ශක්තිවන්තයින් සඳහාම වූ සත්ප්‍රයාම සහ දසප්‍රයාම

331

මේ වන විට ලෝක මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය තුළ ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රාශියක් පැවතුනත් ඒ අතරින් ප්‍රේක්ෂකයින් හොඳින් හඳුනන, ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ ඉසව් ඇත්තේ කිහිපයක් පමණි.

මීටර 100, මීටර 200 සහ මීටර 400 වැනි කෙටි ධුර ධාවන ඉසව් ඒ ආකාරයට දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වී ඇති ඉසව් අතරින් කිහිපයක් ලෙස හඳුනා ගත හැක. නමුත් ඒ ආකාරයට වැඩි දෙනෙකුගේ අවධානයට ලක්ව නොමැති සුවිශේෂී ඉසව් දෙකක් ලෙස සත්ප්‍රයාම සහ දසප්‍රයාම යන ඉසව් හඳුන්වා දිය හැක.

2017 ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට විවරණයක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සාර්ථකව පැවැත්වූ “95 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය” පසුගිය 31 වැනිදා ආරම්භ වූ අතර..

කාන්තාවන් සඳහා පැවැත්වෙන ඉසව්වක් වන සත්ප්‍රයාම ඉසව්ව මලල ක්‍රීඩා ඉසව් 07කින් සමන්විත වන අතර එහි පිරිමි ඉසව්ව වන දසප්‍රයාම ඉසව්ව ක්‍රීඩා ඉසව් 10කින් සමන්විත වේ. ඒ අනුව මෙම ඉසව් දෙක සඳහා සහභාගී වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනෙක් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන් එක් ක්‍රීඩා ඉසව්වක් පමණක් නොව, තරගකාරිනියක් නම් ක්‍රීඩා ඉසව් 7ක් ද, තරගකරුවෙක් නම් ක්‍රීඩා ඉසව් 10ක් ද ප්‍රගුණ කළ යුතුය. ඒ අනුව සත්ප්‍රයාම සහ දසප්‍රයාම ඉසව් සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි ශක්තියක්, ධෛර්යයක් සහ කැපවීමක් ඇති පරිපූර්ණ දක්ෂතාවලින් යුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.

මෙම ඉසව් දෙකේම තරග ඉසව් දින දෙකක් පුරාවට පවත්වනු ලබයි. ඒ අනුව සත්ප්‍රයාම ඉසව්වේ පළමු දිනයේ දී පිළිවෙළින් මීටර 100 කඩුලු මතින් දිවීම, උස පැනීම, යගුලිය දැමීම සහ මීටර 200 ඉසව් ද දෙවන දිනයේ දී දුර පැනීම, හෙල්ල විසිකිරීම සහ මීටර 800 තරග ඉසව් ද පැවැත්වේ. අනෙක් පසින් දසප්‍රයාම ඉසව්ව යටතේ පළමු දිනයේ දී පිළිවෙළින් මීටර 100, දුර පැනීම, යගුලිය දැමීම, උස පැනීම සහ මීටර 400 ඉසව් ද දෙවන දිනයේ දී මීටර 110 කඩුලු මතින් දිවීම, කවපෙත්ත විසිකිරීම, රිටි පැනීම, හෙල්ල විසිකිරීම සහ මීටර 1500 ඉසව් ද පැවැත්වේ.

මෙම සෑම ඉසව්වක්ම අවසානයේ එක් එක් ක්‍රීඩක ක්‍රීඩිකාව හට තමන් එම ඉසව්ව තුළ දක්වන දක්ෂතාවයට අනුව ලකුණු පිරිනැමේ. දින දෙකක් තරග වැදීමෙන් අනතුරුව ඉසව් සියල්ල අවසානයේ එක් එක් ඉසව්ව සඳහා අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගෙන ඇති ලකුණු එකතු කළ විට ඉහළම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ත තරග ඉසව්වේම ජයග්‍රාහකයින් ලෙස තෝරා ගැනේ.

