලෙස Jordan HENDERSONගේ දඬුවම් පහර ව්‍යර්ථ කළේ එංගලන්ත ප්‍රේක්ෂකයින් නිහඬ කරවමිනි. (3-2)

M. URIBEගේ ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ඉවත ගිය අතර TRIPPIER එංගලන්ත සිව්වැනි අවස්ථාව සාර්ථක කර ගත්තේ තරගයේ අවසන් දඬුවම් පහර තීරණාත්මක කරමිනි. (3-3)

පස්වැනි දඬුවම් පහර ඉතා තීරණාත්මක වූ අතර BACCAගේ දඬුවම් පහර PICKFORD වැළැක්වූයේ එංගලන්තයට ජය මාවත හෙළි කරමින්ය. කෙසේ වෙතත් ජයග්‍රහණයේ අවසන් දඬුවම් පහර DIER විසින් ලබාගත් අතර OSPINAගේ දකුණු අතේ ගෑවී පන්දුව දැල තුලට ගියේ එංගලන්තයට ජය හිමි කර දෙමිනි. (4-4)

PICKFORD ඉතිහාසයේ පළමු වතාවට එංගලන්තයට දඬුවම් පහර අවස්ථාවකින් ජය ගෙන ඒමට සමත්විය

ඒ අනුව එංගලන්ත කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: කොලොම්බියාව 01 (3) – 01 (4) එංගලන්තය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • එංගලන්තය – හැරී කේන් 57’ (PEN)
  • කොලොම්බියාව – මීනා 90+3’

පෙරළිකාරී ස්වීඩනය හමුවේ ස්විස්ටර්ලන්තය ගෙදර යයි

දිනයේ පළමු තරගයේ දී ස්විස්ටර්ලන්තය හා ස්වීඩනය සාන්ත පීටර්ස්බර්ග් හි සාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණි.

ප්‍රබල ස්විස්ටර්ලන්තය ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් පෙරළිකාරී ස්වීඩනය අවසන් කණ්ඩායම් අට අතරට පිවිසීමට සමත් විය.

තරගයේ පළමු අර්ධයේ ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අසමත් වූ අතර පැහැදිලි අවස්ථා හිමි වුනේ ස්වීඩනයට වුවත්, ඔවුන් එම අවස්ථා සාර්ථක කර ගැනීමට තරම් වාසනාවන්ත වූයේ නැත.

ස්විස්ටර්ලන්ත ගෝල රකින්නා SOMMER ස්වීඩන් ආසන්න අවස්ථා කිහිපයක්ම ව්‍යර්ථ කිරීමට සමත් විය

පළමු අර්ධය: ස්වීඩනය 00- 00 ස්විස්ටර්ලන්තය

දෙවන අර්ධය ආරම්භයත් සමඟ ස්වීඩන් ක්‍රීඩකයෝ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 66 වන මිනිත්තුවේ දී වාසනාවන්ත ගෝලයක් වාර්තා කර ගැනීමට ස්වීඩනයේ FORSBERG සමත් විය.

Emil Forsberg චතුරශ්‍රය පිටත සිට එල්ල කළ ප්‍රහාරයක් Manuel Akanjiගේ වැදී ගෝල රාමුව තුලට ගියේ ගෝල රකින්නා වූ Yann Sommer හට කිසිදු අවස්ථාවක් හිමි කර නොදෙමිනි.

Sommer හට එම අවස්ථාව ව්‍යර්ථ කිරීමට කිසිදු අවස්ථාවක් තිබුණේ නැත

අනතුරුව ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින් ප්‍රබල උත්සහයක් යෙදුව ද ගෝලයක් වාර්තා කර ගැනීමට තරම් ඔවුන් වාසනාවන්ත වූයේ නැත.

කෙසේ වෙතත් 90+3 මිනිත්තුවේ දී ගෝලයක් සඳහා ඉදිරියට පැමිණ සිටි ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින් පසු කරමින් ස්වීඩන් ක්‍රීඩකයෙකු පන්දුවත් සමඟ ධාවනයේ නිරත වූ අතර දඬුවම් පහර චතුරශ්‍රය ආසන්නයේ දී ඔහුට බාධා කළ LANG හට රතු කාඩ්පතක් හිමිකර දෙන්නට විනිසුරු තීරණය කළේය.

දඬුවම් පහරක් සඳහා විනිසුරු ‘VAR’ තාක්ෂණය භාවිතා කළ ද එම අවස්ථාව දඬුවම් පහර චතුරශ්‍රයෙන් මදක් පිටත සිදු වූ නිසා ස්වීඩනයට දඬුවම් පහර හිමි නොවූ අතර ඔවුන්ට ලැබුණු නිදහස් පහර ලබා ගන්නවාත් සමඟම විනිසුරු අවසන් නලාව නාද කළේ ස්විස්ටර්ලන්ත බලාපොරොත්තු සුන් කරමිනි.

ඒ අනුව ස්වීඩනය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.

අවසාන ලකුණු තත්වය: ස්වීඩනය 01 – 00 ස්විස්ටර්ලන්තය   

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • ස්වීඩනය- FORSBERG 66′

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<