ශ්‍රී ලංකා පාපන්දු සංගමයෙන් ජාතික පුහුණුකරුවන් ඉවත් කරයි

408
FFSL sacks National Coaches

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් තිදෙනා ඉවත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඊයේ (27) තීරණය කරන ලදි.

ඉවත් කරන ලද පුහුණුකරුවන් වන්නේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඩඩ්ලි ස්ටෙයින්වෝල්, සහාය පුහුණුකරු දෙවසාගයම් රාජමණි සහ ගෝල රැකීමේ පුහුණුකරු මහින්ද ගලගෙදර යන අයයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මාධ්‍ය නිවේදනයක් මගින් මෙම ඉවත් කිරීමේ තීරණය පිළිබඳ තහවුරු කරන ලදි.

AFC කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට 32 සංචිතයක්

2018 19න් පහළ AFC පාපන්දු ශූරතාවය සඳහා සහභාගී වීමට ක්‍රීඩකයින් තිස්දෙදෙන‍ෙකුගෙන් සමන්විත..

”ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නුදුරු අනාගතයේ දී කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමට නියමිත නොවන බැවින් ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් ඔවුන්ගේ සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පාපන්දු සම්මේලනය දන්වා සිටියි.” යනුවෙන් එම නිවේදනයේ සඳහන් විය.

ඉන්දීය ජාතික කණ්ඩායම තම සහභාගීත්වය තවමත් තහවුරු කර නොතිබීම හේතුවෙන් 2017 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියාතික (සාෆ්) පාපන්දු ශූරතා තරගාවලිය කල් දැමීමට සිදු වී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම පුහුණුකරුවන් ඉවත් කිරීමේ තීරණය නැවත සලකා බලමින් පවතින බවට කට කතා පැතිරෙමින් තිබූ අවස්ථාවක ප්‍රකාශයට පත් කෙරුණු මෙම තීරණය තරමක් විශ්මයජනක තීරණයක් වන්නේ ප්‍රධාන පුහුණුකරු ඩඩ්ලි ස්ටෙයින්වෝල් මහතා 2016 අප්‍රේල් මාසයේ සිට අදාළ තනතුරේ සේවයේ නිරත වුවද, ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වී තිබෙන්නේ එක් තරගාවලියකට පමණක් වීම හේතුවෙනුයි. එබැවින් මෙම තීරණය දක්ෂතා මත පදනම්ව ගත් ක්‍රියාමාර්ගයකට වඩා පරිපාලනමය තීරණයක් ලෙස සඳහන් කළ හැක.

ස්ටෙයින්වෝල් තම පත්වීම ලද සමයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට දී සහ විදේශ රටවල දී ද්වීපාර්ශවීය ජාත්‍යන්තර තරග (International friendlies) සඳහා සහභාගී කරවීම පිළිබඳ අවධානය යොමු කළ ද, ඒ සඳහා පාපන්දු සම්මේලනයේ උනන්දුවක් තිබූ බවක් දක්නට නොලැබුනි.

මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෑත කාලීනව පත් කරනු ලැබූ ජාතික කණ්ඩායම් කළමනාකරණ කමිටුව හරහා මෙලෙස පුහුණුකරුවන් ඉවත් කිරීමේ තීරණය ගෙන ඇති බවට ද මත පලවෙමින් තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සමීප ආරංචි මාර්ගයක් මෙලෙස පැවසීය.

”ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අවශ්‍ය දීර්ඝ කාලීන සැලසුමක් ක්‍රියාත්මක කිරීමටයි. ඉතින් අපි විශ්වාස කරන්නේ නැහැ හිටපු පුහුණුකරුවන් එම කාර්යය සඳහා ගැළපෙන බව.”

ThePapare.com වෙත ලැබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා දේශීය පුහුණුකරුවෙකුම යොදා ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබේ. ඒ සඳහා ප්‍රධානතම තරගකරුවන් ලෙස නොකඩවා දෙවරක් ඩයලොග් චැම්පියන්ස් ලීග් තරගාවලියේ ශූරයන් වූ කොළඹ පාපන්දු සමාජයේ පුහුණුකරු මොහොමඩ් රූමි සහ රිනවුන් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු මොහොමඩ් අමනුල්ලා යන අය පිළිබඳ සලකා බැලෙන බවයි වාර්තා වන්නේ.

හිටපු ප්‍රධාන පුහුණුකරු ඩඩ්ලි ස්ටෙයින්වෝල් මහතා සම්බන්ධ කර ගැනීමට ThePapare.com දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුකරු තනතුරට සුදුස්සා කවුද? ඔබේ අදහස පහතින් දක්වන්න.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<