පළමුපෙළ ක්‍රීඩා කරන්න සිහින දකින 18න් පහළ වීරයා

566
Feature about U18 Schools Rugby 2nd Div best player Rikitha Alponso
චමත් රිතික අල්පොන්සු (ඡායාරූප අනුග්‍රහය ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය)

“මම රග්බි ක්‍රීඩකයෙක් වෙන්නෙ මගේම උවමනාවටම කියලයි මට හිතෙන්නේ. මට අද දක්වාම කවුරුත් කියල නැහැ රග්බි ක්‍රීඩකයෙක් වෙන්න කියලා. මම තමයි අම්මට තාත්තට කරදර කරලා රග්බි ක්‍රීඩාවට එන්නේ. හැබැයි කවදාවත් ඒ අය මගේ ඉල්ලීම අහක දැම්මෙ නැහැ. අද මගේ සෑම ජයග්‍රහණයක් පිටුපසම ඒ දෙදෙනා සිටිනවා. තාත්තටත් වඩා ඉන්නෙ අම්මා. මොකද අම්මගෙ පවුලේ බොහෝ දෙනෙක් රග්බි ක්‍රීඩකයෝ. තාත්තට වඩා මගේ රග්බි ක්‍රීඩාවට සමීප අම්මා.”

මෙවර ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 18න් පහළ දෙවැනි කොටසේ සත් සාමාජික රග්බි තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ පේරාදෙණිය සරසවි උයන විද්‍යාලයේ චමත් රිතික අල්පොන්සු ThePapare.com සමඟ එක්වෙමින් එසේ පැවසුවේය. බදුල්ල වින්ස්ටන් ඩයස් මහජන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගාවලියේ දී සරසවි උයන විද්‍යාලයීය ක්‍රීඩකයෝ 12-07ක් ලෙස පානදුර මහානාම නවෝද්‍යා විද්‍යාලය පරාජය කළහ. ජයග්‍රාහී කණ්ඩායමේ නායකයා වන්නේ ද චමත් ය.

දුටු සිහින යථාර්ථයක් කර ගත් ලහිරු හේරත්

සෑම වසරකම පාහේ නැඟී එන රග්බි ක්‍රීඩකයින් සඳහා මනා තෝතැන්නක් වන්නේ පාසල් රග්බි ලීග් තරගාවලිය යි…

“අවසන් තරගයේ දී අපිට අවශ්‍ය වුනේ කණ්ඩායමේ ජයග්‍රහණය. පුහුණුකරු සමිත සර් තරගයට පෙර සිටම අපිට මේ තරගය අපහසු වෙන එකක් නැහැ කියලයි කිව්වේ. අපි තරගයට පිවිසුණේ ජයග්‍රහණයම බලාපොරොත්තුවෙන්. අපි ඒ බලාපොරොත්තුව සඵල කර ගත්තා.”

චමත් ජයග්‍රාහී තරගය සම්බන්ධයෙන් පැවසුවේ එවැන්නකි. එය සරසවි උයන විද්‍යාලයට අවැසිව තිබූ ජයග්‍රහණයකි. ඔවුන් කලක සිටම බලාපොරොත්තුව සිට ඇත්තේ දෙවැනි පෙළ රග්බි තරගාවලියෙන් උසස් වීමකි. එහි උච්චතම අවස්ථාව එයයි. සරසවි උයන විද්‍යාලයට තරගාවලියක දක්ෂතම ක්‍රීඩකයා සම්මානය හිමි වන්නේ කාලයකට පසුව ය. එහි දිගුව වසර 7කි. මීට ප්‍රථම 2010 වසරේ දී වයස අවුරුදු 14න් පහළ රග්බි තරගාවලියක දී තිළිණ බාසිත් එකී සම්මානයට හිමිකම් කියා තිබේ.

“ඇත්තටම මට අවශ්‍ය වුනේ අපේ පාසලට ගෞරවයක් ලබා දෙන්න. අවසන් තරගයට සුදුසුකම් ලැබීමම යම් තරමක ජයග්‍රහණයක් විදිහටයි මම දැක්කේ. ඒක තනියම ලැබූ ජයග්‍රහණයක් නොවේ. අපි සාමූහිකව ලැබූ ජයක්. මම කණ්ඩායමේ සෙල්ලම් කරන්නෙ ෆල්යි හාෆ් ක්‍රීඩකයෙක් ලෙස. අවසන් තරගයේ දී මට උත්සාහක දිනුම් 4ක් තියන්න හැකි වෙනවා. කණ්ඩායමේ තරගකාරීත්වය මනාව හසුරුව ගන්න අපිට හැකි වුනා. විශේෂයෙන්ම අපිට ප්‍රතිවාදීන්ගේ දුර්වලතා ඉක්මනින් හඳුනා ගන්න හැකි වුනා. ඒ නිසා තරගය ඉතා පහසුවෙන් අපි ජය ගත්තා. ඇත්තටම ඒ ගැන සතුටුයි.”

18න් පහළ දෙවන කාණ්ඩයේ රග්බි ශූරතාවය සරසවි උයන විද්‍යාලයට

වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා අන්තර් පාසල් දෙවන කාණ්ඩයේ සත් සාමාජික රග්බි තරගාවලිය පසුගිය 15…

මේ දෝරෙ ගලන සතුටත් සමඟ චමත්ට අපිට කියන්නට තවත් කතාවකුත් තියෙන බවක්  පැවසුවේය. ඒ කාගේත් කතා බහට ලක්වෙන තරගාවලියක ජයග්‍රාහකයන් වූවත් ඔවුන්ට ක්‍රීඩා කිරීමට නිසි ප්‍රමිතියෙන් යුත් රග්බි ක්‍රීඩාංගණයක් නැති බවයි. මේ අඩුව ඔවුන්ට දැඩි ලෙසම පවතින බවකි ඔහුගේ අදහස.

“අපිට පාසලෙන් සියලු පහසුකම් ලබා දෙනවා. නමුත් අපිට පුහුණු වෙන්න අපේම කියල ක්‍රීඩාංගණයක් නැහැ. තිබෙන ක්‍රීඩාංගණයේ නිසි පරිදි පුහුණු වීමට හැකි වාතාවරණයක් නැහැ. ඒ නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී හෝ බෝගම්බර ක්‍රීඩාංගණයේ දී තමයි අපි පුහුණුවීම් කරන්නේ. මේ සඳහා අපේ පාසල විශාල වියදමක් දරනවා. ඒ වගේම පුහුණුකරු සමිත වර්ණකුලසූරිය මහතා විශාල කැපවීමක් කරනවා.”

චමත් වැඩි දුරටත් පවසන්නේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් පාසලෙන් ඉතාම හොඳ පිළිගැනීමක් සේ ම සැලකිල්ලක් ලැබූව ද ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩාංගණයක් නොමැති වීම නිසා ක්‍රීඩකයන් පාසල තුළ රඳවා ගැනීම ඉතා අපහසු වී ඇති බවයි. තමන් ද සිටිනුයේ එම දෙගිඩියාවෙන් බවයි ඔහු පවසන්නේ.

“මම පාසලේ රග්බි ක්‍රීඩාවට ගරු කරනවා. නමුත් මට පෞද්ගලිකව ආසාවක් තියෙනවා පළමුපෙළ රග්බි ක්‍රීඩා කරන කණ්ඩායමකට ක්‍රීඩා කරන්න. විශේෂයෙන්ම මට මගේ හැකියාවන් මීට වඩා පුළුල් පරාසයක් දක්වා වර්ධනය කර ගත යුතුයි. ඊට සුදුසු තැනක් මට ලැබෙයි කියන විශ්වාසයේ මම සිටිනවා.”

චමත් ක්‍රීඩාවට පිවිසෙන්නේ වයස අවුරුදු 10 පමණ සිටය. නිවස ආසන්නයෙන් පිහිටි විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටියේ රග්බි ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයන් කුඩා චමත්ගේ ලෝකයේ විරුවෝ ය. ඔහු නිවැසියන් ඉදිරියේ මේ විරුවන් තමන්ට ආවේශ කර ගනිමින් ගෙදර ආලින්දයට ගෙන ආවේය. කාර්ය බහුල අම්මාත්, තාත්තාත් මේ රඟපෑම් බැලීමට ඇතැම් අවස්ථාවල නිවසේ නැත. එවැනි විටක ඔහුගේ ප්‍රධාන ප්‍රේක්ෂිකාව වන්නේ තම එකම නැගණිය ය. ඇය ද ඒ ආභාෂයෙන්ම වර්තමානයේ ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ හොකී කණ්ඩායම නියෝජනය කරන්නී ය.

“මගේ මාමලා රග්බි ක්‍රීඩා කරලා තිබෙනවා කිව්වත් මම කවදාවත් ඔවුන් ක්‍රීඩා කරනවා දැකලා නැහැ. ඒත් පොඩි මාමා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ රග්බි කණ්ඩායම නියෝජනය කරද්දී මම තරග බලන්න එක්ක ගිහිල්ල තිබෙන බව අම්ම කියනවා. ඒ මතකය මා තුළ නැති වුනත් මම රග්බි ක්‍රීඩාවට අවතීර්ණ වෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති. මගේ අම්ම, තාත්ත වගේම ඥාතීන් සැවොම මගේ ක්‍රීඩාවට සහයෝගය දක්වනවා. ඔවුන්ට මම ස්තූති කරනවා.”

මේ අතුරින් චමත්ගේ පළමු රග්බි පුහුණුකරු ශ්‍රීනාත් ද සිල්වා මහතා සහ වර්තමාන රග්බි පුහුණුකරු සමිත වර්ණකුලසූරිය මහතා විශේෂ බවයි ඔහු පවසන්නේ. ඊට අමතරව විද්‍යාලයීය විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයත් සහෝදර ක්‍රීඩකයන් සහ පාසලේ සියලු දෙනාමත් ඔහුගේ දක්ෂතා අභියස සිටිමින් ඔහුව දිරිමත් කිරීම අගය කරන බවත් ඔවුන්ට ස්තූතිවන්ත වන බවත් ඔහු ThePapare.com සමඟ පැවති සාකච්ඡාව අවසන් කරමින් පැවැසුවේ ය.

තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න