ෆාසිල් මරීජා ජාතික වගකීමෙන් විශ්‍රාම ගැනීමට තීරණය කරයි

1032

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ මෙන්ම සත් සාමාජික රග්බි කණ්ඩායමේ ද හිටපු නායකයෙකු සහ මෙරට බිහි වූ විශිෂ්ටතම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයකු වන ෆාසිල් මරීජා තම 14 වසරක ජාතික වගකීමෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. මේ අනුව මැලේසියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා පළමු කාණ්ඩයේ රග්බි තරගාවලිය මරීජා ශ්‍රී ලංකා වර්ණයන්ගෙන් දැක ගැනීමට ලැබෙන අවසන් තරගාවලිය බවට පත් වනු ඇත.

ශ්‍රී ලංකා රග්බි පුහුණුකාරීත්වය වෙරබුලා අතට

පැපුවා නිව් ගිනි සත්සාමාජික රග්බි කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන ෆීජි ජාතික ෆෙරෙටි වෙරබුලා..

මේ වන විට 32 වන වියේ පසු වන කිංග්ස්වුඩ් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය මරීජා 2004 වසරේ ජාතික කණ්ඩායමට පළමු පියවර තැබීමේ දී ඔහු භාවිත කළ අංක 10 දරන ක්‍රීඩක නිල ඇඳුම් අංකය වසර 14ක් මුළුල්ලේ ඔහුට අයිතිව තිබුණි. තම පාසල් දිවිය හමාර කිරීමත් සමඟ ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කර ගත් මරීජා, ක්‍රම ක්‍රමයෙන් මෙරට රග්බි ක්‍රීඩාව තුල ආශ්චර්යයක් බවට පත් වෙමින් මුළු මහත් ආසියාව පුරාම කතා බහට ලක් වන ක්‍රීඩකයෙකුගේ තත්ත්වය දක්වා වර්ධනය වීමට වැඩි කලක් ගත කළේ නැත.

මරීජා ශ්‍රී ලංකා 15 සාමාජික මෙන්ම සත් සාමාජික කණ්ඩායම් වල නායකත්වයේ වගකීම ද බොහෝ කලක් පුරා ඉටු කර ඇති අතර 2015 වසරේ ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව කරා කණ්ඩායම මෙහෙයවීම ඔහුගේ නායකත්ව මතක සටහන් අතර ඉහළින්ම රැඳී තිබෙනු ඇති.

ThePapare.com වෙත අදහස් දක්වමින් මරීජා තම තීරණය පිළිබඳ පැවසුවේ මෙලෙසින්.

”පසුගිය වසර ගණනාවක් පුරා මගේ මව්බිම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම මට ඉතාමත් විශාල වරප්‍රසාදයක් වුනා. ඇත්තෙන්ම මම එම ක්‍රීඩා දිවියේ සෑම මොහොතක්ම ගත කලේ ඉතාම සතුටින්. මම හිතනවා දැන් මම මගේ ජාතික රග්බි දිවියට සමු දීමට උවමනා කාලය එළඹ තිබෙන බව, ඉතින් මම හරි තීරණයක් ගත්තා. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා පළමු පෙළ රග්බි තරගාවලිය තමයි මම ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් තරගාවලිය.”

කෙසේ වෙතත් තම ක්‍රීඩා සමාජ තරග දිවිය පිළිබඳ තරමක ඉදිරි බලාපොරොත්තු සහිතව සිටින මරීජා තමා උපන් ප්‍රදේශයේම ක්‍රීඩා සමාජය වන මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් තවත් එක් තරග වාරයක් ක්‍රීඩා කිරීමේ අරමුණින් පසු වෙයි.

”මම හිතනවා මා තුල ඉදිරි තරග වාරය සඳහා මහනුවර කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තරම් ජවයක් ඉතිරි වී තිබෙනවා කියලා.”

තම අන්තර් සමාජ ක්‍රීඩා ජීවිතය සම්පූර්ණයෙන්ම මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් කැප කළ මරීජා ඉතිහාස ගත වන්නේ මෙරට වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ රග්බි ක්‍රීඩකයෙක් ලෙසිනුයි. මහනුවර කණ්ඩායම ඔහුගේ  දායකත්වය ඇතිව ජය ගත් ලීග් රග්බි ශූරතා 10ක් මෙන්ම තවත් ජයග්‍රහණ රැසක් ඊට හේතුවයි. එමෙන්ම වසරක් තුල පැවැත්වෙන අන්තර් සමාජ ලීග්, සත් සාමාජික සහ පිළිමළුන් පිටු දැකීමේ තරගාවලි ත්‍රිත්වයේම ශූරතා කුසලාන දෝතට ගැනීමට නොකඩවා වසර දෙකක් භාග්‍ය ලැබූ මෙරට එකම නායකයා ලෙස ද ෆාසිල් මරීජා රග්බි වාර්තා පොත් අතර සිය නම රන් අකුරින් සටහන් කර තිබේ.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට