2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ (23) දිනයේ පළමු තරගය ලෙස ප්‍රබල බෙල්ජියම හා ටියුනීසියාව තරග වැදුණු අතර ප්‍රබල බෙල්ජියම හමුවේ ගෝල 5-2ක පරාජයක් අත්විඳින්නට ටියුනීසියාවට සිදු විය. දෙවන තරගයේ දී පෙරළිකාර මෙක්සිකෝව හමුවේ ගෝල 2-1ක පරාජයක් අත්විඳින්නට කොරියාවට සිදු විය. තෙවන තරගයේ අවසාන මිනිත්තුවේ වාර්තා වූ සුපිරි ගෝලයකින් ස්වීඩනය පරාජය කිරීමට ලෝක ශූර ජර්මනිය සමත් විය.

KROOS අදහා ගත නොහැකි නිදහස් පහර ලෝක ශූරයින්ගේ දිවි ගලවයි

දිනයේ තෙවන තරගය ලෙස ප්‍රබල ජර්මනිය හා ස්වීඩනය සෝචි හි Fisht Stadium ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර ලෝක කුසලාන තරගාවලියේ රැඳී සිටීමට අත්‍යවශ්‍ය තරගයක් වූ මේ තරගය සුපිරි අවසානයක් සමඟින් ගෝල 2-1ක් ලෙස ජය ගන්නට ලෝක ශූර ජර්මනිය සමත් විය.

රතු කාඩ්පතක් නිසා ක්‍රීඩකයෙකු ද අහිමිව සිටි මොහොතක 90+3 මිනිත්තුවේ දී ලද අවසාන අවස්ථාවේ සුපිරි ක්‍රීඩක ටෝනි කෘස් මුළු ප්‍රේක්ෂකාගාරයම තත්පරයකට නිහඬ කරමින් අදහාගත නොහැකි ගෝලයක් වාර්තා කරමින් තරගයේ ජය ජර්මනියට හිමි කර දීමට සමත් විය.

ජර්මානු ක්‍රීඩකයින්ට ජයග්‍රහණයක් අවශ්‍යම වූ මේ තරගයේ පළමු මිනිත්තුවේ සිටම ජර්මන් ක්‍රීඩකයින් ස්වීඩන් චතුරශ්‍රයේ රැඳෙමින් ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ ද ඒ ඉතා ආසන්න අවස්ථා කිසිවක් සාර්ථක කර ගන්නට ගෝල රකින ක්‍රීඩක Robin OLSEN ප්‍රමුඛ ක්‍රීඩකයෝ කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැත.

ස්වීඩන් ක්‍රීඩකයින්ට ලැබුණු අවස්ථා ද්විත්වයකින් ඔවුන් ජර්මනියට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ජර්මන් ආරක්ෂක වළල්ල තිබුණේ සැහෙන දුර්වල මට්ටමක ය.

පළමු වරට දියත් වූ ස්වීඩන් ප්‍රහාරය යාන්තමින් නවතාලන්නට BOATENG, RUEDIGER සමත් වූයේ ගෝල අවස්ථාවකට ඉතා ආසන්න වූ පසුවය

(පළමු අර්ධයේ ජර්මන් ආරක්ෂක වළල්ල එතරම් ස්ථාවර වූයේ නැත-FIFA.com)

ජර්මන් ක්‍රීඩකයින් සියලු දෙනා ස්වීඩන් අර්ධයේ රැඳෙමින් ක්‍රීඩා කළ අතර එය ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට මනා පහසුවක් විය.

සුපුරුදු පරිදි ඔවුන්ගේ RB ක්‍රීඩක KIMMICH ආරක්ෂක කාර්යයට වඩා ආක්‍රමණයට යොදවා තිබූ නිසා බොහෝ විට තිදෙනෙකුවත් සිටිය යුතු ආරක්ෂක වළල්ලේ සිටියේ BOATENG හා  RUEDIGER පමණි.

32 වන මිනිත්තුවේ දී සුපිරි රියාල් මැඩ්රිඩ් ක්‍රීඩක Kroos ඔහු අතින් කලාතුරකින් සිදු වෙන වරදක් කළ අතර ජර්මනිය ඒ වරදට ගෝලයකින් වන්දි ගෙව්වේය.

