ජර්මානු, බ්‍රසීල අධිරාජ්‍යයන් බිඳ වැටෙද්දී සර්බියාව ජය ගනී

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2018

1699

අද (17) දිනයේ පළමු තරගය ලෙස සර්බියාව හා කොස්ටාරිකාව තරග වැදුණු අතර කොස්ටාරිකාව පරාජය කරමින් සර්බියාව ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට සමත් විය. තරගාවලියේ පළමු පෙරළිය සිදු කරමින් ලෝක ශූර ජර්මනිය පරාජය කරන්නට මෙක්සිකෝව සමත් වූයේ ගෝල 1-0 ක් ලෙසය. තෙවන තරගයේ දී කිසිවෙකු නොසිතූ ලෙස ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සමඟ තරග ගෝල 1-1ක් ලෙස අවසන් කර ගැනීමට ස්විස්ටර්ලන්ත කණ්ඩායම සමත් විය.    

මෙසීගේ බලාපොරොත්තු බිඳ වැටේ; ක්‍රොඒෂියා, ප්‍රංශය සහ ඩෙන්මාර්ක්ට ජය

අද (17) දිනයේ සිව්වැනි තරගයේ දී ක්‍රෝඒෂියාව හා නයිජීරියාව තරග වැදුණු අතර ගෝල 2-0ක් ලෙස පහසු ජයක් වාර්තා…

දෙවන අර්ධයේ ස්විස් ප්‍රහාරයෙන් බ්‍රසීල බලාපොරොත්තු බිඳ වැටේ

දිනයේ තෙවන තරගය ලෙස ප්‍රබල බ්‍රසීලය හා ස්විස්ටර්ලන්තය තරග වැදුණු අතර ගෝල 1-1ක් ලෙස ප්‍රබල බ්‍රසීලය හමුවේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විස්ටර්ලන්තය සමත් විය. E කාණ්ඩයේ තරගයක් ලෙස රෝස්ටෝව්-ඕන්-ඩොන් හි රෝස්ටෝව් ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්විය.

බ්‍රසීල කණ්ඩායම පළමු මිනිත්තුවේ සිටම තරගයේ පෙරමුණ ගත් නමුත් ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයෝ ඔවුන්ට ඉතා පහසුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දුන්නේ නැත. දෙවන අර්ධයේ ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයෝ නේමාර් ප්‍රමුඛ බ්‍රසීල ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් විය.

(පළමු ආසන්න අවස්ථාව ව්‍යර්ථ කිරීමට ස්විස්ටර්ලන්ත දැල් රකින්නා සමත්විය – FIFA.com)

තරගයේ පළමු මිනිත්තු දහය ඇතුලට පවුලිනෝ හට තරගයේ පළමු ආසන්න අවස්ථාව හිමි වූ අතර ස්විස්ටර්ලන්ත ගෝල රකින්නා වූ යාන් සොමර් යාන්තමින් එම ගෝල අවස්ථාව නැවැත්වීමට සමත් විය.

ස්විස්ටර්ලන්ත ආරක්ෂක ක්‍රීඩකයින් සුපිරි ක්‍රීඩක නේමාර් ආවරණය කිරීමට උත්සහ කරමින් සිටින අතරතුර 20 වන මිනිත්තුවේ දී කුටිනියෝ දඬුවම් පහර චතුරශ්‍රයේ වම්පස කෙළවරේ සිට ගෝල රාමුවේ දකුණු පස කෙළවරින් දැල තුලට යන ලෙස පන්දුවට පා පහරක් ලබා දෙමින් අලංකාර ලෙස පළමු බ්‍රසීල ගෝලය වාර්තා කිරීමට සමත් විය.

