වාර්තාගත පරාජයට පසු වදනක්

553
Cricket feature

ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගාවලිය අවසන් වුයේ තරග 3 – 0 ක ලැජ්ජා සහගත පරාජයක් ශ්‍රී ලංකාවට උරුම කරමිනි. වඩාත්ම කණගාටුවට කරුණ වන්නේ වසර 34 ක ශ්‍රී ලංකා –  එංගලන්ත එක්දින තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එක් තරගයක් හෝ ජය ගැනීමට නොහැකිවූ පළමු අවස්ථාව මෙය වීමයි.

1988 වසරේ පැවති එක් තරගයකින් පමණක් සමන්විත එක්දින තරගාවලියක් 1 0 ක් ලෙස පරාජය වීම හැරුණු විට, මීට පෙර ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ මුහුණදී ඇති දරුණුතම එක්දින තරගාවලි පරාජයත් සටහන් වුණේ තරග 3-2 ක් ලෙසිනි.

පසුගිය ලිපි: හඹා යාමේ අසාර්ථකත්වය

නිවැරදි කරගත යුතු තැන් බොහොමයක් ඇති එක්දින තරගාවලිය පිළිබඳ ආපසු හැරී බැලීමක් මේදි,

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලිය තුළදී යම් තරමක හෝ සටන්කාමීත්වයක් ප්‍රදර්ශනය කළේ පළමු තරගයේ පන්දුවාර 68 ක් අවසන් වනතුරු පමණයි. එහිදී පිතිකරුවන් ලකුණු 286 ක අගනා ඉනිමක් ගොඩනගද්දී, ලකුණු 82 කට කඩුලු 6 ක් බිඳ දමන්නටද ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

නමුත්, එතැන් පටන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් සහ පන්දු රකින්නන්ගෙන් දිගින් දිගටම දක්නට ලැබුණේ පාසල් කණ්ඩායමක් සිහිගන්වන ක්‍රිඩා විලාශයක්. අතේ තිබූ ජයග්‍රහණයක් බන්දේසියක තබා එංගලන්තයට පුද කළ ශ්‍රී ලංකා කණ්ඩායමට, නැවත දිනුම් කණුව දෙස හැරී බලන්නටවත් තරගාවලිය නිමවන තෙක් එංගලන්ත ක්‍රීඩකයන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පිත්තෙන් සහ පන්දුවෙන් විශිෂ්ට දස්කම් අතර සිටියත් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයේ උපක්‍රමශීලී ගුණාංග අවම වීම බොහෝ අවස්ථාවලදී කැපී පෙනුනු කරුණක් විය. අත්දැකීම් අඩු යොවුන් ක්‍රීඩකයන් රැසක් මෙහෙය වීමේ භාරදූර වගකීම ඉටු කරන මැතිව්ස්ගේ, නායකත්ව ගුණාංග සහ උපක්‍රමශීලීත්වය වර්ධනය කිරීමටත්, ආබාධ තත්ත්වයන් සුව කර ගැනිම සදහාත්, මෙරට ක්‍රිකට් බලධාරින් වහාම පියවර නොගතහොත් වටිනා ක්‍රීඩකයෙකුගේ සේවය අකලට අහිමි වී යාමේ අවදානමක් ද පවති.

නායක මැතිව්ස් (ඉනිම – 5 / ලකුණු – 253), උපනායක චන්දිමාල් (ඉනිම – 5 / ලකුණු – 267) සහ කුසල් මෙන්ඩිස් (ඉනිම – 5 / ලකුණු – 169) පමණක් පිත්තෙන් ස්ථාවර දස්කම් අතරට පිවිසීය.