ඉලක්කය වැරදුණු පන්දු යොමු කිරීමක් ඔහු ස්වීඩන් ක්‍රීඩකයෙකුට පන්දුව ලබා දුන් අතර TOIVONEN පන්දුවත් රැගෙන ඉදිරියට යමින් ඔහුව නැවැත්වීමට ආරක්ෂක වළල්ලේ සිටියේ RUEDIGER පමණි. RUEDIGER මග හරිමින් TOIVONEN ගෝල රකින්නාට ඉහළින් පන්දුව ගෝලයට යොමු කලේ ලෝක ශූර ජර්මනියට මහත් කම්පනයක් ඇති කරමිනි.

(ජර්මන් ගෝල රකින්නාගේ හිසට ඉහළින් පන්දුව පාවී ගියේ පළමු හා එකම ස්වීඩන් ගෝලය ලෙසය-FIFA.com)

පළමු අර්ධය පුරා ජර්මන් ක්‍රීඩකයින් ප්‍රබල උත්සාහයක නිරත වුවද ගෝලයක් වාර්තා කර ගැනීමට සඳහා ඔවුන් වාසනාවන්ත වූයේ නැත. 73%ක ප්‍රතිශතයක් ඔවුන් පන්දුව තමන් සතු කරගෙන සිටිය ද OLSEN ඉතා ආසන්න අවස්ථා කිහිපයක් නැවැත්වීමට සමත් වූයේ ස්වීඩනය තව දුරටත් ඉදිරියේ තබා ගනිමිනි.

(OLSEN ඉතා ආසන්න අවස්ථා කිහිපයක්ම නවත්වන්නට සමත්විය-FIFA.com)

40+5 මිනිත්තුවේ දී ස්වීඩනයට ලැබුණු නිදහස් පහරක් ස්වීඩන් ක්‍රීඩකයා අලංකාර ලෙස ගුවන්ගත කළ අතර BERG අලංකාර ලෙස පන්දුව හිසෙන් ගෝල රාමුවේ පහළ කොන වෙත යොමු කළත් ගුවනේ පියාඹා ගිය සුපිරි බයර්න් මියුනික් ගෝල රකින්නා, NEUER අලංකාර ලෙස එම උත්සාහය ව්‍යර්ථ කරන්නට සමත් විය.

පළමු අර්ධය: ජර්මනිය 00 – 01 ස්වීඩනය

පරාජය වීමට සිදුවුවහොත් ලෝක ශූරයින්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවන නිසා දෙවන අර්ධය ආරම්භයේ සිටම නැවතත් ප්‍රබල ආක්‍රමණයක් දියත් කරන්නට ජර්මන් ක්‍රීඩකයෝ සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිත්තු 20ක් පුරා ස්වීඩනයට පන්දුව ලබා නොදී ජර්මන් ක්‍රීඩකයෝ ක්‍රීඩා කළ අතර ඔවුන් අපේක්ෂාවෙන් සිටි වාසනාවන්ත අවස්ථාව ඔවුන්ට උදා  වූයේ 48 වන මිනිත්තුවේ ය.

(REUS ලෝක ශූරයින්ගේ බලාපොරොත්තු නැවත දැල්වීමට සමත් විය-FIFA.com)

Mario Gomez හා Timo Werner ගේ අලංකාර පන්දු හුවමාරු කරගැනීමකින් අනතුරුව පන්දුව REUS ට ලබා දුන් අතර REUS අලංකාර ලෙස ක්ෂණිකව පන්දුව දැල තුලට යොමු කළේ සිය ජීවිතයේ වටිනාම ගෝලය විය හැකි ගෝලය වාර්තා කරමින් ගෝල සමකරමිනි

අනතුරුව පළමු අර්ධයේ මෙන්ම දිගින් දිගටම ජර්මන් ක්‍රීඩකයින් ආක්‍රමණයේ නිරත වූ අතර 50 වන මිනිත්තුවේ MUELLER හිසෙන් යොමු කළ පන්දු යොමු කිරීමක් ගෝල රාමුවේ ගෑවී නොගෑවී ඉවතට ගියේය.