( කුටිනියෝ  චතුරශ්‍රයේ පිටත සිට දිගු දුර උත්සහයන් සාර්ථක කර ගැනීමේ දක්ෂයෙකි -FIFA.com )

පළමු අර්ධය: බ්‍රසීලය 01 – 00 ස්විස්ටර්ලන්තය

දෙවන අර්ධය ආරම්භ කිරීමත් සමඟ ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයෝ වඩා අධිෂ්ඨානශීලි ලෙස තරගයට අවතීර්ණ වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස ‘Corner’ අවස්ථාවකින් පාවී ආ පන්දුව සිය හිසෙන් අලංකාර ලෙස දැල තුලට යොමු කරන්නට සුබර් (ZUBER) සමත්වූයේ බ්‍රසීල ගෝල රකිනා මෙන්ම ආරක්ෂක ක්‍රීඩකයින් ද මවිතයට පත් කරමිනි.

(බ්‍රසීල ක්‍රීඩකයින් මවිත කරමින් අලංකාර ලෙස ගෝල සමකරන්නට සුබර් සමත්විය – FIFA.com )

අනතුරුව ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින් ඉතා හොඳින් ආරක්ෂක ක්‍රීඩා විලාසයට නිරත වූ අතර බ්‍රසීල මැදපෙළ අවස්ථා නිර්මාණය කර ගැනීමේ පැහැදිලි අපහසුතාවයක සිටිනු දක්නට ලැබුණි.

69 වන මිනිත්තුවේ දී දී ගෝල රකින්නා අසලම සිට කුටිනියෝ හට ඉතා හොඳ අවස්ථාවක් හිමි වූ නමුත් එය සාර්ථක කරගැනීමට ඔහු සමත් වූයේ නැත.

ස්විස්ටර්ලන්ත ආරක්ෂක ක්‍රීඩකයින් නේමාර්ව සම්පූර්ණයෙන් ආවරණය කරනු දක්නට ලැබුණු අතර නේමාර්ට නිදහසේ ක්‍රීඩා කිරීමේ ඉඩක් ලැබුනේම නැත.

(තරගය පුරා නේමාර් ව ආවරණය කිරීම ස්විස්ටර්ලන්තයේ  ප්‍රධාන සැලැස්මක් විය -FIFA.com)

87 වන ම්නිත්තුවේ නේමාර් පන්දුව හිසෙන් ගෝලය වෙත යොමු කළ ද ගෝල රකින්නා පහසුවෙන් පන්දුව රැක ගැනීමට සමත් විය.

බ්‍රසීල ක්‍රීඩකයින් කිහිපවරක්ම උත්සහ කළ ද ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයෝ ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට ඉඩහසර විවර කළ් නැත.

89 වන මිනිත්තුවේ බ්‍රසීලයේ ෆර්මිනියෝ ද හිසෙන් පන්දුව ගෝලය වෙත යොමු කිරීමට උත්සහ කළ ද සොමර් කෙසේ හෝ පන්දුව රැක ගැනීමට සමත් විය.

90 වන මිනිත්තුවේදී බ්‍රසීලයේ මිරැන්ඩා හට දැල ඉදිරිපසම අනගි අවස්ථාවක් හිමි වුවද ඔහු සිය ප්‍රහාරය එල්ල කලේ ගෝල රාමුවෙන් ඉවතටය.

(ස්විස්ටර්ලන්ත ආරක්ෂක ක්‍රීඩකයින් හමුවේ බ්‍රසීල බලාපොරොත්තු බිඳ වැටුණි – FIFA.com )

90+5 මිනිත්තුවේ දී බ්‍රසීලයට නිදහස් පහරක් හිමි වූ අතර එය ලබා ගත් නේමාර් එම අවස්ථාව සාර්ථක කර ගැනීමට සමත් නොවූයේ පෙරළිකාර ස්විස්ටර්ලන්තයට තරගය ජය පරාජයෙන් තොරව තරගය අවසන් කිරීමට ඉඩ සලසා දෙමිනි.

අවසාන ලකුණු තත්වය: බ්‍රසීලය 01 – 01 ස්විස්ටර්ලන්තය

ගෝල ලබා ගැනීම

·        බ්‍රසීලය – කුටිනියෝ 20’

·        ස්විස්ටර්ලන්තය -සුබර් 50’

නොසිතු ලෙස ජර්මානු අධිරාජ්‍යය බිඳ වැටේ

2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන පූර්ව වටයේ දී ස්පාඤ්ඤ හා පරාජය වීමෙන් අනතුරුව 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය දක්වා ලෝක කුසලාන තරගයක් පරාජය නොවුණු ප්‍රබල ජර්මනිය අද මෙක්සිකෝව හමුවේ ගෝල 1-0ක අමිහිරි පරාජයක් අත්වින්දේය.

