2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගවල අවසන් දිනය වූ ඊයේ (28) දිනයේ අවසානයේ පැවති තරගවල දී එංගලන්තය හමුවේ ගෝල 0-1ක ජයක් වාර්තා කරමින් ‘G’ කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කරගන්නට බෙල්ජියම් කණ්ඩායම සමත් වෙද්දී, පැනමාව පරාජය කරමින් ගෝල 1-2ක ජයක් හිමිකර ගන්නට ටියුනීසියාව සමත් විය.

ලෝක ශූරයින් ඉවතට විසිවෙද්දී බ්‍රසීලය, ස්වීඩනය,ස්විස්ටර්ලන්තය හා මෙක්සිකෝව මීළඟ වටයට

ශූරයින්ගේ ශාපය නැවත වරක් සත්‍යයක් වෙමින්, 2014 ලෝක ශූර ජර්මනිය ඉතිහාසයේ…

එංගලන්තය – බෙල්ජියම

එංගලන්තය සහ බෙල්ජියම් කණ්ඩායම් ද්විත්වයම තරගාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කරමින් මෙම තරගයට පෙර අවසන් 16 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගන්නට සමත්ව තිබුණි. කෙසේ නමුත් ‘G’ කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කර ගැනීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම වැදගත් විය.

කණ්ඩායම් දෙකේම පුහුණුකරුවන් ඔවුන් සතුව සිටින ප්‍රබලම ක්‍රීඩකයින් තරග ආරම්භක සංචිතයෙන් විවේක ගන්වා තිබුණේ නවක ක්‍රීඩකයින් අත්හදා බැලීමට මෙම තරගය අවස්ථාවක් කර ගනිමිනි.

තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම ගෝල රැස්කර ගැනීමට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කර ගන්නට සමත් වූයේ නැත. එංගලන්ත කණ්ඩායම වැඩි වේලාවක් පන්දුව ඔවුන් සතුව තබා ගනිමින් ගෝලයක් වාර්තා කරගෙන තරගයේ පෙරමුණට පැමිණීමට උත්සාහ දැරුවත්, බෙල්ජියම් ආරක්‍ෂක ක්‍රීඩකයින් ඒ සඳහා ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නේ නැත.

අනෙක් පසින් බෙල්ජියම් ක්‍රීඩකයින් ද අවස්ථා කිහිපයක දීම එංගලන්ත ආරක්‍ෂක පෙළ අභියෝගයට ලක්කරමින් ගෝලයක් ලබා ගැනීමට උත්සාහ දැරුවත් ඔවුන්ට එය සාර්ථක කර ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත.

පළමු අර්ධය: එංගලන්තය 00 – 00 බෙල්ජියම

කෙසේ නමුත් තරගයේ දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් බෙල්ජියම් ක්‍රීඩකයින් එය ආරම්භ වී මිනිත්තු 6ක කාලයක් ගතවෙද්දී තරගයේ තම පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය. එහි දී දඬුවම් පහර කලාපයේ දකුණු ඉදිරි අන්තයේ දී පන්දුව ලබාගත් ඇඩ්නන් ජෙනසායි එංගලන්ත ගෝල රකින ක්‍රීඩක ජෝදාන් පික්ෆර්ඩ් පසුකරමින් පන්දුව ගෝල රාමුව තුළට යොමු කරමින් එම ගෝලය වාර්තා කර ගනු ලැබීය.

ඉන් අනතුරුව ගෝලයක් වාර්තා කර ගැනීමේ අරමුණින් එංගලන්ත ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් කරා අවතීර්ණ වූ අතර ඒ හරහා ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථා කිහිපයක්ම නිර්මාණය කර ගන්නට ඔවුන් සමත් විය. එහි දී මාක්ස් රැශ්ෆර්ඩ් හට ගෝල රකින ක්‍රීඩකයා ඉදිරියේ තනි අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට යොමු කර දමන්නට බෙල්ජියම් ගෝල රකින ක්‍රීඩක තිබෝට් කෝටුවා සමත් විය. එමෙන්ම එහි දී ඔවුන්ට ලැබුණු අනෙක් අවස්ථාවන් ද සාර්ථකව ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

අනෙක් පසින් තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ බෙල්ජියම් කණ්ඩායමටත් ගෝලයක් රැස්කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුණත් ඔවුන් ද ඒවා සාර්ථක කරගන්නට සමත් වූයේ නැත.

ඒ අනුව ගෝල 1-0ක් වශයෙන් මෙම තරගයේ ජයග්‍රහණය ලබාගත් බෙල්ජියම් කණ්ඩායම තරගාවලියේ පළමු වටයේ තරග තුනම ජයග්‍රහණය කරමින් ‘G’ කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කරගන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 00 – 01 බෙල්ජියම

ගෝල ලාභීන්

  • බෙල්ජියම – ඇඩ්නන් ජෙනසායි 51’

පැනමාව – ටියුනීසියාව

‘G’ කාණ්ඩයෙන්ම තරගාවලිය සඳහා එක්වූ මෙම කණ්ඩායම් ද්විත්වයම පළමු වටයේ ඔවුන් සහභාගී වූ තරග දෙකම පරාජයට පත්වූ අතර ඒ අනුව මේ වන විටත් ඔවුන් තරගාවලියෙන් ඉවත්ව තිබුණි. ඒ අනුව මෙම තරගය කණ්ඩායම් දෙකටම වැදගත් වූයේ ඔවුන්ගේ ගෞරවය ආරක්‍ෂා කරගැනීම සඳහා යි.