55 වන මිනිත්තුවේ දී HECTOR හට ද ආසන්න අවස්ථාවක් හිමි වූ අතර එම අවස්ථාව ද නිසි ලෙස ගෝල රාමුව තුලට යොමු කරගන්නට ජර්මානු ක්‍රීඩකයා සමත් වූයේ නැත.

81 වන මිනිත්තුවේ දී සිය දෙවන කහ කාඩ්පත ලැබීම හේතුවෙන් විනිසුරු රතු කාඩ්පතක් පෙන්වා BOATENG පිටියෙන් ඉවත් කළේ ජර්මනිය තවත් අමාරුවේ දමමිනි.

(BOATENG රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වූයේ ජර්මනිය තවත් අමාරුවේ දමමිනි-FIFA.com)

82 වන මිනිත්තුවේ දී ස්වීඩන් ක්‍රීඩක GUIDETTIගේ උත්සහයක් ජර්මානු ගෝල රකින්නා දක්ෂ ලෙස ව්‍යර්ථ කළේ ජර්මානු ප්‍රේක්ෂකයින්ට මද සහනයක් ලබා දෙමිනි.

87 වන මිනිත්තුවේ දී MULLERගේ පන්දු යොමු කිරීමක් GOMEZ විසින් සිය හිසෙන් දැල වෙත යොමු කළ අතර OLSEN අලංකාර ලෙස එම අවස්ථාව ව්‍යර්ථ කළේ ජර්මානු ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුන් කරමිනි.

90+1 මිනිත්තුවේ දී Brandt අලංකාර ලෙස එල්ල කළ ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ඉවත ගියේ ජර්මානු කණ්ඩායමේ අවාසනාවන්ත බව මොනවට කියා පාමිනි.

අනතුරුව 90+4 මිනිත්තුවේ දී ස්වීඩන් ක්‍රීඩක DURMAZ සිය ක්‍රීඩා ජීවිතයේ විශාලම වරද සිදු කළේ දඬුවම් පහර චතුරශ්‍රයේ වම්පස කොනට ආසන්න වන්නට Tony Kroos හට අනවශ්‍ය බාධා කිරීමක් කරන්නට ගොස් ජර්මනියට නිදහස් පහරක් ලබා දීමෙනි.

මේ දඬුවම් පහර සාර්ථක කර ගතහොත් ජර්මනියට 16 වටයට පිවිසීමට තවත් අවස්ථාවක් හිමිවන අතර මේ දඬුවම් පහර ගිලිහි ගියහොත් ලෝක ශූර ජර්මනියේ අවසානය එය වනු ඇත.

(ටෝනි කෘස් තමන් අතින් සිදුවූ වරද නිවැරදි කරගත්තේය -FIFA.com)

සුපිරි ක්‍රීඩක ටෝනි කෘස් ඉමහත් පීඩනයක් යටතේ අපහසු ස්ථානයකින් එම නිදහස් පහර ලබාගත් අතර කුඩා පහරකින් පන්දුව REUS වෙත යොමු කළ ඔහු REUS පන්දුව සිය පාදයෙන් අල්ලා ගෙන සිටින විය අලංකාර කවාකාර ප්‍රහාරයක් පන්දුවට එල්ල  කළේ ප්‍රේක්ෂකයින් සියලු දෙනාගේ දෑස් යොමු වී තිබූ පන්දුව ගුවනේ පාවී දැල තුලට යවමිනි. අවසාන මිනිත්තුවේ Kroos ජර්මනියට ජය ගෙන ආවේ කිසිවෙකු නොසිතු ලෙසටය.

(Kroos ගේ මායාකාර ප්‍රහාරය ජර්මනියට ජය ගෙන ආවේ අවසන් මිනිත්තුවේ තරගය අවසන් කිරීමට ඔන්න මෙන්න තිබියදීය-FIFA.com)

අවසන්  ලකුණු තත්වය: ජර්මනිය 02 – 01 ස්වීඩනය

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • ජර්මනිය –KROOS 90+5, REUS 48’
  • ස්වීඩනය –   TOIVONEN 32’

ආර්ජෙන්ටිනා ප්‍රේක්ෂකයින්ට නයිජීරියාවෙන් සහනයක්

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නවවැනි දිනය වූ ඊයේ (22) දිනයේ පළමු තරගය ලෙස ප්‍රබල…

කොරියානු සිහින මෙක්සිකෝව හමුවේ බිඳ වැටේ

අද දිනයේ දෙවන තරගය ලෙස පළමු තරගයේ දී පෙරළිකාර ජයක් වාර්තා කරමින් ජර්මනිය පරාජය කළ මෙක්සිකෝව හා කොරියාව Rostov-On-Don හි රොස්ටෝව් ක්‍රීඩාංගණයේ දී හමුවුණු අතර ගෝල 2-1ක් ලෙස තරගයේ ජය හිමිකර ගැනීමට මෙක්සිකෝව සමත් විය.

