ප්‍රංශය දෙවන වතාවටත් ලෝක ශූරයින් ලෙස අභිෂේක ලබයි

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2018

712
AFP PHOTO

වසර හතරකට වරක් පැවැත්වෙන පාපන්දු ලෝකයේ මහා සැණකෙළියේ අවසන් සංදර්ශනය අද (15) රුසියාවේ මොස්කව් හි Luzhniki ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර අවසන් මහා තරගය සම්පූර්ණ චිත්‍රපටියක් බවට පත් කරමින් ගෝල 4-2ක් ලෙස පෙරළිකාර ක්‍රොඒෂියාව පරාජය කරමින් දෙවන වතාවටත් ලෝක කුසලානය හිමිකර ගැනීමට සුපිරි ප්‍රංශ කණ්ඩායම සමත් විය.

බෙල්ජියම සිය සාර්ථකම ලෝක කුසලාන සවාරිය අවසන් කරයි

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන ස්ථානය සඳහා වූ තරගය අද (14) සාන්ත පීටර්ස්බර්ග්

අනුශූරයින් ලෙස සම්මාන ලැබූ ක්‍රොඒෂියානු නායක ලුකා මොඩ්රික් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමිවන රන් පාපන්දුව දිනා ගත් අතර රන් සපත්තුව ගෝල හයක් වාර්තා කර ගත් එංගලන්තයේ හැරී කේන් දිනාගද්දී, රන් අත්වැසුම බෙල්ජියම් ගෝල රකින ක්‍රීඩක Thibaut Courtois දිනා ගත්තේය. තරගාවලියේ නැගී එන තරුණ ක්‍රීඩකයාට පිදෙන සම්මානය ප්‍රංශයේ MBAPPE දිනා ගත්තේ අවසාන මහා තරගයේ ද ගෝලයක් තමන්ගේ නමට සටහන් කර ගනිමිනි.

මෙවර ලෝක කුසලානයේ පෙරළිකාරම කණ්ඩායම වූ ක්‍රොඒෂියා කණ්ඩායම අවසන් පූර්ව වටයේ දී ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කළ අතර වේගවත් ප්‍රංශය බෙල්ජියම් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසුණි.

ප්‍රේක්ෂකයින්ට කිසිදු විවේකයක් ලබා නොදෙමින් කණ්ඩායම් දෙකම අති විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වූ අතර මෙවර ලෝක කුසලානයේ දී පළමු වරට භාවිතා වූ VAR තාක්ෂණය ද පළමු වරට ලෝක කුසලානයක අවසන් ප්‍රතිඵලය සඳහා ප්‍රබල බලපෑමක් කිරීම විශේෂත්වයක් විය.

1998 වසරේ පළමු වරට ලෝක කුසලානය දිනූ ප්‍රංශ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ වත්මන් ප්‍රංශ පුහුණුකරු Didier Deschamps, 2018 වසරේ ප්‍රංශ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ද ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නට සමත් විය.

ක්‍රීඩකයෙකු ලෙස ද පුහුණුකරුවෙකු ලෙස ද ලෝක කුසලානයක පහස විඳින්නට Deschamps සමත් විය

පළමු වතාවට ලෝක කුසලානය අවසන් මහා තරගයක OWN GOAL අවස්ථාවක් වාර්තා වූ අතර VAR තාක්ෂණය මගින් දඬුවම් පහරක් නියම කෙරුණේ ද ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්. එම අවස්ථා දෙකත් ප්‍රංශ ගෝල රකින්නාගේ දුර්වල දැල් රැකීමත් ගත කළ අවසන් මහා තරගය මුළු ලෝක කුසලාන තරගාවලියේම සංක්ෂිප්තයක් යැයි කිවහැක.

ලෝක කුසලානය හිමි නොවුනත් MODRICගේ ක්‍රීඩා විලාසය ප්‍රේක්ෂකයින්ට සෑහෙන කලකට අමතක නොවනු ඇත

තරගයේ පළමු අර්ධය ඉතා උණුසුම් වූ අතර පළමු අර්ධයේ ගෝල තුනක් වාර්තා වූයේ  තරගයේ උණුසුම මනාව පිළිබිඹු කරමිනි. දෙවන අර්ධයේ ද තවත් ගෝල තුනක් වාර්තා වූ අතර ක්‍රොඒෂියානු ක්‍රීඩකයින් ප්‍රංශයට ගෝල දෙකක් පූජා කළ අතර ඉතා දුර්වල ලෙස ප්‍රංශ ගෝල රකින්නා ද ක්‍රොඒෂියාවට නිකරුණේ ගෝලයක් පූජා කළේය.  