ඒ අනුව මෙහි දී ඉසව් සියල්ලම සාර්ථකව සිදු කර, එක් ඉසව්වක දී පමණක් අසාර්ථක වුවත් එය සමස්ත ප්‍රතිඵලයට දැඩි ලෙස ඉවහල් විය හැකි බැවින් සමස්ත තරග ඉසව්ව ජයග්‍රහණය කිරීමට නම් සියලුම ඉසව්වල දී එක හා සමානව ඉහළ දස්කම් දැක්වීම අනිවාර්ය වේ.

සත්ප්‍රයාම ඉසව්ව සඳහා ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන ලක්ෂිකා සුගන්ධි මෙම වසරේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති 95 වෙනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ලකුණු 4879ක් වාර්තා කර ගනිමින් වාර්තාව පිහිටුවන ලදි. මෙම ඉසව්ව සඳහා ලකුණු 5000 සීමාව පසුකරන පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට පත්වීමට ඇය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

National Heptathlon Champion Lakshika Sugandi

Uploaded by ThePapare.com on 2017-09-03.

සත්ප්‍රයාම ඉසව්ව සඳහා ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ මලල ක්‍රීඩා සම්මේලනවල ජාත්‍යන්තර සංගමයේ (IAAF) ‘හෝල් ඔෆ් ෆේම්’ ගෞරවයෙන් ද පිදුම් ලැබූ ඇමෙරිකානු ජාතික ජැකී ජෝයිනර් කෙරසී විසිනි. ඇය සමස්ත ලකුණු 7291ක් වාර්තා කර ගනිමින් එම වාර්තාව පිහිටුවනු ලැබීය. මෙම ඉසව්වේ දී ලකුණු 7000 සීමාව පසුකිරීම අවස්ථා 09ක දී පමණක් සිදු වී ඇති අතර ඉන් අවස්ථා 06කටම හිමිකම් කියන්නේ ජෝයිනර් වීම විශේෂත්වයකි.

දසප්‍රයාම ඉසව්ව සඳහා ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන අජිත් කරුණාතිලක ද මෙම වසරේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති 95 වෙනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මෙම ඉසව්ව සඳහා ලකුණු 7000 සීමාව පසු කර පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් සමස්ත ලකුණු 7096ක් වාර්තා කර ගනිමින් එම ජාතික වාර්තාව පිහිටුවනු ලැබීය.

Thenthalon Interview

Uploaded by ThePapare.com on 2017-09-01.

දසප්‍රයාම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ලකුණු 9045ක් වාර්තා කරගෙන ඇති ඇමෙරිකානු ජාතික ඇෂ්ටන් ඊට්න් විසිනි. ‘IAAF’ මලල ක්‍රීඩා ශූරතාවලිවල දී සමස්ත පදක්කම් 13කට හිමිකම් කියමින් මෙම ඉසව්වේ අණසක පතුරුවන්නට ඇමෙරිකානු ජාතිකයන් සමත් වී ඇති අතර අනෙක් කිසිදු රටක් මෙම ඉසව්ව සඳහා රන් පදක්කම් 02කට වැඩියෙන් දිනා ගන්නට සමත්ව නැත.

සත්ප්‍රයාම ඉසව් – පැවැත්වෙන අනුපිළිවෙළ අනුව

පළමු දිනය –

  • මීටර 100 කඩුලු මතින් දිවීම
  • උස පැනීම
  • යගුලිය දැමීම
  • මීටර 200

 දෙවන දිනය –

  • දුර පැනීම
  • හෙල්ල විසිකිරීම
  • මීටර 800

දසප්‍රයාම ඉසව් – පැවැත්වෙන අනුපිළිවෙළ අනුව

පළමු දිනය –

  • මීටර 100
  • දුර පැනීම
  • යගුලිය දැමීම
  • උස පැනීම
  • මීටර 400

දෙවන දිනය –

  • මීටර 110 කඩුලු මතින් දිවීම
  • කවපෙත්ත විසිකිරීම
  • රිටි පැනීම
  • හෙල්ල විසිකිරීම
  • මීටර 1500

 තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න