තරගයේ ආරම්භයේ සිට පන්දුව තමන් සතුව රඳවා ගනිමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට සමත් වූයේ ටියුනීසියා කණ්ඩායම යි. ඒ අනුව පළමු අර්ධය තුළ ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට ඔවුන් සමත් වුවත් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

ඒ අනුව තරගයේ 33 වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කර ගනිමින් තරගයේ ඉදිරියට එන්නට සමත් වූයේ පැනමා කණ්ඩායම යි. ඒ ප්‍රතිවාදී ටියුනීසියා කණ්ඩායමේ යසීන් මේරියා අතින් වාර්තා වූ ප්‍රතිවාදී ගෝලයක් හරහා ය. සිය පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන පැනමා කණ්ඩායම සිය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය තුළ වාර්තා කර ගත් පළමු ගෝලය ලෙස මෙය ඉතිහාසයට එක්විය.   

පළමු අර්ධය: පැනමාව 01 – 00 ටියුනීසියාව

කෙසේ නමුත් තරගයේ දෙවන අර්ධය ආරම්භයේ සිට දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වන්නට ටියුනීසියා ක්‍රීඩකයින් සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 51 වන මිනිත්තුවේ දී සිය පළමු ගෝලය වාර්තා කර ගන්නට ඔවුන් සමත් විය. එය වාර්තා කර ගනු ලැබුවේ ෆකෙරීඩීන් බෙන් යූසෆ් විසිනි. අනතුරුව 66 වන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ ටියුනීසියා ක්‍රීඩකයින් වාබි කස්රි හරහා සිය දෙවන ගෝලය ද වාර්තා කර ගනිමින් තරගයේ පෙරමුණ ගන්නට සමත් විය.

පසුව තරගයේ 73 වන මිනිත්තුවේ දී පැනමාවේ ලුවිස් ටෙජාඩා විසින් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවත් එම ගෝලය වාර්තා කිරීමට පෙර පන්දුව ලබා ගැනීමේ දී ඔහු ප්‍රතිවාදී ක්‍රීඩකයෙක් හමුවේ සිදු කරන නීති රීති කඩ කිරීමක් හේතුවෙන් එය ගෝලයක් නොවන බවට විනිසුරුවරයා සංඥා කළේය.

අනතුරුව තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ ගෝලයක් වාර්තා කර ගැනීමට කණ්ඩායම් දෙකටම අවස්ථාවන් කිහිපයක්ම ලැබුණත් ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වූයේ නැත.

ඒ අනුව මෙම තරගය ගෝල 1-2ක් ලෙස ජයග්‍රහණය කළ ටියුනීසියාව ‘G’ කාණ්ඩයේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඒත් සමඟ ඔවුන් සහභාගී වූ තරග තුනම පරාජයට පත්වූ පැනමාවට හිමි වූයේ සිය කාණ්ඩයේ අවසන් ස්ථානය යි.   

අවසන් ලකුණු තත්වය: පැනමාව 01 – 02 ටියුනීසියාව

ගෝල ලාභීන්

  • පැනමාව – යසීන් මේරියා 33’ (OG)
  • ටියුනීසියාව – ෆකෙරීඩීන් බෙන් යූසෆ් 51’, වාබි කස්රි 66’

කොලොම්බියාව හමුවේ සෙනගාලය ලෝක කුසලානයෙන් ඉවතට

කොලොම්බියාව හා සෙනගාල කණ්ඩායම් දෙකම පළමු භාගයේ එතරම් ස්ථාවර බවක් පෙන්වූයේ නැත. 28 වන මිනිත්තුවේ දී කොලොම්බියාවට විශාල අවාසියක් වූ අතර කොලොම්බියානු සුපිරි ක්‍රීඩක James Rodriguez වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට විනිසුරු ක්‍රියා කළේ ආබාධයක් හේතුවෙනි.

(Rodriguez පැය භාගයක් යන්නට මත්තෙන් අහිමි වීම කොලොම්බියාවට විශාල අවාසියක් විය)

තරගය ආරම්භයේම කොලොම්බියාවට නිදහස් පහරක් හිමි වූ නමුත් සෙනගාල් ගෝල රකින්නා දක්ෂ ලෙස එම අවස්ථාව ව්‍යර්ථ කරන්නට සමත් විය.