තරගයේ ආරම්භයේ සිටම මෙක්සිකෝ ක්‍රීඩකයෝ තරගයේ පෙරමුණ ගත් අතර කොරියාවට පහසු අවස්ථා මෙක්සිකෝ ක්‍රීඩකයින් ලබා දුන්නේම නැත.

26 වන මිනිත්තුවේ දී කොරියානු ක්‍රීඩකයෙකු දඬුවම් පහර චතුරශ්‍රයේ දී සිදු කළ වරදක් නිසා මෙක්සිකෝවට දඬුවම් පහරක් හිමි වූ අතර CARLOS අලංකාර ලෙස එම දඬුවම් පහර සාර්ථක කර ගනිමින් මෙක්සිකෝවට තරගයේ පෙරමුණ ගැනීමට අවස්ථාව සලසා දුනි. මේ CARLOSගේ මංගල ජාත්‍යන්තර ගෝලයයි.

(මේ CARLOS ගේ මංගල ජාත්‍යන්තර ගෝලයයි-FIFA.com)

පළමු අර්ධය පුරා කොරියානු ක්‍රීඩකයින් අවස්ථා 8ක දී ගෝලයක් සඳහා උත්සහ කළත්, ඉන් පැහැදිලි අවස්ථාවක් උකහා ගැනීමට ඔවුන් සමත් වූයේ නැහැ.

පළමු අර්ධය: මෙක්සිකෝව 01 – 00 කොරියාව

දෙවන අර්ධයේ දී කොරියානු ක්‍රීඩකයින් මෙක්සිකෝ ක්‍රීඩකයින්ට වඩා පැහැදිලිව ආසන්න අවස්ථා කිහිපයක් උදා කර ගත්ත ද ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වූයේ නැත.

ජර්මනිය සමඟ තරගයේ වාර්තා වූ ගෝලය මෙන්ම, එවැනිම සුපිරි ගෝලයක් වාර්තා කිරීමට මෙක්සිකෝ ක්‍රීඩකයින් සමත් වුනේ තරගයේ 66 වන මිනිත්තුවේ දී ය. J HERNÁNDEZ එම ගෝලය වාර්තා කළ අතර ඒ ගෝලයත් සමඟින් ඔහු ලෝක කුසලාන තරගාවලිවල දී ගෝල 4 සීමාවට ළඟා වෙමින් Luis Hernandezගේ මෙක්සිකෝව වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ගෝල වාර්තාව සම කළේය.   

(J HERNÁNDEZ මෙක්සිකෝ වෙනුවෙන් වැඩිම ලෝක කුසලාන ගෝල ලාභින්ගේ වාර්තාව සම කිරීමට සමත්විය-FIFA.com)

අනතුරුව ගෙවුණු කාලය පුරා මෙක්සිකෝ ක්‍රීඩකයින් ආරක්ෂක ක්‍රීඩා විලාසයක නිරත වූ අතර ගෞරවය බේරා ගැනීමේ සටනක නිරත වූ කොරියානු ක්‍රීඩකයින් කෙසේ හෝ අවසාන මිනිත්තුවේ ගෝලයක් වාර්තා කිරීමට සමත් වුවත් තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට ඔවුන්ට කාලයක් ඉතිරිව තිබුණේ නැත.

90+3 මිනිත්තුවේ දී දඬුවම් පහර චතුරශ්‍රයේ පිටත සිට H M SON අලංකාර කවාකාර ප්‍රහාරයකින් පන්දුව දැල තුලට යැවීමට සමත් විය.

(SON ගේ අලංකාර ගෝලයට පරාජය ආපසු හැරවීමේ හැකියාවක් තිබුනේ නැත-FIFA.com)

අවසාන ලකුණු තත්වය: මෙක්සිකෝව 02 – 01 කොරියාව

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • මෙක්සිකෝව –  CARLOS 26’, J HERNÁNDEZ 66’
  • කොරියාව – SON 90+3’

පොඩ්ඩන් ලොක්කන්ට ඔච්චම් කළ ලෝක කුසලානයේ පළමු සතිය

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජුනි 14 වැනිදා රුසියාවේ මොස්කව් නුවර දී ආරම්භ වූ..

ලුකාකු හා හැසාඩ් ටියුනීසියාව අසරණ කරයි

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද (23) දිනයේ පළමු තරගය ලෙස ප්‍රබල බෙල්ජියම හා ටියුනීසියාව මොස්කව් හි Spartak ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර ප්‍රබල බෙල්ජියම හමුවේ ගෝල 5-2ක පරාජයක් අත්විඳින්නට ටියුනීසියාවට සිදු විය. G කාණ්ඩයේ තරගයක් ලෙස මේ තරගය ක්‍රියාත්මක විය.

මෙවර ලෝක කුසලානයේ මේ දක්වා තරගය 27ක් පැවැත්වූ අතර ඉන් එක තරගයක්වත් ගෝල රහිත 0-0ක් ලෙස අවසන් වූ තරග ලෙස දැක්වුණේ නැත. මීට පෙර එවැනි අවස්ථාවක් වාර්තා වුනේ 1954 ලෝක කුසලානයේ දී තරග 26ක් ගෝල රහිත තරග ලෙස අවසන් නොවෙමින්ය.  

පළමු මිනිත්තුවේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මේ තරගයේ 6 වැනි මිනිත්තුවේ පළමු බෙල්ජියම් ගෝලය වාර්තා වූ අතර දඬුවම් පහර චතුරශ්‍රය තුල ටියුනීසියානු ආරක්ෂක ක්‍රීඩකයෙකු අනවශ්‍ය බාධා කිරීමක් කළ නිසා විනිසුරු බෙල්ජියමට දඬුවම් පහරක් නියම කරන ලදි. බෙල්ජියම් නායක Eden HAZARD එම දඬුවම් පහර අලංකාර ලෙස සාර්ථක කර ගන්නා ලදි.

(හැසාඩ්ගේ දඬුවම් පහරින් ආරම්භයේම තරගයේ පෙරමුණ ගැනීමට බෙල්ජියම සමත් විය. – FIFA.com)

16 වන මිනිත්තුවේ දී  ක්‍රියාත්මක වූ බෙල්ජියම් ක්‍රීඩක Dries Mertens අලංකාර පන්දු යොමු කිරීමක් මගින් පන්දුව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක රොමේලු ලුකාකු හට යොමු කළ අතර ගෝල රාමුවේ වම්පස පිටත සිට දකුණුපස අර්ධයෙන් පන්දුව දැල තුලට යොමු කළ ලුකාකු මෙවර ලෝක කුසලානයේ සිය තෙවන ගෝලය වාර්තා කර ගැනීමට සමත් විය.

(ලුකාකු මෙවර ලෝක කුසලානයේ සිය තෙවන ගෝලය වාර්තා කළේය-FIFA.com)

ටියුනිසියානු ක්‍රීඩකයින් ද ඒ සමඟම ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර 18 වන මිනිත්තුවේ දී ඔවුන්ට ලැබුණු දඬුවම් පහරක් Khazri අලංකාර ලෙස දැල ඉදිරිපසට යොමු කරද්දී බෙල්ජියම් ආරක්ෂකයින් අතරින් ඉහළට නැගුණු BRONN දක්ෂ ලෙස Thibaut Courtois ගෝල රකින්නා පසු කරමින් පළමු ටියුනිසියානු ගෝලය සිය හිසෙන් දැල තුලට යොමු කරන්නට සමත් විය. මේ BRONNගේ පළමු ජාත්‍යන්තර ගෝලයයි.

(BRONN දක්ෂ ගෝලයක් වාර්තා කළේ ටියුනීසියානු බලාපොරොත්තු ඉහළ දමමිනි. – FIFA.com)

Kevin DE BRUYNE තරගය පුරා බෙල්ජියම වෙනුවෙන් අවස්ථා රාශියක් නිර්මාණය කළ අතර ඔහුගේ මැද පෙළ දක්ෂ ක්‍රීඩා විලාසය නිසා 45+3 මිනිත්තුවේ දී තවත් ගෝලයක් ලබාගැනීමට බෙල්ජියමට හැකි විය.

