පාසල් මහා ක්‍රිකට් සංග්‍රාම යනු ජාතික තලයට ක්‍රීඩකයන් දායාද කරන තෝතැන්නක් බව අයෙක් පැවසුවහොත් එහි කිසි අරුමයක් නොවේ.

බොහෝ අවස්ථාවන්වල දී සිය පාසල කේන්ද්‍ර කර ගනිමින් දක්ෂතා ඔප්නංවා ගන්නා ක්‍රීඩකයින්, මහා සංග්‍රාමයක දී කලඑළි බසින්නේ සිය පාසල් මාතාවට ගෞරවයක් රැගෙන ඒමේ උතුම් අපේක්ෂාව පෙරදැරි කරගනිමිනි. එලෙස පැමිණෙන ඇතැම් ක්‍රීඩකයින් කෙළින්ම ගොස් නතර වන්නේ ජාතික කණ්ඩායමෙනි. එවන් වූ මහා ක්‍රිකට් තරගයක වීරයා වීමට ඇත්නම් යන්න සෑම පාසල් ක්‍රීඩකයෙකුගේම අහිංසක මෙන්ම නිරහංකාර  සිහිනයකි.

අවුරුදු 23න් පහළ පළාත් තරගාවලියේ කණ්ඩායම

වයස අවුරුදු 23න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා අවසන් වූයේ මධ්‍යම පළාත් කණ්ඩායම ශූරතාවයත්, බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම

“මණසිංහ ආරච්චිගේ ලක්ෂිත රසාංජන මණසිංහ” යනු අනෙක් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වීරයා වීමට සිහින දැරූ සහ එම සිහිනය සැබෑ කරගත් ක්‍රීඩක අතලොස්ස අතරින් සුවිශේෂි ක්‍රීඩකයෙකි.

2017 වසරේ පැවති 88 වන සුලෝහිත සංග්‍රාමයේ දී ආනන්දීයයන් සූක්ෂමව ජයග්‍රහණයට පාර කපද්දී, පරාජයේ වේදනාවෙන් නාලන්දාව ගලවා ගනිමින් සුපිරි ඉනිමක් දියත් කළ ඔහු නොදැවී ලකුණු 113*ක් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු කරන්නට සමත් විය. එය ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වුනු දස්කමක් ද විය.

pic 1

ලක්ෂිත ආ ගමන් මග දෙස ආපසු හැරී බැලීමේ දී කතාබහ කළ යුතු දෑ කිහිපයක් වෙයි.

1999 වසරේ නොවැම්බර් 21 වන දා උපත ලැබූ ලක්ෂිත, කුඩා කළ සිටම ක්‍රීඩාව ඉදිරියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය. වැලිවේරිය මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලයෙන් කුඩා කල අධ්‍යාපනය හැදෑරූ ඔහු, පාසලේ ක්‍රීඩා නායකයා ලෙස තේරී පත්වන්නේ ඔහුගේ ප්‍රාථමික අධ්‍යයන සමයේ දී ම ය. ඉන්පසුව ඔහු හේනේගම මධ්‍ය විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නේ වයස අවුරුදු 13න් පහළ කණ්ඩායම් නායකත්ව වගකීම් ද හිස මත රඳවා ගනිමිනි.

සිය නායකත්ව හැකියාවන් මනාවට විදහා දක්වමින් 2012 වසරේ වයස අවුරුදු 13න් පහළ තරග වාරයේ ඔහු ශතක 5ක් වාර්තා කරන්නේ හේනේගම විදුහලේ වැඩිම ශතකලාභියා වෙමිනි.

එම දස්කමෙන් පසුව 2013 වසරේ දී කොළඹ නාලන්ද විද්‍යාලයීය ක්‍රිකට් සංචිතයට ඔහුට උසස්වීමක් ලැබුණු අතර එම වසරේම, අවුරුදු 15න් පහළ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ නාලන්ද සංචිතයේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් වන්නට ද ලක්ෂිතට හැකි විය. එම දක්ෂතා මනාව සැලකිල්ලට ගත් පාසල් තේරීම් කමිටුව, විද්‍යාලයීය වයස අවුරුදු17න් පහළ තරග වාරය අතරතුරම එම විද්‍යාලයේම 19න් පහළ සංචිතයට ඔහුව තෝරා ගැනීම ඔහුගේ ජීවිතයේ විශේෂ සංධිස්ථානයක් විය. එවකට සංචිතයේ සිටි ළාබාලතමයා වෙමින් 2015 වසරේ පැවති 86 වැනි සුලෝහිත සංග්‍රාමයෙන් සිය මහා ක්‍රිකට් තරග දිවිය ආරම්භ කිරීමට ඔහු සමත් විය.

pic 2

2016 වසරේ දී පැවති 87 වන මහා ක්‍රිකට් තරගයේ දී දක්ෂතම පන්දු රකින්නා සම්මානයෙන් ඔහු පිදුම් ලබන්නේ තම හැකියාව පිත්තටත් පන්දුවටත් පමණක් සීමා නොවූ බව පසක් කරමිනි. එම වසරේම පැවති එක්දින තරගයේ දී ලකුණු 71ක් ලබා ගනිමින් හොඳම පිතිකරුවා වීමට ද ඔහු සමත්විය.

වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි අතර හෙන්රි ස්ටිල් ඕල්කට් තරගාවලියට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඕල්කට් මහතාගේ ආශිර්වාදයෙන් ඇරඹි සියලුම පාසල් පාහේ නියෝජනය කරන මෙම තරගාවලිය ද පාසල් ක්‍රීඩකයන් අතර ජනප්‍රිය තරගාවලියක් වන්නේ එයට රටේ නමගිය පාසල් කිහිපයක ක්‍රිකට් කප්පිත්තන් සහභාගී වන බැවිනි.

2015 වසරේ පැවති 88 වන හෙන්රි ස්ටීල් ඕල්කට් පාසල් ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා තරගයේ ක්‍රීඩක සංචිතයේ තම ස්ථානය වෙන් කර ගැනීමට ද ලක්ෂිත සමත් විය.

කථානායකයාගේ පසුගිය පාසල් වාරයේ (2016-2017) දැක්වූ දක්ෂතා දෙස අවධානය යොමු කිරීමේ දී,

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 49*ක් සමඟින් කඩුලු 4ක් ලබා ගැනීම, මොරටුව සාන්ත සෙබෙස්තියන් විද්‍යාලයට එරෙහිව ලකුණු 58ක් ලබා ගැනීම දැක්විය හැක.

ඊට අමතරව ධර්මරාජ විද්‍යාලයට එරෙහිව නැවතත් ක්‍රියාත්මක වූ ලක්ෂිතගේ පිත්තෙන් ලකුණු 88ක් සටහන් වන්නේ ශතකයට මදක් මෙපිටිනි. එතනින් නොනැවතුණු ලක්ෂිත එදා දවසේ වාසිය තමා වෙත නතු කරගන්නේ කඩුලු 3ක් ද දවා ගනිමිනි.

pic 3

තවද ගාල්ල මහින්දයට එරෙහිව ඔහු නොදැවී ලකුණු 72*ක් ද වාර්තා කරන්නේ මෙම පාසල් වාරය තුල දී තමාගේ ලකුණු ගිණුම තව තවත් තර කර ගනිමිනි.

ජාත්‍යන්තර තලයේ ඇතැම් ක්‍රීඩකයන්ට පවා තවමත් සිහිනයක් වන එක් තරගයක දී කඩුලු දහයම දවා ගැනීමේ පිම්ම ලක්ෂිත පනින්නේ තමාගේ පාසල් පිටියේ දී ම වීම විශේෂත්වයක්. ඒ අවසන් වූ තරගාවලියේ දී (2016-2017) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට එරෙහිවයි. එම තරගයේ දී ඔහු සෙසු පිතිකරුවන්ට දෙවෙනි නොවෙමින් ලකුණු 84ක් ද රැස් කර ගත්තේ තවත් එක් තරගයේ වීරයා සම්මානයක් තමා සතු කර ගනිමිනි.

එම පාසල් තරගාවලිය ඔහු අවසන් කරන්නේ ලකුණු 707ක් හා කඩුලු 52ක් ලබා ගෙන තමා තුන් ඉරියව්වෙන්ම සෙස්සන්ට වඩා ඉදිරියෙන් සිටිනා බව විදහා දක්වමිනි.

pic 4

සිය දක්ෂතා නිසාවෙන් ඔහුට 2017 වසරේ වයස 23න් පහළ අන්තර් පළාත් තරගාවලිය නියෝජනය කිරීමේ වරම ද හිමි විය. ඔහු බස්නාහිර දකුණ කණ්ඩායමේ සාමාජිකත්වය දැරීය.

වමතින් පිත්ත හසුරවන දකුණත් පිට දඟපන්දු යවන ලක්ෂිත තවමත් නාලන්ද විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුවෙකි. ක්‍රීඩා කටයුතු සමඟින් අධ්‍යාපන කටයුතු ද සමබරව කරගෙන යන ඔහු 2018 වසරේ දී වාණිජ අංශයෙන් උසස් පෙළ සඳහා පෙනී සිටීමට නියමිතයි.

මෙතෙක් ආ ගමන් මග තුළ තම පිත්තෙන් අර්ධ ශතක, ශතක රැසක් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ හෙයින් ඔහු තම පාසල් වර්ණ ප්‍රදානෝත්සවය තෙවරක්ම  ක්‍රිකට් ක්‍රීඩාවෙන් නියෝජනය  කරන්නේ වර්ණපුර, මහේල ආදී ක්‍රීඩකයින් පාසල් කාලයේ දී දැක්වූ දස්කම්ම ප්‍රකට කරමිනි.

ජාත්‍යන්තරයේ දොරගුළු විවර වනතුරු ලක්ෂිත දෑස් දල්වා බලා සිටින්නේ සිය පාසල වෙනුවෙන් දැක්වූ දස්කම් රට වෙනුවෙන් ද දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සවියක් වීමටයි. ThePapare.com අපත් ඔහුගේ ඉදිරි අනාගතයට සුබ පැතුම් එක්කරන්නේ දිනක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහුගේ හරඹ දකින්නට අපේක්ෂාවෙනි.

 >>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<