තරාදියේ දෙපස මෙන් වරින්වර දෙපසට දෝලනය වූ මේ සුපිරි අවසාන මහා තරගයේ පළමු මිනිත්තු 10 පුරා ප්‍රංශයට නොසිතූ අභියෝගයක් එල්ල කළ ක්‍රොඒෂියානුවන් පන්දුව තමන් අතේම තබාගෙන සිය ප්‍රබල මැදපෙළ මගින් අවස්ථා නිර්මාණය කර ගැනීමට උත්සහ කළේය. එනමුත් පළමු මිනිත්තු 10 තුල දී ලැබුණු corner අවස්ථාවක් සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකිවූ අතර PERISC වෙත යොමු වූ පන්දු යොමු කිරීමක් නිසි ලෙස ග්‍රහණය කරගෙන ප්‍රහාරයක් එල්ල කරන්නට ද ඔහු සමත් වූයේ නැත.

කෙසේ වෙතත් තමන්ට ලැබුණු පළමු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ප්‍රංශ ක්‍රීඩකයින් සමත් විය. 18 වන මිනිත්තුවේ දී ප්‍රංශයට හිමි වූ නිදහස් පහරක් Griezmann දක්ෂ ලෙස ගෝල රාමුව ඉදිරියට යොමු කළ අතර ප්‍රංශ ක්‍රීඩකයින්ට ප්‍රථමයෙන් පන්දුව දැලෙන් ඉවතට යොමු කිරීමට ක්‍රොඒෂියාවේ MANDŽUKIĆ කළ උත්සහයක දී අත්වැරදීමකින් ඔහුගේ හිසේ වැදී පන්දුව දැල තුලට ගියේ OWN GOAL අවස්ථාවකින් ප්‍රංශයට පළමු ගෝලය හිමිකර දෙමින්ය.

MANDŽUKIĆ තරගයේ පළමු අත්වැරැද්ද කළේය

අනතුරුව දිගින් දිගටම ක්‍රොඒෂියානු ක්‍රීඩකයෝ පන්දුවත් සමඟ ක්‍රීඩා කළ අතර ප්‍රංශයට සුපුරුදු වේගවත් ක්‍රීඩා විලාසයට පිවිසෙන්නට ඔවුන් අවස්ථාව ලබා දුන්නෙම නැත.

ප්‍රංශ ප්‍රහාරයට ඉක්මනින්ම ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට ක්‍රොඒෂියානු ක්‍රීඩකයින් සමත් වූ අතර අවසන් පූර්ව තරගයේ දී ද ක්‍රොඒෂියාව බේරා ගත් PERIŠIĆ මේ තරගයේ ද ගෝලයක් වාර්තා කළේ පීඩනය නැවත ප්‍රංශය දෙසට හරවමිනි.

MODRIC නිදහස් පහරකින් එවූ පන්දුව ඉලක්කය වැරදි ගෝල රාමුවෙන් ඉවත ගියත් නැවත පන්දුව ගෝල රාමුව ඉදිරියට යොමු කරන්නට ක්‍රොඒෂියානු ක්‍රීඩකයෙකු සමත් වූ අතර ප්‍රංශ ආරක්ෂක ක්‍රීඩකයින් පන්දුව ආරක්ෂාකාරීව ඉවතට යොමු කරන්නට අසමත් වීමත් සමඟ ක්‍රියාත්මක වූ VIDA පන්දුව PERIŠIĆට භාරදෙද්දී PERIŠIĆ දක්ෂ ලෙස පළමු ක්‍රොඒෂියානු ගෝලය වාර්තා කළේය.

PERIŠIĆ ඉතා දක්ෂ ලෙස ගෝල සම කළේය

තරගයේ 33 වන මිනිත්තුවේ දී ලෝක කුසලාන අවසාන මහා තරගයට කෝඩුකාර ක්‍රොඒෂියාව සිය දෙවන අතපසුවීමත් කළ අතර 33 වන මිනිත්තුවේ දී PERIŠIĆගේ අතේ පන්දුව ගැටුණේ දැයි විමසීමට විනිසුරු VAR තාක්ෂණය භාවිතා කළේය.

39 වන මිනිත්තුවේ දී විනිසුරු ප්‍රංශයට දඬුවම් පහරක් ලබා දුන් අතර GRIEZMANN එම අවස්ථාව සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කළේ ප්‍රංශය නැවතත් ඉදිරියට ගෙන එමිනි.

සුපුරුදු පරිදි GRIEZMANN එම දඬුවම් පහරත් සාර්ථක කරගත්තේය

පළමු අර්ධය: ප්‍රංශය 02 – 01 ක්‍රොඒෂියාව

දෙවන අර්ධය සම්පූර්ණයෙන්ම ගෝල සැණකෙළියක් වූ අතර අවසන් මහා තරගයේ පීඩනයට හසු වූ ක්‍රොඒෂියානු ක්‍රීඩකයින් තවත් පීඩනයට ලක් කරමින් ක්‍රොඒෂියානු ආරක්ෂක ක්‍රීඩකයින්ගේ තෙවන අතපසුවීමත් ප්‍රයෝජනයට ගනිමින් ආරක්ෂක ක්‍රීඩකයින්ගේ වැදී සිය පාමුලට පැමිණි පන්දුව POGBA දඬුවම් පහර චතුරශ්‍රයේ පිටත් සිට දැල වෙතට අලංකාර ප්‍රහාරයකින් යොමු කළේය.