දිනයේ දෙවන තරගය ලෙස මෙක්සිකෝව හා වත්මන් ලෝක ශූර ජර්මනිය තරග වැදුණු අතර F කාණ්ඩයේ තරගයක් ලෙස මොස්කව් හි ලුස්නිකි ක්‍රීඩාංගණයේ (Luzhniki Stadium)  මේ තරගය පැවැත්විය.

තරගයේ පළමු මිනිත්තු කිහිපයේ වඩා ශාරීරික ක්‍රීඩා විලාසයක් සමඟින් තරගයට අවතීර්ණ වූ මෙක්සිකෝ කණ්ඩායම ප්‍රබල පීඩනයක් ජර්මානු ක්‍රීඩකයින් වෙත යොමු කිරීමට සමත් විය. මෙක්සිකෝව පළමු හා එකම ගෝලය ලබා ගැනීමෙන් අනතුරුව ජර්මානු ක්‍රීඩකයින් පන්දුව තමන් සතු කරගෙනම ක්‍රීඩා කළ අතර ඔවුන් උත්සහයන් 25ක් ගෝල රකින්නා වෙත යොමු කළ ද ඉන් එකදු උත්සහයක් හෝ ගෝල රකිනා මග හරිමින් දැල තුලට ගියේ නැත.

(පළමු මිනිත්තු තුනේ මෙක්සිකෝව ජර්මන් ක්‍රීඩකයින් මවිත කළේ ප්‍රබල ආක්‍රමණයක නිරත වෙමිනි -FIFA.com)

ආරම්භක මිනිත්තු තුන ඇතුලත ඉතා ආසන්න අවස්ථා දෙකක් උදා කර ගැනීමට පෙරළිකාර මෙක්සිකෝව සමත් වූයේ ජර්මනිය අන්ද මන්ද කරමිනි.
13 වන මිනිත්තුවේ දී මෙක්සිකෝවේ ඉදිරිපෙළ ක්‍රීඩක හර්නෑන්ඩේස් ගෝලයක් ලබා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වූ අතර මාස නවයකට පසු සිය ප්‍රථම තරගකාරී තරගය ක්‍රීඩා කළ ජර්මනියේ ප්‍රබල ගෝල රකින්නා මැනුවල් නොයෙර් දක්ෂ ලෙස එම අවස්ථාව වළක්වන්නට සමත් විය.
කෙසේ වෙතත් පළමු අර්ධය පුරා මෙක්සිකෝ ක්‍රීඩකයින් සිය අර්ධයට කොටුවී සිටියත් 35 වන මිනිත්තුවේ දී ලද අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගත් ලොසානෝ (Hirving LOZANO) සිය මංගල ලෝක කුසලානයේ මංගල ගෝලය ලෙස ප්‍රබල ජර්මනියට එරෙහිව ජයග්‍රාහි ගෝලය වතා කළේ මුළු ජර්මනියම මදකට කම්පනය කරමිනි.

(මෙක්සිකෝවේ ලොසානෝ ඉතිහාසගත ගෝලයක් වාර්තා කළේය  – FIFA.com )

පළමු අර්ධය: ජර්මනිය 00 – 01 මෙක්සිකෝව

දෙවන අර්ධය ද පළමු අර්ධයේ පුනරුපනයක් වූ අතර ජර්මානු ක්‍රීඩකයින් පිට පිට ආක්‍රමණ කරද්දී මෙක්සිකෝ ක්‍රීඩකයින් සියල්ල දැල අසලම රැඳී සිටි අතර අවස්ථාවක් ලද විගස පන්දුවත් සමඟ මෙක්සිකෝ ක්‍රීඩකයින් ප්‍රති ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබුණි.