17 වන මිනිත්තුවේ දී MANE වෙත අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ බව පවසමින් සෙනගාලයට දඬුවම් පහරක් ලබා දීම සඳහා විනිසුරු ‘VAR’ තාක්ෂණය යොදා ගනිමින් එම අවස්ථාව නැවත සලකා බැලූ නමුත් විනිසුරු තීරණය කළේ එම බාධා කිරීම නීත්‍යානුකූල බවයි.

පළමු අර්ධය: සෙනගාලය 00 – 00 කොලොම්බියාව

දෙවන අර්ධය ආරම්භයත් සමඟ 51 වන මිනිත්තුවේ දී සෙනගාල ක්‍රීඩක NIANG හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරු තීරණය කළ අතර ඒ අනුව සෙනගාලය අවසන් 16ට පිවිසුණුහොත් NIANG හට මීළඟ තරගය අහිමි වනු ඇත.

(මේ මෙවර ලෝක කුසලානයේ NIANGගේ දෙවන කහ කාඩ්පතයි)

74 වන මිනිත්තුවේ දී Quinteroගේ පන්දු යොමු කිරීමක් සෙනගාල ක්‍රීඩකයින් මැදින් ඉහළ නැගුණු Mina අලංකාර ලෙස සිය හිසෙන් දැල වෙතට යොමු කළේ කොලොම්බියානු 16 දෙනාගේ වටයේ බලාපොරොත්තු ඉහළ දමමිනි.

සෙනගාල ක්‍රීඩකයින් අවසන් මිනිත්තු කිහිපයේ ප්‍රබල උත්සාහයක නිරත වුවද ඉතා සෙමින් කාලය මැනවින් දිය කර හැරී කොලොම්බියානු ක්‍රීඩකයෝ H කාණ්ඩයේ පළමු තැන දිනා ගන්නා ලදි. එකම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලබා ගත්තත් FAIR PLAY කොන්දේසි මත ජපානය සෙනගාල සිහින බොඳ කරමින් 16 දෙනාගේ වටයට පිවිසුණි.

අවසාන ලකුණු තත්වය: කොලොම්බියාව 01 – 00 සෙනගාලය

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • කොලොම්බියාව – Mina 74’    

ජපානය හමුවේ පෝලන්තය ගෞරවය රැකගනි

ජපන් පෝලන්ත තරගය ඉතා වැදගත් වූයේ ජපානයටයි. පෝලන්තය මේ වන විටත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව සිටි අතර මේ තරගයේ ජයග්‍රහණයෙන් හෝ කොලොම්බියාව ජයග්‍රහණය නොකළේ නම්, මේ තරගය ගෝල සම වීමෙන් ජපන් කණ්ඩායමට අවසන් 16ට පිවිසීමේ අවස්ථාවක් තිබුණි.

පළමු අර්ධය පුරා ජපන් ක්‍රීඩකයින් ඉතා ආසන්න අවස්ථා කිහිපයක් ළඟා කරගැනීමට සමත්වුවද ගෞරවය උදෙසා සටන් කළ පෝලන්ත ක්‍රීඩකයෝ Yoshinori Muto ලබාගත් ආසන්න අවස්ථා කිහිපයක්ම නැවැත්වීමට සමත් විය.

(Eiji Kawashima අලංකාර ලෙස ඉතා ආසන්න ගෝල අවස්ථාවක් ව්‍යර්ථ කළේය)

කෙසේ වෙතත් පළමු ආසන්නතම අවස්ථාව ළඟා කර ගත්තේ පෝලන්ත ක්‍රීඩකයින් වූ අතර Kamil Grosickiගේ අලංකාර ප්‍රහාරයක් ගුවනේ පාවී ගිය Eiji Kawashima ව්‍යර්ථ කළේ නිසැක ගෝලයක් වළක්වමිනි.

පළමු අර්ධය අවසානයේ: ජපානය 00 – 00 පෝලන්තය

අවසන් ලකුණු තත්වය  

දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟ පෝලන්ත ක්‍රීඩකයෝ ප්‍රබල ක්‍රීඩා රටාවකට පිවිසුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස 59 වන මිනිත්තුවේ දී BEDNAREK අලංකාර ගෝලයක් වාර්තා කළේ ජපන් ක්‍රීඩකයින් ප්‍රබල පීඩනයකට නතු කරමිනි.

(BEDNAREKගේ ගෝලයත් සමඟ අනෙක් සමාන්තර තරගය ක්‍රීඩා කරන කොලොම්බියාවට යම් සහනයක් ලැබුණි)

කෙසේ වෙතත් ජපන් ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක් යෙදුවත් ඔවුන්ට ගෝල රැස් කරගැනීමට නොහැකිවුණු අතර සමාන්තර තරගයේ කොලොම්බියාව රැස් කළ ගෝලය නිසා සෙනගාල කණ්ඩායම තෙවන ස්ථානයට ඇද වැටෙද්දී FAIR PLAY කොන්දේසි මත ජපාන 16 දෙනාගේ සිහිනය සැබෑ විය.

අවසාන ලකුණු තත්වය: ජපානය 0-1 පෝලන්තය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • පෝලන්තය – BEDNAREK 59’

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<