කෙසේ වෙතත්, වරක් දෙවරක් වේගවත් පිතිහරඹයක නිරත වූ පමණින් සීකුගේ ප්‍රසන්න දිගින් දිගටම මැදපෙළ පිතිකරුවෙක් බවට පත් කිරීමේ තීරණය කොතරම් ඵලදායිදෙ යන්න විමසා බැලිය යුතු කරුණක්. ප්‍රසන්න සහ මහරුෆ් පිතිකරණ ලැයිස්තුවේ ඉහළට දැමීමත් සමග විශේෂඥ පිතිකරුවෙක් ලෙස කණ්ඩායමට එක්කළ උපුල් තරංගගෙන් සහ පිත්තේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් (Batting All-rounder) වන දසුන් ශානකගෙන් කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබා ගැනීමට නොහැකි වූ අවස්ථා ගණනාවක් දක්නට ලැබීය.

පසුගිය ලිපි: දුර්වල පන්දු රෝයි රෑට් හට ජය මඟ පාදයි

එමෙන්ම පිත්තට වැඩි අවධානයක් ලබාදුන්නත් ප්‍රසන්නගේ සහ මහරුෆ්ගේ ප්‍රධාන වගකීම වු පන්දු යැවීම පැවතුනේ ඉතා ප්‍රාථමික මට්ටමකයි. ඔවුන් දෙදෙනාම එක්ව ඉනිම 7 කදී කඩුලු දෙකක් දවා ගනිද්දී ඔවුන්ට වඩා දස්කම් අතර සිටින පන්දු යවන්නන් කිහිප දෙනෙක්ටම මෙරට මෙන්ම විදේශ අන්තර් සමාජ තරගවලින් සෑහීමකට පත් වන්නට සිදුවුණේ කාගේ උවමනාවකට ද යන්න ගැටලුවකි.

එංගලන්ත පන්දු යවන්නන් දෙදෙනෙක් (ඩේවිඩ් විලී සහ ලියම් ප්ලන්කට්) ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 10 බැගින් ලබා ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභීන් වූ නුවන් ප්‍රදීප් (5) සහ සුරංග ලක්මාල් (5) යන දෙදෙනාගේම කඩුලුවල එකතුව 10 ක් වීම පන්දු යවන්නන්ගේ දුර්වලතාව මනාව පෙන්නුම් කිරීමට සමත් වන ස්ථානයකි.

එක්දින තරගාවලියේ සම්පුර්ණ කළ ඉනිම 4, කඩුලු 40 අතරින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවා ගත හැකි වූයේ කඩුලු 18 ක් පමණක් වුවත්, ලක්ෂ ගණනින් වැටුප් ලබන වේග පන්දු පුහුණුකරුවන්, දඟ පන්දු පුහුණුකරුවන් මෙන්ම වේග පන්දු ඇකඩමියක් ද ශ්‍රී ලංකාව සතුයි. නමුත්, රටේ ප්‍රධානතම වේග පන්දු යවන්නෙකුගේ ඉරියව්වේ දෝෂ සහගත බව හෝ හඳුනාගත නොහැකි මෙවන් පුහුණුකරුවන්ගෙන් කණ්ඩායමකට ඇති ප්‍රයෝජනය කුමක්දැයි යළිත් සලකා බැලිය යුතු වනවා.

පන්දු යවන්නෝ “ෆේල්” නම් පුහුණුකරුවෝ “පාස්‌ද”?

එමෙන්ම සමස්ත තරගාවලිය පුරාවටම අත්‍යවශ්‍ය අවස්ථාවලදී, ගිලිහී ගිය උඩ පන්දු ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයන්ට ප්‍රධාන සාධකයක් වුණා. අඩු පහසුකම් සහිත පාසල් පවා ඉහළ පන්දු රැකීමේ දක්ෂතා පෙන්වද්දී පන්දු රැකීමේ පුහුණුකරුවෙක් සදහා ගෙවන මුදල් පාසල් ක්‍රිකට් සංවර්ධනය සදහා යෙදවීම වඩාත් වැඩදායි වනු ඇතැයි ක්‍රීඩා ලෝලීන්ට සිතුනහොත් එයද විමතියට කරුණක් නොවේ.

තවත් පුවත් සදහා පිවිසෙන්න