අවස්ථා 15ක පමණ ජර්මානු ක්‍රීඩකයින් ගෝල ලබා ගැනීමට උත්සහ කළ ද මෙක්සිකෝ ගෝල රකින්නා වූ ඔචෝආ හා දැල අසලම සිටි මෙක්සිකෝ ක්‍රීඩකයින් අටදෙනා කෙසේ හෝ එම උත්සාහයන් නැවැත්වීමට සමත් විය.

88 වන මිනිත්තුවේ දී ටෝනි කෘස් එල්ල කළ පහරක් හා ජූලියන් බ්‍රන්ඩිට් එල්ල කළ ප්‍රහාර දෙකක් ගෝල රාමුවේ වැදී ඉවතට ගියේ ජර්මන් ආධිපත්‍ය බිඳ දමමින්ය.

(ජර්මන් ක්‍රීඩකයෝ ගෝල ලබාගැනීමට ප්‍රබල උත්සාහයක නිරත විය – FIFA.com )

ජර්මනිය ලෝක ශූරයින් ලෙස ලෝක කුසලනයක ආරම්භක තරගයක් පරාජය වූ පළමු අවස්ථාව මෙයයි.

අවසාන ලකුණු තත්වය: ජර්මනිය 00 – 01 මෙක්සිකෝව

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

·        මෙක්සිකෝව – ලොසානෝ 35’

කොලරෝව්ගේ නිදහස් පහර සර්බියාවේ ජයග්‍රහණයට පාර කපයි

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2018

2018 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (17) පළමු තරගය ලෙස E කාණ්ඩයෙන් කොස්ටාරිකාව හා සර්බියාව තරග වැදුණු අතර ගෝල 1-0ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට සර්බියාව සමත් විය. තරගය සමාරා හි සමාරා ක්‍රීඩාංගණයේ දී (Samara Arena) පැවැත්විය.

පළමු අර්ධයේ පළමු මිනිත්තු කිහිපය පුරා කොස්ටාරිකා ක්‍රීඩකයින් සර්බියාවට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට සමත් වුවද කාලය ගතවත්ම ප්‍රබල සර්බියා  ක්‍රීඩකයෝ පන්දුව තමන් වෙතම තබා ගනිමින් කොස්ටාරිකාගෝල චතුරශ්‍රය අසලම රැඳී සිටින්නට සමත් විය.

කොස්ටාරිකාවේ ගියාන්කාර්ලෝ ගොන්සාලේස් හට පැහැදිලි ආසන්න අවස්ථා දෙකක් හිමිවුව ද ඔහුගේ හිසෙන් පන්දුව යොමු කිරීමේ දී ඒ අවස්ථා දෙකම සාර්ථක වූයේ නැත.

පළමු අර්ධය: කොස්ටාරිකා 00 – 00 සර්බියාව

දෙවන අර්ධයේ ද සර්බියා කණ්ඩායම ප්‍රබල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ නමුත් ප්‍රබල කොස්ටාරිකා ගෝල රකිනා වූ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ කෙලර් නවාස් ආසන්න සර්බියා අවස්ථා කිහිපයක්ම ව්‍යර්ථ කිරීමට සමත් විය.

56 වන මිනිත්තුවේ දී සර්බියාවට නිදහස් පාරක් හිමි වූ අතර එම නිදහස් පහර ලබා ගත් කොලරෝව් අලංකාර පා පහරකින් ජයග්‍රාහී මෙන්ම තරගයේ එකම ගෝලය වාර්තා කිරීමට සමත් විය. මෙතෙක් පැවති තරග අට පුරා නිදහස් පහරවලින් වාර්තා වූ තෙවන ගෝලය මෙයයි.

(කොලරෝව්ගේ නිදහස් පහර සර්බියාවට ජය ගෙන ආවේය – FIFA.com )

කෙසේ නමුත් ඉන් අනතුරුව ගත වූ මිනිත්තු කිහිපය තුල තරගය වඩාත් ශාරීරික වුවත් සර්බියා ආරක්ෂක වළල්ල බිඳ දැමීමට කොස්ටාරිකා ක්‍රීඩකයින්ට හැකි වූයේ නැත.

අවසන් ලකුණු තත්වය: කොස්ටාරිකාව 00 – 01 සර්බියාව

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

·       සර්බියාව – කොලරෝව් 56’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<