තවත් දිගු පන්දු යොමු කිරීමක් ලුකාකු වෙත ලැබීමෙන් අනතුරුව මෙවර සැහෙන තරම් ඉදිරියට පන්දුව රැගෙන ගිය ඔහු ගෝල රකින්නා ඉදිරියට පැමිණීමත් සමඟ ඔහු මග හරිමින් අලංකාර ලෙස පන්දුව දැල වෙත යොමු කළේ සිය මෙවර ලෝක කුසලානයේ සිය සිව්වැනි ගෝලය ද වාර්තා කරමින්.

(ලුකාකු සිය සිව්වැනි ගෝලය වාර්තා කළේ සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ හා වැඩිම ගෝල ලාභීන් අතර පෙරමුණට එක්වෙමිනි -FIFA.com)

පළමු අර්ධයේ මෙන්ම තරගය පුරාම බෙල්ජියම් ක්‍රීඩකයින්ගේ පන්දු යොමු කිරීම් මෙන්ම පිටියේ ස්ථානගත කිරීම් පිළිබඳ කිසිදු අදහසක් ටියුනිසියානු ආරක්ෂක ක්‍රීඩකයින්ට තිබුණේ නැත.

පළමු අර්ධය‍් බෙල්ජියම 03 – 01 ටියුනීසියාව

දෙවන අර්ධය අරම්භයේ ටියුනිසියානු ක්‍රීඩකයන් ප්‍රබල උත්සහයක නිරත වුනත් ඔවුන්ට ගෝලයක් ලබා ගැනීමට වාසනාවක් තිබුණේ නැත.

නැවත වරක් ක්‍රියාත්මක වූ Kevin De Bruyne පන්දුව අලංකාර ලෙස සිය නායකයා, හැසාඩ් වෙත යොමු කළ අතර සන්සුන්ව පන්දුව ලබාගත් හැසාඩ් ගෝල රකින්නා පසු කරමින් 51 වන මිනිත්තුවේ දී සිය දෙවන ගෝලයත් රැස් කළා.

(හැසාඩ් ඉතා සන්සුන්ව උපක්‍රමශිලිව සිය දෙවන ගෝලයත් වාර්තා කර ගැනීමට සමත් විය -FIFA.com)

අනතුරුව බෙල්ජියම් ක්‍රීඩකයෝ කිහිප වරක්ම උත්සහ කළ නමුත් BATSHUAYI තෙවරක්ම සාර්ථක ලෙස එම උත්සාහයන් අවසන් කරන්නට සමත් වූයේ නැහැ. නමුත්  90 වන මිනිත්තුවේ ක්‍රියාත්මක වූ ඔහු බෙල්ජියමේ පස්වැනි ගෝලයත් වාර්තා කළේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ ගෝල පහක් වාර්තා කළ පළමු කණ්ඩයම බවට බෙල්ජියම පත්කරමින්.

(BATSHUAYIගේ සිව්වැනි උත්සාහයේ දී පස්වැනි බෙල්ජියම් ගෝලය වාර්තා කර ගැනීමට ඔහු සමත් විය. – FIFA.com)

අනතුරුව සිය ගෞරවය සඳහා සටනක් දියත් කළ ටියුනීසියාව වෙනුවෙන් KHAZRI 90+3 මිනිත්තුවේ දී දෙවන ටියුනිසියානු ගෝලය රැස්කළේ කණ්ඩායමේ ගෞරවය මදක් හෝ ආරක්ෂා කර ගනිමින්.

ඒ අනුව බෙල්ජියම 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගන්නා ලදි.

අවසාන ලකුණු තත්වය: බෙල්ජියම 05 – 02 ටියුනීසියාව

ගෝල රැස්කර ගත් ක්‍රීඩකයෝ

  • බෙල්ජියම –  BATSHUAYI 90+3’, LUKAKU 16’, 45+3’, HAZARD 6’, 51’
  • ටියුනීසියාව KHAZRI 90+3’,  BRONN 18’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<