POGBA ක්‍රොඒෂියානු බලාපොරොත්තු ඈතට පා කර හැරියේය

ක්‍රොඒෂියානුවන් සිය මංගල ලෝක කුසලාන අවසාන මහා තරගයේම දැඩි පීඩනයකට හසු වූ අතර මේ තරගාවලියේ වර්ණවත්ම යොවුන් තරුව වූ ප්‍රංශයේ MBAPPE 65 වන මිනිත්තුවේ දී දඬුවම් පහර චතුරශ්‍රයේ පිටත සිට ක්‍රොඒෂියානු ක්‍රීඩකයින් කිසි ලෙසකට නොසිතූ ලෙස දක්ෂ ගෝලයක් රැස් කළේ ප්‍රංශයට තවත් ලෝක කුසලානයක් ඉතා ආසන්න කරමින්ය.

ඒ අනුව බ්‍රසීලයේ සුපිරි විශිෂ්ටයා PELEට පසුව ලෝක කුසලාන අවසන් මහා තරගයක ගෝලයක් වාර්තා කළ පළමු වයස 20ට අඩු ක්‍රීඩකයා බවට MBAPPE පත්විය.

MBAPPEගේ වේගයට ක්‍රොඒෂියානු ක්‍රීඩකයින් අසරණ විය

නොසිතූ පෙරළි රැසක් සිදු වූ මේ ලෝක කුසලානයේ අවසානය තවත් තියුණු අඩියකට ගෙන යමින් 69 වන මිනිත්තුවේ දී ප්‍රංශ ගෝල රකින්නා වූ Hugo Lloris පන්දුව සිය පාදය අසල පන්දුව තබාගෙන සිටිය දී වහා දිව ගිය Mario Mandzukic ගෝල රකින්නාගෙන් පන්දුව උදුරා ගෙන පන්දුව දැල වෙත යොමු කළේ ගෝල රකින්නා විශ්මයට පත් කරමිනි.

නොසිතු මොහොතක Hugo Lloris නොකළ යුතු අතපසුවීමක් කළේය

ක්‍රොඒෂියාව මෙන්ම තරගයේ පළමු වතාවට ප්‍රංශ ක්‍රීඩකයෝ ද ඉතා දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර ඒ අනුව 2002 සිට 2014 දක්වා ලෝක කුසලාන අවසාන මහා තරග හතරක දී වාර්තා වූ ගෝල ගන්නට වඩා ගෝල ගණනක් 2018 ලෝක කුසලානයේ අවසාන මහා තරගයේ වාර්තා වීම විශේෂත්වයක් විය.  

අවසන් මිනිත්තු කිහිපයේ ද තරගය අත් නොහල ක්‍රොඒෂියානු ක්‍රීඩකයින් ප්‍රබල සටනක් ලබා දුන් නමුත් පෙරළිකාර ක්‍රොඒෂියානුවන්ට තවත් අවස්ථාවක් ප්‍රංශ ක්‍රීඩකයින්ගෙන් ලැබුණේ නැත.

ප්‍රංශය ලෝක 2018 FIFA පාපන්දු ලෝක කුසලානය දිනූ මොහොත

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයින් ලෙස ප්‍රංශය අභිෂේක ලැබූ අතර මේ ප්‍රංශය ලෝක කුසලානයක් දිනා ගත් දෙවන වතාවයි. පෙරළිකාර ක්‍රොඒෂියානු කණ්ඩායම පළමු වතාවට ලෝක කුසලාන අවසන් මහා තරගයකට පිවිසුණු අතර අවසන් මහා තරගය පරාජයට පත්වුනත් ක්‍රොඒෂියානුවන්ට මෙන්ම ලොව පුරා ක්‍රීඩාලෝලීන්ට ද මේ ලෝක කුසලානය පුරා ක්‍රොඒෂියානු ක්‍රීඩකයින්ගේ දක්ෂතා අමතක නොවනු ඇත.

අවසන් ලකුණු තත්වය: ප්‍රංශය 04 – 02 ක්‍රොඒෂියාව  

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • ප්‍රංශය – MANDŽUKIĆ 18′ (OG), GRIEZMANN 38′ (PEN), POGBA 59′, MBAPPE 65′
  • ක්‍රොඒෂියාව – PERIŠIĆ 28′, MANDŽUKIĆ 69′

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<